විමුක්ති එස් රුද්‍රිගු
තේ නිෂ්පාදනයේදී නිසි ප්‍රමිතිය හා තත්වය තබා නොගන්නා කර්මාන්තශාලාවලට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස තේ වෙළෙඳුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා ඇත. උසස්ම තත්වයේ සිලෝන් තේ සඳහා දීර්ඝ කාලයක සිට ජාත්‍යන්තරයේ නමක් දිනා සිටින ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට ඉහළ යන නිෂ්පාදන පිරිවැය, උච්චාවචනය වන ගෝලීය ඉල්ලුම සහ අස්ථාවර ආර්ථික පරිසරය හේතුවෙන් පසුගිය වසර කීපයක සිට දැඩි පීඩනයක් එල්ල වී තිබේ. එම පීඩනයන් මධ්‍යයේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරඟකාරිත්වය පවත්වා ගෙන යාම සඳහා සිය නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය පහළ දැමීමට ඇතැම් නිෂ්පාදකයන් පෙළඹී ඇති බවත් එහි අරමුණ පිරිවැය අඩුකර ගැනීම බවත් තේ වෙෙළඳුන්ගේ සංගමය ප්‍රකාශ කළේය,
එහිදී වසර 100 කට අධික කාලයක් වැයකර සදාගත් සිලෝන් තේ සන්නාමය පිළිබඳව කිසිඳු තැකීමක් නොකර පිරිවැය අඩුකර ගැනීම සඳහා ඇතැම් නිෂ්පාදකයන් තේ දලු නෙළන කාලය අතර තිබෙන පරතරය අඩු කිරීමටත්, අඩු වැටුපකට කුසලතාවෙන් අඩු ශ්‍රමිකයන් බඳවා ගැනීමටත්, පහළ තත්වයේ තේ දළු භාවිත කිරීමටත් පෙළඹී ඇතැයි තේ වෙෙළඳුන්ගේ සංගමය පැවැසුවේය. අපනයනකරුවන් මෙම කරුණ මතුකර තිබෙන බවත් සිලෝන් ටී සන්නමයේ ඇති තත්වය හා ප්‍රමිතිය තබා ගැනීමට අපොහොසත් වුවහොත් යුරෝපා සංගමයෙන්, ජපානයෙන් සහ මැද පෙරදිග රටවලින් ලැබෙන ඇණවුම් අහිමි වීමේ අවදානමක් මතුවිය හැකි බවත් තේ වෙෙළඳුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.