ජපානය - ඇමෙරිකාව දෙරට අතර දැවැන්තම වෙළෙඳ ගිවිසුමට අත්සන් තබයි


  • ජපානය ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවලට සියයට 15 ක තීරු බද්දක්
  • අනෙක් රටවල නිෂ්පාදිත වාහන සහ වාහන අමතර කොටස්වලට සියයට 25ක තීරු බද්දක්
  • ජපානයෙන් ඇමෙරිකාවේ ඩො. බි. 550 ක ආයෝජනයක්. ඉන් ලැබෙන ලාබයෙන් සියයට 90 ක් ඇමෙරිකාවට
  • ඉන්දුනීසියාවට සියයට 19 ක, පිලිපීනයට සියයට 19 ක, වියට්නාමයට සියයට 20 ක තීරු බද්දක්

විමුක්ති එස් රුද්‍රිගු


ජපානය සහ ඇමෙරිකාව ඉතිහාසයේ දෙරට අතර අත්සන් තැබූ දැවැන්තම වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබූ බවත්, ඒ සඳහා ජපානයේ සිටින ඉහළම පෙළේ ප්‍රධානීන් ඇමෙරිකාවට පැමිණි බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ අනුව ජපානය ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ‘‘අන්‍යෝන්‍ය බදු”‍ ක්‍රමය යටතේ සියයට 15 ක තීරු බද්දක් පැනවෙනු ඇති බවත් ජපානය ඇමෙරිකාවට අපනයනය කරන එරට නිෂ්පාදිත වාහනවලට මෙන්ම වාහන අමතර කොටස්වලටද අයකෙරෙන්නේ සියයට 15 ක තීරු බද්දක් බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය.

එය ජපානයට ඉතාමත් වාසිදායක තත්වයක් බවත් අනෙක් රටවල නිෂ්පාදිත වාහන සහ වාහන අමතර කොටස්වලට ඇමෙරිකාව සියයට 25 තීරු බද්දක් අයකරන බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ජපානය ඇමෙරිකාවේ ඇමෙරිකාවේ ඩොලර් බිලියන 550 ක ආයෝජනයක් සිදු කරනු ඇති බවත්, ඉන් ලැබෙන ලාබයෙන් සියයට 90ක් ඇමෙරිකාවට ලැබෙනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය. මෙවැනි වෙළෙඳ ගිවිසුමක් ඇමෙරිකාව මිට පෙර අත්සන් තබා නොමැති බවත් මෙම ගිවිසුමෙන් රැකියා දහස් ගණනක් උත්පාදනය වනු ඇති බවත් ජනපතිවරය ප්‍රකාශ කළේය.

දෙරට අතර වෙළෙඳ ගිවිසුම ඇමෙරිකාවේ මෝටර් රථ, තෝරාගත් කෘෂි කාර්මික නිෂ්පාදන සඳහා ජපානය දොරටු විවෘත කරනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය. ඒ අනුව වාහන සහ වාහන අමතර කොටස්වලට ‘‘අන්‍යෝන්‍ය බදු”‍ ක්‍රමය යටතේ ඇමෙරිකාව පනවා තිබූ තීරු බද්ද සීමා රහිතව අඩුකර ගැනීමට හැකියාව ලැබුණු ප්‍රථම රට බවට ජපානය ප්‍රකාශ කළේය.

එසේම ‘‘අන්‍යෝන්‍ය බදු”‍ ක්‍රමය යටතේ ඉන්දුනීසියාවට සියයට 19 ක් තීරු බද්දක්ද, පිලිපීනයට සියයට 19 ක තීරු බද්දක්ද, වියට්නාමයට සියයට 20 ක තීරු බද්දක්ද පැනවෙනු ඇතැයි ජනපති ට්‍රම්ප් පැවැසුවේය. එළැඹි ගිවිසුම් හේතුවෙන් පහළ තීරු බද්දක් ලැබී තිබෙන රටවලට අනෙක් රටවලට වඩා වාසියක් අත්වනු ඇති බවද ආර්ථික විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාව ඊයේ (23) එම බදු ක්‍රමය යටතේ මෙරටට පනවා තිබෙන සියයට 30 ක තීරු බද්ද අඩුකර ගැනීම සඳහා දෙවැනි වතාවටත් මාර්ගගතව ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග සාකච්ඡා පැවැත්වූවේය. සියයට 30 තීරු බද්ද වෙනස් කර ගැනීමට ඇමෙරිකාව එළැඹෙන 1 වැනිදා තෙක් ශ්‍රී ලංකාවට කාලය ලබාදී තිබේ. එළැඹෙන 1 වැනිදා සිට මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද හෝ සංශෝධනය කරනු ලබන තීරු බද්ද ක්‍රියාත්මක වීමට නියමිතය.