2025 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ අභාවප්‍රාප්ත දේශමාන්‍ය ඩී.එච්.එස් (හැරී) ජයවර්ධන මහතා පිළිබඳව කීර්තිමත් සටහනක් තබමින් අවසන් විය. සැප්තැම්බර් 20 වැනි සෙනසුරාදා පැවැත්වුණු එම සම්මාන උළෙලේදී කලාපය පුරා සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට කල් පවතින බලපෑමක් කළ විශිෂ්ටයන් උදෙසා වෙන් කර ඇති ‘දකුණු ආසියාවේ මුහුණු’ නම් කීර්තිමත් සම්මානය ජයවර්ධන මහතාට පිරිනැමිණි.
අභාවප්‍රාප්ත ජයවර්ධන මහතා වෙනුවෙන් එම සම්මානය ලබාගත්තේ ඒ මහතාගේ දියණිය මෙන්ම Aitken Spence PLC සහ Aitken Spence Hotel Holdings PLC හි සභාපතිනිය වන ස්ටෂානි ජයවර්ධන විසිනි. මෙම සම්මානය සමග ජයවර්ධන මහතාගේ දූරදර්ශී නායකත්ව හැකියාව සහ පුරෝගාමී ජයග්‍රහණ ඔප්නංවමින් සංකේතාත්මක සැමරුම් කාසියක් සහ සමරු කළඹක් එම සම්මාන උළෙල මගින් පිරිනමනු ලැබීය. ආගන්තුක සත්කාර, සැපයුම් සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍රවල ශක්තිමත් ඉදිරි ගමනක් සහිත ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණයෙන් යුතු සහ ජාත්‍යන්තරව පිළිගත් සමූහ ව්‍යාපාරයක් බවට එම සංවිධානය පරිවර්තනය කිරීමේදී ජයවර්ධන මහතා තීරණාත්මක කාර්යයභාරයක් ඉටු කළේය.
ඒ මහතාගේ මග පෙන්වීම යටතේ, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් ද්විත්වයම ලෝක මට්ටමේ ගමනාන්ත ලෙස ස්ථානගත කරවමින්, විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය සඳහා කීර්තියක් අත්කරදෙමින් Aitken Spence Hotel Holdings PLC ජාලය දේශීය සහ විදේශීය වශයෙන් පුළුල් කරන්නට හැකියාව ලැබිණි.
සංචාරක ව්‍යාපරයෙන් ඔබ්බට යමින් ඔහු කීර්තිමත් සමාගම් කිහිපයකම නායකත්ව තනතුරු හෙබවූ අතර ආයතනික පාලනය සහ තිරසාර ව්‍යාපාරික භාවිතයන් සඳහා ඔහුගේ විනයගරුක ප්‍රවේශය සඳහා පුළුල් පිළිගැනීමක් ලැබිණි.
දකුණු ආසියානු සංචාරක සහ ආගන්තුක සත්කාර සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීමේ මෙම සම්මානයේ අරමුණ සමග ඒ මහතාගේ කල් පවතින උරුමය සමපාත වන බව දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙල මණ්ඩලය විසින් අවධාරණය කරන ලදී. ඔහුගේ ජයග්‍රහණ, ඔරොත්තු දීමේ හැකියාවේ, දූර්දර්ශීභාවයේ සහ නවෝත්පාදනයේ වටිනාකම් විදහා දක්වන අතරම ඔහුගේ දායකත්වය කර්මාන්තය තුළ නායකත්ව මිණුමක් ලෙස මින් ඉදිරියටත් භාවිත කරනු ඇත.
2016 වසරේදී ආරම්භ වූ මෙම දකුණු ආසියානු සම්මාන උළෙල, එතැන් පටන් කලාපයේ සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණ හඳුනා ගැනීම සඳහා වන ප්‍රමුඛතම වේදිකාව ලෙස අඛණ්ඩව සිය දායකත්වය ලබාදෙයි.
දකුණු ආසියාව පුරා විසිරී සිටින ක්ෂේත්‍රයේ පුරෝගාමීන්, කොටස්කරුවන් සහ සම්භාවනීය අමුත්තන් එකම වේදිකාවකට කැඳවූ 2025 සම්මාන උළෙල, නවෝත්පාදනය, තිරසාරභාවය සහ කලාපීය එකමුතුව සඳහා සාමූහික කැපවීම යළිත් තහවුරු කරන්නට සමත් විය.