කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ දිනයේ දී සක්‍රීයභාවයක පැවැතිණ. පසුගිය සතිය තුළ පැවැති මිල දී ගැනීමට ඉදිරිපත්වීමේ සීමාසහිත විලාශය යම් ප්‍රමාණයකින් වෙනස් කරන ලද බවක් සනිටුහන් විය. අද දිනයේ දී ද තෝරාගත් කොටස් මිල දී ගැනීමට උනන්දුවක් දක්වනු ඇතැයි සැලකේ.
මෙම සතියේ මුල් දින දෙක තුළ පමණක් විදේශ මිල දී ගැනීම් රු. මිලියන 228ක් වන විට විකිණීම් රු. මිලියන 539 කි. රු. මිලියන 531 ක ශූද්ධ අවාසියක් රටට සිදු වී තිබේ. සංචාරක පැමිණීම් අඩු වී ඇති අතර මෙම වසරේ ඉලක්ක ළඟාකරගත නොහැකි වනු ඇති බවක් නිල වශයෙන් සඳහන් වී තිබේ. ආයෝජන සඳහා විදේශ මුදල් ලැබීම ද ප්‍රමාණවත් නැත. මාස අටක කාලයක් ඇතුළත ලැබුණ විදේශ විගමනික ප්‍රේෂණ ඇ. ඩොලර් බිලියන 5.2ක් බව දැක්වේ. මෙම සියලු අංශ සලකා බලන පසු රුපියලේ අගය අවප්‍රමාණය වන අවදානමක් පවතින අතර එය මෙරට අපනයන අංශයට හිතකර තත්වයක් විය හැකිය. මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 4-5 අතර විය හැකි බව දක්වන මුදල් අමාත්‍යංශය එය 2026 වසරේ දී සියයට 6ක් දක්වා ඉහළ යනු ඇති බව පුරෝකථනය කරයි. එය ඉදිරි වසරේ ස්වභාවයට වාසිදායක බව සඳහන් වේ.
ගනුදෙනු අවසන් වන විට (සැප්. 17) සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,775.42 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 156.05 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,903.00 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 34.89 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 6.61 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 47,920 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 238.8 ක් විය. සමාගම් 220 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 45 කි.
සියෙරා කේබල් රු. මිලියන 516 ක්, ඇලුමෙක්ස් රු. මිලියන 439 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 344 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 271 ක්, පැන්ඒසියා පවර් රු. මිලියන 238 ක්, ප්‍රයිම් ලෑන්ඩ් රු. මිලියන 233 ක්, එල් වී එනර්ජි රු. මිලියන 190 ක් යනාදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක