භානුක අමරසිංහ
මෙරට තුළ ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව හෙවත් ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් අනන්‍යතා (SLUDI) වේදිකාව කළමනාකරණය සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලාංකික හිමිකාරීත්වය සහිත කළමනාකරණ සේවා සපයන්නකු (MSP) තෝරා පත් කරගැනීමේ සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) එක්ව මෙම වේදිකාව ක්‍රියාත්මක කරයි.
මෙහිදී ශ්‍රී ලංකාවේ වඩාත්ම තීරණාත්මක ඩිජිටල් පොදු යටිතල පහසුකම් පද්ධතිය කළමනාකරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික ආයතනවල සූදානම, තාක්ෂණික විශේෂඥතාව සහ මූල්‍ය හැකියාව තක්සේරු කිරීම සඳහා ICTA විසින් තොරතුරු ඉල්ලීමක් (RFI) නිකුත් කර ඇතැයිද සඳහන් වෙයි.
“ශ්‍රී ලංකා කළමනාකරණ සේවා සපයන්නා (MSP) පද්ධතියේ පිළිගැනීම සහ ආරක්ෂක පරීක්ෂණ අවසන් වූ වහාම SLUDI පද්ධතිය එම ආයතනය වෙත භාර දෙනු ලැබේ. MSP වෙත භාරදීමේ අවස්ථාවේදී ව්‍යාපෘතියෙන් ඉවත් වන ප්‍රධාන පද්ධති ඒකාබද්ධ කරන්නා (MSI) විසින් ඉන්දීය රජයේ ප්‍රදාන නියමයන් යටතේ පද්ධතියේ මූලික ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබේ.“ යනුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර අදාළ ශ්‍රී ලාංකික සේවා සපයන ආයතනය පද්ධතිය භාර ගැනීමෙන් අනතුරුව, අදාළ කළමනාකරණ සේවා සපයන්නා විසින් තවදුරටත් මෙහෙයුම් සහතික කිරීමේ පරීක්ෂණ සහ නියමු මෙහෙයුම් අවසන් කළ යුතුව තිබේ.
මෙම අයදුම්පත් අනුව අදාළ ශ්‍රී ලාංකික ආයතනය 2025 දෙසැම්බර් මාසයේදී තෝරා ගැනීම අපේක්ෂාව වී තිබේ. එමඟින් ශ්‍රී ලාංකික කළමනාකරණ සේවා සපයන ආයතනයට මාස 6 ක කාලයක් තුළ MSI සමග එක්ව ක්‍රියාත්මක වෙමින් විශේෂඥතාව සහ පද්ධති දැනුම වැඩි කිරීමට හැකි වන බව පැවසෙයි.
03 වැනි පිටුවට...