තුල්සි අලු‍විහාරේ ශාර්මිනි රත්වත්තේ ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට


භානුක අමරසිංහ


ලංකා බැංකුවෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු ලෙස තුල්සි අලු‍විහාරේ මහතා සහ ශාර්මිනි රත්වත්තේ මහත්මිය පත් කරගත් බව එම බැංකුව පවසයි. ඒ අනුව සැප්තැම්බර් 16 වැනිදා සිට බලාත්මක වන පරිදි දෙපළ බැංකුවේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත් කෙරී තිබේ. 

මේ සම්බන්ධයෙන් වන මහ බැංකුව් අනුමැතියද හිමිව තිබේ. එසේම මෙම පත් කිරීම මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාදුන් උපදෙස් අනුව සාමාජිකයන් පස් දෙනකුගෙන් යුත් විශේෂිත තේරීම් කමිටුවක් මගින් අනුමත කෙරුණු පත් කිරීම් බවත් බැංකුව පවසයි.

මේ අතරින් තුල්සි අලු‍විහාරේ මහතා සතුව උපායමාර්ගික ව්‍යාපාර සහ ආයෝජන පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් පවතින බවත්, ආයෝජන ක්‍රමෝපාය, පැවරුම් උපදේශන, විවිධාංගීකරණය, ප්‍රාග්ධන වර්ධනය සහ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ලන්ඩනයේ, මෙල්බර්න්හි සහ කොළඹ තුළ වසර 25කට අධික සේවා අත්දැකීම් පවතින බව පැවසෙයි. වර්තමානයේදී ඒ මහතා කොළඹ වරාය නගරයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයාද වෙයි. එසේම ඒ මහතා අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සීහි සහ එක්ස්පැක් කොරුගේටඞ් කාර්ටන්ස් පීඑල්සී හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකුද වෙයි.  ශාර්මිනි රත්වත්තේ මහත්මිය සතුව වසර 16කට අධික කාලයක් පුරා මූල්‍ය, කළමනාකරණය ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත බව පවසයි. ඇය මීට පෙර MAS හෝල්ඩිංග්ස්හි සේවය කර තිබේ. එසේම ඇය කලක් ජෝන් කීල්ස් පීඑල්සීහි විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කර තිබේ.