දෙවැනි මාසයටත් විදේශීය ජංගම ගිණුමේ හිඟයක්


මැයි ඉන්ධන ආනයන වියදම ඩො.මි. 536ක් දක්වා සියයට 20කින් ඉහළට


වාහන ආනයනය සඳහා මැයි මාසයේදී ඩොලර් මිලියන 250ක් වැය වෙලා


2026 මැයි මාසයේදී අඛණ්ඩව දෙවැනි මාසයටත් විදේශිය ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වී තිබෙන බව මහ බැංකුව පවසයි. ඒ අනුව මැයි මාසයේ විදේශිය ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 194.5ක් ලෙස සටහන්ව ඇති අතර, අප්‍රේල් හිඟය ඩොලර් මිලියන 525.2ක් විය. 

විශේෂයෙන්ම විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය වෙත මැදපෙරදිග යුද්ධයේ බලපෑම මින් තවදුරටත් පෙන්නුම් කරන බව මහ බැංකුව සඳහන් කරයි. වෙළෙඳ හිඟයේ පුළුල්වීම සහ සේවා අංශයේ අතිරික්තය අඩුවීම ඊට හේතුවයි.

මැයි මාසයේ සිදුකළ ඩොලර් මිලියන 2,192ක භාණ්ඩ ආනයනයට සාපේක්ෂව, එම මාසයේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,224 ක් ලෙස සටහන්වීමත් සමගින්ම වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 968ක් බවට පත්ව තිබේ.

එහිදී 2026 මැයි මාසයේ ඉන්ධන ආනයන වියදම, 2025 මැයි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 536ක් දක්වා සියයට 112 කින් ඉහළ ගොස් තිබේ. ඊට තෙල් මිල සහ ආනයන පරිමාවන් ඉහළ යාම හේතු වී ඇතැයි මහ බැංකුව පවසයි. කෙසේ වෙතත් 2026 මැයි මාසයේ ඉන්ධන ආනයන වියදම 2026 අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 39.5 කින් අඩුවී තිබේ. 

මේ අතර 2026 මැයි මාසයේදී පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයන වියදම ඩොලර් මිලියන 250ක් ලෙස සටහන්ව ඇති අතර, එය අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 20 ක ඉහළ යෑමකි. 

ඒ අනුව 2026 වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා වාහන ආනයනය සඳහා වූ සමස්ත වියදම ඩොලර් මිලියන 1,071 ක් වන බවත් මහ බැංකුව සඳහන් කරයි.

මැයි මාසයේදී සංචාරක පැමිණීම්ද පෙර වසරට සාපේක්ෂව සියයට 9.6ක වර්ධනයක් වාර්තා කළත්, සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 156 ක් ලෙස සියයට 5.1 ක පහළ යෑමක් වාර්තා විය. 

මේ අතර මැයි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 847ක් බවට පත්ව ඇති අතර, පළමු මාස 5 තුළ සමුච්චිත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 3.9ක් දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 26ක ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.