ඩිජිටල් බැංකුකරණයේ නොවිසිදුනු අභියෝග


මළගිය ඇරිස්ටෝටලියානු වර්ගයේ වෙබ් අඩවි තුළ දනිපනි ගානා ශ්‍රී ලංකාවේ බැංකු තවමත් පසු වන්නේ ගෝලීය දියුණුවට පසුපසිනි. එම නිසා ඔවුන් කතා කරන ඩිජිටල්කරණය හුදෙක් පුරාජේරුවක් පමණකි. දැවැන්ත තොරතුරු අනුසාරයෙන් ඵලදායී භාවිතයකට තුඩු දෙන  ඩිජිටල්කරණයකට  ඔවුන් පහසුකම් සැලසිය යුතුය. එසේ කළ හැකි වන්නේ බැංකු සහ ඔවුන්ගේ පාරිභෝගිකයන් අන්‍යෝන්‍ය ප්‍රයෝජනය තකා එක්ව කටයුතු කළහොත් පමණකි.

වර්තමාන ඩිජිටල් යුගයේ, ආයතන තම සේවකයන් සහ පිටස්තර අය සමග සන්නිවේදනයේ යෙදෙන ආකාරය ශීඝ්‍ර පරිවර්තනයකට ලක් වෙමින් පවතී. එය බැංකු  ක්ෂේත්‍රයට ද පොදු වූවකි. බැංකු අනිකුත් ආයතන මෙන්ම ව්‍යාපාරික  කටයුතු ඵලදායී ලෙස කිරීමට මාර්ගගතව සිටීමේ අවශ්‍යතාව සලකා බලා එම අරමුණ කරා ළඟා වීමට සිය වෙබ් අඩවි 
ගොඩනගා තිබේ.


ප්‍රමුඛ බැංකු ගනුදෙනු කරුවෙක්, කලකිරීමට පත් වූ අත්දැකීම:-
නොබෝදා ජනප්‍රිය විද්‍යාලේඛකයකු හා සමාජ ක්‍රියා කාරිකයකු වූ අයෙක් තම X  සමාජ මාධ්‍ය ගිණුමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ  පුද්ගලික බැංකුවක් සමග ලැබූ  සිත ඉච්ඡාභංගයට පත්වන සුළු අත්දැකීමක් සටහන් කර තැබුවේය. එම බැංකුවේ නම සඳහන් කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ බැංකු ඩිජිටල් අලෙවිකරණය  භාවිත කිරීම පිළිබඳ පුරාජේරු කතා කළද ඔවුන් තවමත්  මහ බැංකුව විසින් නිකුත් කළ නියාමන නීතිවලට මුවා වී සෑහෙන තරමින් කඩදාසි පදනම් කරගත් කටයුතුවල නිරත වන බවයි.

ඔහු ප්‍රශ්නයට මුහුණ පෑවේ ඔහු  දැනටත් ගනුදෙනුකරුවකු ලෙස  ගිණුම් පවත්වා  ගන්නා බැංකුවේ තම ගිණුම් පිළිබඳ ඩිජිටල් ගොණුවට එක් ගිණුමක් පිළිබඳ තොරතුරු ඇතුළත් කරගන්නට අවශ්‍ය වූ විටය. බැංකුව තදින්ම කියා සිටියේ ඒ සඳහා ඔහු කඩදාසි පෝරමයක් අතින් පුරවාදීම අනිවාර්යයෙන් කළ යුතු බවය. එසේ කියන ලද්දේ ප්‍රශ්නගත බැංකුව සතුව ඔහුගේ පෞද්ගලික තොරතුරු තිබියදී සහ එම තොරතුරු කිසිවක් වෙනස් වී නැති බව ඔහු සහතික කර කියා සිටියදීය. බැංකුව අවම වශයෙන්, ස්මාර්ට් දුරකථනයක්  වැනි උපාංගයක් භාවිත කර පිරවිය යුතු pdf පෝරමයක්  හෝ දීමට අසමත් වී ඇත. රජය ඉහළින්ම ප්‍රවර්ධනය කරනු ලබන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය  එවැනි පෞරාණික සේවා සැපයීම් හා නියාමන සමග සාර්ථක කරගත නොහැකි වන බවට ඔහු අනතුරු අඟවා තිබිණි .
ඩිජිටිකරණයේ (Digitization ) පළමු පියවර:-
විද්‍යා ලේඛකයා අවධාරණය කර පෙන්වා දී ඇත්තේ, ‍යම් ආර්ථිකයක් කඩදාසි පදනම් කරගත්, ක්‍රමයකින් ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයකට, මාරු වන ක්‍රියාදාමයකදී, සිදුවන ප්‍රධාන දුර්වලතාවකි. මෙම පරිවර්තනය වීමේ ප්‍රථම පියවර හඳුන්වා දෙන විට රජය හා අදාළ  ආයතන දුෂ්කරතා විඳ දරා තිබේ. කඩදාසිමය දෘඩාංග පිටපත් සහ ලේඛන, පරිගණක හෝ ඩිජිටල් උපාංග භාවිතය උදෙසා පවතින ඩිජිටල් ආකාරයේ දත්ත ගබඩාකරණය වෙත පරිවර්තනය වීමේදී එම පියවර අන්තර්ගත වේ.
ක්‍රියාදාමයේ එකී පියවර (digitization)  ඩිජිටිකරණය යනුවෙන් හැඳින්වේ. මූලික උදාහරණයක් වන්නේ ජංගම දුරකථනයෙන්, ඡායාරූපයක, රූපය ග්‍රහණය කරගෙන, දුරකථනයේ ගොනුවක, ඩිජිටල් රූපයක් ලෙස එය සුරැකිව තබා ගැනීමයි (Save  කර ගැනීමයි). එම ඩිජිටල් නිරූපණය අන්තර්ජාලය හරහා බෙදා හැරිය හැකිය. ප්‍රින්ටරයක් භාවිත කර එහි දෘඩාංග  පිටපතක් ලබාගත හැකිය. එසේ නැතහොත් භාවිත කරන්නාගේ ඡායාරූප ඇල්බමයේ ආරක්ෂා කර තබාගත හැකිය. මෙය ප්‍රමාණවත් නැත. Chat GPT  වැනි අලු‍ත් නිරූපණවලින් ඡායාරූපය හාස්‍ය  දනවන ආකාරයෙන් හෝ, කාටූන් ස්වරූපයෙන් පරිවර්තනයට ලක් කිරීම සිදු කෙරේ.


දෙවැනි පියවර, ඩිජිටල්කරණය 
( Digitalisation ):-
දෙවැනි පියවර එළඹෙන්නේ ඩිජිටල් කරණය යනුවෙන් හැඳින්වෙන තවදුරටත් කරන ක්‍රියාදාමයක් ඔස්සේය. එහිදී දැනටත් පවතින ඩිජිටල් තොරතුරු තවදුරටත් විවරණය කිරීමට විග්‍රහ කිරීමට අනුමාන කිරීමට හෝ තීරණ ගැනීමට භාවිත කෙරේ.
ඒ අනුව යම් ගනුදෙනුකරුවකුගේ තොරතුරු  ඩිජිටල් ආකාරයෙන් බැංකුව සතුව පවතී නම් එම තොරතුරු කාලයකට වරක් යාවත්කාලීන කර ගනුදෙනුකරුවාගේ බැංකු කටයුතු සඳහා සේවා සැපයීමට භාවිත කළ යුතුය. යම් ගනුදෙනුකරුවකුට  එම බැංකුව සමගම දෙවැනි ගිණුමක් ආරම්භ කිරීමට අවශ්‍ය වූ විටෙක ඔහු දෘඪංග ආකෘතියකින් එම තොරතුරුම නැවත සැපයීමට කරදර නොවිය යුතුය. ඒවා දැනටමත් බැංකුව සතුව  පවතින තොරතුරු ගබඩාවලින්  පිටපත් කර ගත හැකිය. මෙය  බැංකුවක ශාඛාවකින් එම බැංකුවේ තවත් ශාඛාවකට දත්ත කළමනාකරණ නිලධාරීන්ගේ බලය පැවරීම මත  බෙදා හැරීම කළ හැකිය.
විවෘත බැංකු වේදිකාවක් වෙත අනුගතවීමේ අවශ්‍යතාව:-
දැන් විවිධ ආයතන හරහා වඩා හොඳ කළමනාකරණයකට පහසුකම් සලසමින් වියදම් කපා හැර අසීරුතා දුරුකරමින්  තොරතුරු බෙදා හදාගන්නා ප්‍රවණතාවක් මතුව තිබේ.
Big data Management  Systems (විශාල දත්ත කළමනාකරණ ක්‍රම)  යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි. පිටත පාර්ශවවලට පවා ගබඩා කොට ඇති දැවැන්ත  දත්ත වඩා හොඳ දත්ත කළමනාකරණයක් උදෙසා භාවිත කර දත්ත පද්ධතිය සුමටව  ක්‍රියාකාරී කර වීමට පහසුකම් සැලසිය හැකිය.
බැංකු  සම්බන්ධයෙන් යොදා ගන්නා විට ඒවා ‘‘විවෘත බැංකුකරණය”‍ යනුවෙන් හැඳින්වේ.Application Programming  Interfere  නැතහොත් API  යනුවෙන් හඳුන්වන විශේෂිත දත්ත පරිශීලකයන්ට  භාවිත කරන්නට ඉඩ හැරීමෙන් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේ. 2020 ජුනි මාසය මැද වන විට, විවෘත බැංකුකරණය සඳහා එක්සත් රාජධානියේ, යුරෝපා සංගමයේ,  සිංගප්පූරුවේ, ඕස්ට්‍රේලියාවේ,  එක්සත් ජනපදයේ, ජපානයේ මෙක්සිකෝවේ සහ චීනයේ මේ සඳහා අවසර දෙනු ලැබීය. මෙම ලැයිස්තුව දිනපතා දීර්ඝ වෙමින් පවතින අතර මෑතකදී ඉන්දියාව, නයිජීරියාව, හා බහරේනය එම සමූහයට එක් වූයේය .ශ්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලික බැංකු තෝරා ගත් සහ ප්‍රමිති ගතAPI වේදිකාවන්ට අනුගත වුවද එය තවමත් මෙරටේ බැංකුකරුවන් ගවේෂණය නොකළ භූමියකි.
ශ්‍රී ලංකාවේ බැංකු විසින් තරුණ නවීකාරකයා ඉවත හළ වගයි :-
බැංකුවල පවතින දැවැන්ත දත්ත භාවිත කර,  හොඳම විකල්ප තැන්පතු සහ ණය දීම්  සොයමින් යන අපේක්ෂා සහගත ගනුදෙනුකරුවන්ගේ සෝදිසි පිරිවැය අවම කිරීම උදෙසා වූ API  වේදිකාවක් නිර්මාණය කිරීමට උත්සුක වූ, අෂාන් ජයසිංහ නම් තරුණ නවීකාරක ව්‍යවසායකයා ගැන මම ලියා ඇත්තෙමි.
මේ වන විට එම තොරතුරු අඩවිය බැංකුවල (servers)  සේවාදායක තුළ නිකරුණේ අභාවිතව පවතී. අපේක්ෂා සහගත ගනුදෙනුකරුවන්ටත් බැංකු වලටත් ඔහුගේAPI  වේදිකාව වැඩදායී වන්නේ කෙසේදැයි  විස්තර කරමින් ජයසිංහ මෙසේ කීවේය.
‘තනි වේදිකාවක එම තොරතුරු පවතින්නට සැලැස්වීමෙන් කිහිප ආකාරයකින් ගනුදෙනුකරුවන්ගේ පහසුව සැලසේ. ඉන් එකක් නම් ඔවුන්ට සෝදිසි පිරිවැයක් දරන්නට සිදු නොවීමයි. කලින් පැවති මාදිලියේදී එම තොරතුරු ලබා ගන්නට ඔවුන්ට බැංකු කිහිපයකට පිවිසෙන්නට සිදු වූයේය. කාලය යනු වියදමක් වන අතර අවම කාලයක් වැය කරන්නට ඔවුන්ට උපකාර කළ හැකි නම් ඔබ ඇත්තෙන්ම පාරිභෝගිකයන්ට කරනුයේ යහපත් සේවාවකි. එය බැංකුවලට ද අතිශයින්ම ප්‍රයෝජනවත්වය. පාරිභෝගිකයා තමන්ගෙන් දුරස්ථ නොවූ බව ඔවුන්ට සහතික කර ගත හැකිවන්නේ පෞද්ගලිකව බැංකු එකින් එක වෙත පිවිසීම ඔවුන් අපහසුවට පත් කරන්නක් බැවිනි. එයින් බැංකුකරුවන්ගේ වෙළෙඳ දැන්වීම් සඳහා යන වියදම ද කපා හැරේ. එය රටටද ප්‍රයෝජනවත් වන්නකි. බැංකු එකිනෙකා පරයා තරගෙට වෙළෙඳ දැන්වීම්  පළ කරමින් බෙලි කැපීමේ තරගයක නිරතවෙද්දී,  ඵලදායී නොවන ලෙස  සම්පත් රාශියක් නාස්ති වී යයි. සියලු‍ම බැංකු කරුවන්ට එක්ව  මෙම වෙළෙඳ දැන්වීම් පළ කිරීම එකම තැනක කළ හැකි වේ නම් එයින් රටේ දුර්ලභ  සම්පත් ඉතිරි වේ ”‍
තමAPI  වේදිකාව  බැංකුවල පිළිගැනීමට ලක් කිරීමට  උත්සාහ දරනා විට ජයසිංහ  සෝචනීය ලෙස අසාර්ථක වූයේය. එවැනි නවෝත්පාදනයකට බැංකු උනන්දුව දැක්වූයේ නැත.රටේ නවීකාරකයෙකුගේ අවසානය එය වූ අතර ඔහු දැන් ඔහුගේ නිපුණතාවලට වටිනාකමක් පිරිනමන විදේශ රටක සිය නවීකාරක බුද්ධිය ස්ථානගත කර තිබේ.
සේවකයන් සහ පාරිභෝගිකයන් සමග සන්නිවේදනයේ යෙදීම:-
වර්තමාන ඩිජිටල් යුගයේ, ආයතන තම සේවකයන් සහ පිටස්තර අය සමග සන්නිවේදනයේ යෙදෙන ආකාරය ශීඝ්‍ර පරිවර්තනයකට ලක් වෙමින් පවතී. එය බැංකු  ක්ෂේත්‍රයට ද පොදු වූවකි. බැංකු අනිකුත් ආයතන මෙන්ම ව්‍යාපාරික  කටයුතු ඵලදායී ලෙස කිරීමට මාර්ග ගතව සිටීමේ අවශ්‍යතාව සලකා බලා එම අරමුණ කරා ළඟා වීමට සිය වෙබ් අඩවි ගොඩනගා තිබේ.
වෙබ් අඩවි ගොඩනැගීම පහසු කාර්යයක් නොවන අතර ඒ සඳහා එකක් පාසා එකක් අනුගමනය කළ යුතු විවිධ පියවර හතක්  ඇතුළත්ය. ආයතනයේ අරමුණු සහ ක්‍රමෝපාය හඳුනා ගැනීම අඩවියේ ව්‍යුහාත්මක සැකිල්ල ගොඩ නැගීම ආයතනයේ සන්නාම මාර්ගෝපදේශවලට අනුකූලව දෘශ්‍යමය නිර්මාණ ගොඩනැගීම, අන්තර්ගතය නිර්මාණය කිරීම, අනුමත වූ නිර්මාණ සැලසුම්, ක්‍රියාකාරී වෙබ් අඩවියක් බවට හැරවීම පරීක්ෂා කිරීම සහ ගුණාත්මක බව තහවුරු කිරීම සහ අවසානයේ වෙබ් අඩවිය දියත් කිරීම සහ නඩත්තු කිරීම යන කාර්ය ඊට අයත් වේ. එම නිසා අන්තර්ගතය විෂය පථය සහ පද්ධතියේ නව වෙනස්වීම්වලට කඩිනමින් වෙනස් වෙන ආකාරයෙන් ශෛලිය වෙනස් කිරීම පරිපාලනමය වශයෙන් බැංකුවට අසීරු වූ වියදම් සහගත කටයුත්තකි. කෙසේ වුවද මහජනයා වෙත උපරිම හොඳ සේවාවක් සැපයීම,බැංකුවේ අවශ්‍යතාව නම් ඒවා අනිවාර්යෙන් කළ යුතුය .
වෙබ් අඩවිවල පරිණාමය:-
අසුගිය දශක හතර තුළදී සන්නිවේදන තොරතුරු හා තාක්ෂණික දියුණුවත් සමග වෙබ් අඩවි ශීඝ්‍ර පරිවර්තනයකට ලක්ව තිබේ. වෙබ් අඩවිවල දියුණුවේ අවධි  කිහිපයක්  මවිසින් නිරීක්ෂණය කර තිබෙන අතර ඒවා Web 1.0 , Web 2.0,  Web 3.0   යනුවෙන් නම් කිරීමට මම කැමැත්තෙමි.
Web 1.0,  මියැදුණු ඇරිස්ටෝටල්, වර්ගයේ වෙබ් අඩවි:-
Web 1.0,  යනු එක් දිශාවකට පමණක්  යොමු වූ සන්නිවේදනයක් වන අතර එහිදී අදාළ  බැංකුව හෝ ආයතනය නරඹන්නන් දැනගැනීමට අවශ්‍ය වේ යැයි  හුදෙක් ඔවුන් සිතන  තොරතුරු පමණක්, ඇතුලත් කිරීම කෙරේ.  එය රජයේ ගැසට් පත්‍රය හෝ මුද්‍රිත මාධ්‍ය යෙන් නිකුත් වෙන වෙනත් ඕනෑම පුවත් පතක් හා සමාන වේ. පාඨකයාට එය කියවිය හැකි මුත් ඔහුට එය නොතේරේ නම් ප්‍රශ්නයක් ඇසිය හැකි නොවේ. එය බුද්ධිමත් පාඨකයකුගේ මූලික ගැටලු‍වකි.මෙය 1983 දී,ඇපල් අධිරාජ්‍යයේ සම සමාරම්භක,ස්ටීව් ජොබ්ස් එවකට වයස අවුරුදු 28 තරුණ ව්‍යවසායකයකුව සිටියදී ඇස්පෙන් හිදී International Design Conference  ( ජාත්‍යන්තර නිර්මාණ සැලසුම් සමුළුව) අමතන විට ඔහුට තිබූ ගැටලු‍වකි. ඔහු ප්‍රේක්ෂකාගාරය අමතන විට හාස්‍යය මුසුකරමින් කීවේ ඔහු ඇරිස්ටෝටල් ගේ කෘති කියවන විට ඇරිස්ටෝටල් ගෙන් අසන්නට ඔහුට ප්‍රශ්න කිහිපයක් තිබුණු බවත් ඇරිස්ටෝටල් මිය ගොස් සිටින  බැවින් එසේ කළ නොහැකි වූ බවත්ය.  Web 1.0     ත් හරියට මියැදුණු ඇරිස්ටෝටල් වාගේමය. ඔබ වෙබ් අඩවිය කියවන විට වෙබ් නිර්මාණකරුවා කී දේ ඔබට නොතේරේ නම් හෝ ඔහු කී දේ සම්බන්ධයෙන් ඔබට යම් විරෝධයක් ඇත්නම් ඔබට සිදුවන්නේ එම කියමන් ඔබටම කියාගන්නටය. එය ඵලදායි සන්නිවේදනය  නොවන්නේය.  එහෙත් මහා බැංකුව  ඇතුළු බැංකුවල වෙබ් අඩවි අයත් වෙන්නේ මියැදුණු ඇරිස්ටෝටල්ගේ වර්ගීකරණයටයි.  මෙම යල්පැනගිය වෙබ් සන්නිවේදන ඉවතලා වෙබ් සන්නිවේදනයේ ඵලදායී ක්‍රමයකට අනුගත වන්නට ඔවුන් ගත් කිසිදු උත්සාහයක් නැත.
Web 2.0  AI  (කෘතිම බුද්ධියේ) සහායෙන් ප්‍රශ්න ඇසීමට හෝ චැට් කිරීමට ඉඩ දීම:-
මියැදුණු ඇරිස්ටෝටල්ගේ වර්ගීකරණයට වඩා Web  2.0 ,  වර්ධනීය අවස්ථාවක් වන මුත් එයද පරමාදර්ශී  සන්නිවේදන ක්‍රමයක් නොවේ. ප්‍රශ්න විමසීමේ පෙට්ටියක් හෝ, Chatbox  එකක් එක් කිරීම මගින් කෘතිම බුද්ධියේ සහායෙන් කතා කිරීමට ඉඩ සැලසීමෙන් එහිදී අර්ධ වශයෙන් පාඨකයාට ප්‍රතිචාර දැක්වීම සඳහා විවර කොට තිබේ. ප්‍රශ්න ඇසීමේ ක්‍රමය කාලය වැය වෙන ක්‍රමයක් වන්නේ අදාළ ඉඩ කොටසක සටහන් කර පාඨකයා ලිඛිතව ප්‍රශ්නය නැගූ විට වෙබ් කළමනාකරු එය කියවා ඊට පිළිතුරු දෙතැයි බලාපොරොත්තුවන බැවිනි. ප්‍රශ්නයට පිළිතුරු දෙනතුරු පාඨකයා ඉවසා සිටිය යුතුය.  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු සමග මා  ලත් අත්දැකීම අනුව බොහෝවිට සිදුවන්නේ එවැනි ප්‍රශ්න වලට පිළිතුරු නොදී යාම බව පැහැදිලිය.
වරක් මම එක්තරා බැංකුවකින්  එහි එක් ශාඛාවකSWIFT  කේතය ගැන  එහි ප්‍රශ්න ඇසීමේ පහසුකම භාවිතයට ගෙන ඇසුවෙමි. එහෙත් මට පිළිතුරු නොලැබිණි. අදාළ  පිළිතුරු සොයා ගැනීමට මට  Google  භාවිත කරන්නට සිදුවිය. වෙබ් කළමනාකරු සමග සන්නිවේදනය කිරීමට වඩා හොඳ විධියක් වන්නේ AI  සහය ඇති Chatbox  විශේෂාංගය භාවිතයයි. අන්තර්ජාල පහසුකම් පවතී නම් එය එසැනින් ප්‍රතිචාර ලැබෙන  සන්නිවේදනයකි. එහෙත් AI  සහායෙන් සන්නිවේදනයේ යෙදිය හැක්කේ එක් වරකට එක් අයකුට  පමණක් බැවින් එහිදී බහු සන්නිවේදනයට අවසර නොලැබේ. AI  සහායකය  බැංකුවේ සියලු‍ම කාරණා සම්බන්ධයෙන් දැනුවත් වූවක් නොවේ. එය දන්නේ සීමිත පරාසයක  තොරතුරු  පමණකි. එම පරාසයෙන් පරිබාහිර ප්‍රශ්නයක් මතු කළ විට  ලැබෙන පිළිතුර සමාව ඉල්ලීමක් පමණක් වන්නේ එම තොරතුර එහි නොමැති බැවිනි. ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රමුඛ වෙබ් කළමනාකරණ සම්බන්ධ මගේ අත්දැකීම් එබඳුය.
Web 3.0,   එසැණින් ප්‍රතිචාර ලැබෙන බහු  සන්නිවේදනය :-
Web 3.0    ඔස්සේ එසැණින් ප්‍රතිචාර ලැබෙන චැට් පහසුකම් වරෙකට එක් සංනිවේදිකයකුට වඩා වැඩි දෙනකුට සැපයේ. එයින් ඒ හා සමගාමීව AI  සහායක සමගත්  එවේලේ පද්ධතියට ලොග්  වී සිටින අනෙකුත් සන්නිවේදකයන් සමගත් චැට්  කිරීමේ පහසුකම් සපයා දෙයි.එය වඩාත් දියුණු ක්‍රමයක් වන්නේ එයින් උනන්දුව දක්වන ජනයා එකිනෙකා සම්බන්ධ කරමින් විවිධ අදහස් හුවමාරු කර ගැනීමට හැකියාව ලබා දෙන නිසාය.
චැට් කිරීමට එක් වන පරිශීලකයාට ඔවුන්ගේ සැබෑ නම් හෝ ව්‍යාජ නාම භාවිත කර ඊට සහභාගි විය හැකිය.ඒ ආකාරයට chat  කිරීම උපයෝගී කරගෙන කිහිප දෙනකුට එකම වේලාවේ සන්නිවේදනයේ යෙදිය හැකිය. එම සන්නිවේදනය වාචිකව හෝ ලිඛිතව කළ හැකි බැවින් අනෙක් අය ලියා තැබූ දේ එසැනින්ම දැන ගැනීමේ හැකියාව තිබේ. පරිශීලකයා වරක් චැනලයට ප්‍රවිෂ්ට වූ විට එහි ප්‍රවිෂ්ට වී ඇති අනෙක් අය කවුරුන්ද යන්නද ඔහුට දැන ගතහැකිය. මෙම එක් එක් පරිශීලකයාගේ නමට යාකොට පුද්ගල හැඳුනුම්පත් අංක සමග ඔහු පිළිබඳ විස්තර සඳහන් වේ. එයින් වංචනිකයන් චැට් කිරීමට සහභාගිවීම වළකනු ලබයි.


ලියාපදිංචි වූ පරිශීලකයකුට පණිවිඩයක් ලද විට ඉහළ මතුවන කවුළුවකින් ඒ ගැන දන්වනු ලබන අතර පෙළ තෝරා ගැනීමෙන් අනතුරුව ඒවා කියවමින් ඔවුන්ට ප්‍රතිචාර  දැක්වීමේ හැකියාව ලැබේ.
ඉස්ට්‍රේට්( Istrate) මෙසේ කියයි. ”‍ චැට් කිරීම,  ලෝ වටා ජනයා සමඟ සන්නිවේදනය කිරීමේ විශිෂ්ට ක්‍රමයකි. මාර්ගගතව චැට් කිරීම මගින් පරිශීලකයාට කෙටි කාලයක් තුළදී සන්නිවේදනය කිරීමට ඉඩ ලැබෙන අතර ජනප්‍රිය  පොදු වේදිකා සම්බන්ධයෙන් ගත් විට ද තොරතුරු නිධි ගත ඒවා  බවට පත් නොවන්නේය. ඔවුන්ට ඕනෑම විටක ඒවාට ප්‍රවේශ වී ඒවා බෙදා හදාගත හැකිය.
මෙම ප්‍රජාතන්ත්‍රීය වෙබ් කළමනාකරණයෙන් බැංකුවල පාරිභෝගිකයන්ට බැංකු කළමනාකරණය සමග සජීවීව සාකච්ඡා කිරීමේ අවස්ථාව සැලසේ. එයින් බැංකුවලට  පාරිභෝගිකයන්ගෙන් ලැබෙන යෝජනා සහ අදහස් සලකා බලා පද්ධතියේ වූ දුර්වලතා හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමේ අවස්ථාවද සැලසේ. උදාහරණයකට යම් බැංකුවක් අලු‍ත් ඉතිරි කිරීමේ යෝජනාක්‍රමයක් හඳුන්වා දීමට අදහස් කරන්නේ නම් ඒ ගැන  පාරිභෝගික පදනම  වෙතින්  එසැනින්ම ප්‍රතිචාර ලබා  ගෙන එය සැලසුම්  කිරීමේ හැකියාව බැංකු කළමනාකරණයට Web 3.0  ඔස්සේ ලැබෙයි. එය අපේක්ෂා සහගත පරිශීලකයන් සමග සාකච්ඡා කර අලු‍ත් වැඩපිළිවෙළ හඳුන්වාදීමේ වඩාත් හොඳ ක්‍රමයකි. එවිට එය ක්‍රියාත්මක කිරීමට පෙරම එහි සාර්ථකත්වය සහතික කර ගත හැකිය.
මළගිය ඇරිස්ටෝටලියානු වර්ගයේ වෙබ් අඩවි තුළ දනිපනි ගානා ශ්‍රී ලංකාවේ බැංකු තවමත් පසු වන්නේ ගෝලීය දියුණුවට පසුපසිනි. එම නිසා ඔවුන් කතා කරන ඩිජිටල්කරණය හුදෙක් පුරාජේරුවක් පමණකි. දැවැන්ත තොරතුරු අනුසාරයෙන් ඵලදායී භාවිතයකට තුඩු දෙන  ඩිජිටල්කරණයකට  ඔවුන් පහසුකම් සැලසිය යුතුය. එසේ කළ හැකි වන්නේ බැංකු සහ ඔවුන්ගේ පාරිභෝගිකයන් අන්‍යෝන්‍ය ප්‍රයෝජනය තකා එක්ව කටයුතු කළහොත් පමණකි.

2026 පෙබරවාරි 26 Daily FT  හි පළවූ 
Digital banking hype: more to be done to make it inclusive ලිපියේ පරිවර්තනය සමන් සමන් පුෂ්ප ලියනගේ