ජපන් ජබර මලෙන් දිවි ගෙන යන මිනිස්සු


 පොකුරු ලෙස ජපන් ජබර මල් පිපී ඇති අන්දම

දිනේෂ් මධුෂංඛ

පී.එච්. නිශාන්ත


සටහන හා ඡායාරූප බුල්නෑව - ප්‍රදීප් රණතුංග


අලෙවියට තබා ඇති ජපන් ජබර මල් පොකුරු

මහමෙව්නාවේ ජපන් ජබර මල් වෙළෙඳාම

ජපන් ජබර මලින් පුදදෙන 
මහමෙව්නාවේ මහා සෑය

නෙලු‍ම් වියන වසා බෝවී එන ජපන් ජබර

මෙරට ඉහළම ග්‍රාමීය වැව් පද්ධතියක් ඇති කුරුණෑගල, අනුරාධපුරය ආදී දිස්ත්‍රික්ක ආශ්‍රිත ගම්මැදි බොහෝ වැව් වෙත ආක්‍රමණශීලි ජලජ ශාඛයක් වන ජපන් ජබර මගින් කර ඇත්තේ විශාල බලපෑමකි. ඉතා වේගයෙන්, සරුසාරව සියල්ල යටකර මෙම ශාඛය මතුවීම හේතුවෙන් ගම්මැදි වැව් හැඩ කළ විචිත්‍රවත් නෙලු‍ම් වියන අතුරුදන් වී තිබේ. සිත් ගන්නා ලෙස ඕලු‍, මානෙල් වැවී තිබූ වැව් ආශ්‍රිතව අද දැකිය හැක්කේ ජපන් ජබර ගොල්ලකි. වැව වසා පැතිරීම හේතුවෙන් කුඩා වැව් ආශ්‍රිතව ධීවර රැකියාවෙන් දිවි සරිකළ හැමට රැකියාව අහිමි වී තිබේ. වැව් ගොඩවීම වේගවත්වීමට ජපන් ජබර උපකාරයක්ම වී ඇත. විචිත්‍රවත් පාරිසරික පද්ධතියක් ලෙස පැවැති වැවෙහි ජීව ගුණය පිරිහීමට ද මෙම ශාඛය හේතුවී ඇත. මසුන් පමණක් නොව පක්ෂීන් සහ විවිධ ජලජ ජීවීන් ද එමගින් බලපෑමට ලක්ව තිබේ. 

මෙම ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් විවිධ වැඩසටහන් විවිධ කාලවලදී ආරම්භ කළද ඉන් බොහෝමයක් අතරමග නැවැතී අසාර්ථක වී තිබේ. එවැනි ව්‍යාපෘති සඳහා යෙදවූ මිලියන සංඛ්‍යාත මුදල් අපතේ ගොස් ඇත. ජපන් ජබර සහ සැල්වීනියා වැනි අහිතකර ජලජ ශාඛ ඉවත් කර වැව්, අමුණු අලු‍ත්වැඩියා කිරීම සඳහාම විවිධ අමාත්‍යාංශ යටතේ ආරම්භ කළ ව්‍යාපෘති බොහෝමයක් මූලික අරමුණෙන් බැහැරව අසාර්ථක වී ගියේය. 

මේ හැම අතරේ ඉතා දැකුම්කළු මලක් ජපන් ජබර ශාඛයෙන් මතුවී එයි. කලකදී එවැනි මල් දස දහස් ගණනකින් වැව් බිම වැසී යයි. ප්‍රිය උපදවන සුළු හැඩයෙන් යුතු මේ මල් වැව් දිය පීරා නෙළා ගෙනැවිත් දිවි ගෙන යන පිරිසක් ද අනුරාධපුරය අටමස්ථානය ආශ්‍රිතව දැක ගත හැකිය. ඔවුහු අටමස්ථානය වැඳීමට එන වන්දනාකරුවන්ට මේ මල් විකුණා සොයන ආදායමෙන් සවසට හාල්, තුනපහ නිවසට ගෙන යති. 

අටමස්ථානයේ ලෝ පතල ඓතිහාසික සමාධි බුද්ධ ප්‍රතිමාවට පිවිසෙන මග පසෙකට වී ජපන් මලෙන් දවසේ ආදායම සොයන පී.එච්. නිශාන්ත සිය අත්දැකීම් පිළිබඳව පැවසුවේ මෙවැනි අදහසකි.

“නොදන්න කෙනකුට මේ මල් මොනවද කියලා හිතාගන්නවත් බෑ. ඒ තරම් ලස්සනයි. ලොකු සුවඳක් නෑ. ඒත් පුදුම ලස්සනක් තියෙන්නේ. ඕලු‍, නෙලු‍ම් මල් වගේ මේ මල් කඩාගන්න ලොකු කරදරයක් නෑ. නෙලු‍ම් මල් එහෙම ගම්මැදි වැව්වලින් කඩාගන්න ගියහම සෑහෙන කරදර විඳින්න වෙනවා. සමහර වැව්වලින් ගමේ අය මල් කඩන්න දෙන්නෙත් නෑ. එක්කෝ මල් මුදලාලි කෙනකුට වැව පිටින් බදු දීලා. ජපන් ජබර මල්වලට එහෙම ප්‍රශ්න නෑ. මේ මල් වැවකට බැහැලා කඩාගත්ත කියලා කාගෙන්වත් බාධාවක් නෑ. අනිත් එක දැන් සමහර වැව්වල නෙලු‍ම් මල් ඇත්තෙම නෑ. සම්පුර්ණයෙන්ම ජපන් ජබරවලින් වැහිලා තියෙන්නේ. අපි මේවා මල් මිටි විදිහට තමයි විකුණන්නේ. පොඩි ගාණක් තමයි ගන්නේ. ගම්වල අයට ජපන් ජබර කියන්නේ මහා කරදරයක්. ඒත් අපි ඒ මල් විකුණලා දරුවෝ ජීවත් කරනවා.” 

මහමෙව්නාවේ සමාධි පිළිමය පමණක් නොව ජය ශ්‍රී මහ බෝධිය, රුවන්වැලි මහ සෑය, අභයගිරිය, ජේතවනය, ථුපාරාමය, ලංකාරාමය, මිරිසවැටිය වැනි වෙහෙර විහාරස්ථාන අභිමුව පුදසුන් ඕලු‍, නෙලු‍ම්, මානෙල්, දාස්පෙතියා ආදි නේක මල් අතරට දැන් ජපන් ජබර මල්ද එකතුව තිබේ. මේ මල් බුදු පුදට ගෙන යන මිනිසුන් නිසාම තවත් පිරිසකට ඉන් දිවි ගෙන යෑමේ මග පෑදි තිබේ. ජපන් ජබර මල් පොකුරු වන්දනාකරුවන්ට අලෙවි කර දිවි ගෙනයන දිනේෂ් මධුෂංඛ මෙසේ කරුණු කීවේය. 

“අපිට තියෙන එකම සටන ජීවත් වෙන එක තමයි. දවසට රුපියල් හය හත්සීයක්වත් හොයාගත්තේ නැත්නම් හවසට හාල්, පොල්වත් ගන්න බැරුව යනවා. මේ හොයන කීයෙන් හරි තමයි දවසේ වියදම පියවගෙන දරුවන්ට උගන්නන්නේ. දැන් මේ තියෙන බඩු මිලත් එක්ක අපි වගේ පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන එක යුද්ධයක් වෙලා තියෙන්නේ. මේ ටිකේ ඇත්තටම සෙනග එන්නේ අඩුවෙන්. පෝය දවසටයි, ඉරිදා, සෙනසුරාදා දවස්වලට නම් සෙනඟ ටිකක් එනවා. මේ මල් පූජා කරන්න හොඳයි කියලා අපිම හිතලා තමයි කඩන්න ගත්තේ. දෙයියනේ කියලා දැන් ඒකෙන් කීයක් හරි හොයාගන්න පුළුවන්.” 

ලංකාවට පමණක් නොව දකුණු ආසියාතික කලාපයටම ජපන් ජබර අද වනවිට විශාල ගැටලු‍වක් බවට පත්ව ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. එහෙත් ඉන්දියාව ඇතුළු රටවල් ජපන් ජබර යොදාගෙන විවිධ නිෂ්පාදන සිදුකරන බව ද සඳහන් වේ. විවිධ ගෘහ උපකරණ, අත්කම් නිර්මාණ මෙන්ම සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ද ජපන් ජබර එරට තුළ භාවිතයට ගැනෙන බව සඳහන්ය. බයෝ ගෑස් ආදිය නිපදවීමට ජපන් ජබර යොදා ගන්නා බවක් ද කියැවේ. කරුණු එසේ වී ඇති පසුබිමක පිපී පරවී යන ජපන් ජබර මලෙන් පවුලක දිවි ගෙන යන මහමෙව්නාවේ මේ පොඩි මිනිසුන් ජීවිතයට අලු‍ත් වටිනාකමක් එක්කර තිබේ.

ජපන් ජබර මලෙන් දිවි ගෙනයන මිනිස්සු