ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. විසින් ‘ශක්ති’ නමින් කාන්තාවන් සඳහාම වෙන් වූ විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙය කිසිදු භේදයකින් තොරව සැමට මූල්‍ය සේවා පිරිනැමීම සහ දීර්ඝකාලීන ධන උත්පාදනය දිරිගැන්වීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම තවදුරටත් තහවුරු කරන හඳුන්වා දීමකි.
සාම්ප්‍රදායික ස්ථාවර තැන්පතුවක් නොවන ‘ශක්ති’ ස්ථාවර තැන්පතුව සැලසුම් කර ඇත්තේ වර්තමාන කාන්තාවන් වෙනුවෙන්මය. වෘත්තීය ජීවිතය ආරම්භ කරන මොහොතේ සිට ව්‍යාපාරයක් වැඩිදියුණු කරගැනීම දක්වා ජීවිතයේ සෑම අදියරකදීම කාන්තාවන්ට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල දීර්ඝකාලීන මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කරගැනීමට උපකාරී වීම එහි ප්‍රධානතම අරමුණයි.
මේ වන විට කාන්තාවන් වැඩි වැඩියෙන් ආර්ථික ක්‍රියාවලියට දායක වෙමින් සිටින අතර, ඔවුහු ව්‍යාපාර මෙහෙයවමින්, මූල්‍ය තීරණ ගැනීමේ වගකීම් දරමින් සිටිති. මෙම පිරිසගේ අවශ්‍යතාවලට ගැලපෙන ආයෝජන විසඳුම් සඳහා පවතින ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. ‘ශක්ති’ යනු මෙම ඉල්ලුම සපුරාලීමේ අරමුණින් සැලසුම් කළ ස්ථාවර තැන්පතුවකි. එය විධිමත් ලෙස ඉතිරි කිරීම සහ දීර්ඝකාලීන මූල්‍ය සැලසුම්කරණය දිරිගන්වන සුරක්ෂිත හා වාසිදායක ආයෝජන විසඳුමක් ලෙස හැඳින්විය හැකි වේ.
ආකර්ෂණීය පොලී අනුපාත සමගින් අමතර ප්‍රතිලාභ රැසක් පිරිනමන ‘ශක්ති’ ස්ථාවර තැන්පතු කාන්තාවන්ට ක්‍රමානුකූලව ධනය වර්ධනය කරගැනීමට උපකාරී වෙයි. ජනශක්ති සමූහයේ දීපව්‍යාප්ත ශාඛා ජාලය සහ එහි ඩිජිටල් හැකියාව හේතුවෙන් ‘ශක්ති’ ස්ථාවර තැන්පතු විවෘත කිරීම සහ පවත්වාගෙන යාම ඉතාමත් පහසු වේ. මෙය සැලසුම් කර ඇත්තේ විශේෂයෙන්ම ප්‍රධාන නාගරික ප්‍රදේශවල කාන්තාවන් සඳහා සරල හා පහසු මූල්‍යමය විසඳුමක් වශයෙනි.
“ආර්ථිකය තුළ කාන්තාවන්ගේ වෙනස් වන භූමිකාවට වඩාත් හොඳින් ගැලපෙන විසඳුම් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් මූල්‍ය ක්ෂේත්‍රය පුරා වර්ධනය වෙමින් පවතිනවා. ශ්‍රම බලකාය සහ ව්‍යවසායකත්වය තුළ කාන්තාවන්ගේ දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමට නම්, ඔවුන්ගේ අවශ්‍යතාවලට වඩාත් හොඳින් ගැලපෙන මූල්‍ය විසඳුම් හඳුන්වා දීම අත්‍යවශ්‍යයි. ‘ශක්ති’ ස්ථාවර තැන්පතුව යනු ඒ සඳහා අප දරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක්. මෙමගින් කාන්තාවන්ට තම මූල්‍ය කටයුතු වඩාත් හොඳින් සැලසුම් කිරීමට, කාලයත් සමග ධනය ගොඩනංවා ගැනීමට සහ, තමන්ගේ සහ තම පවුල්වල මූල්‍ය සාර්ථකත්වය වෙනුවෙන් වඩාත් ශක්තිමත් කාර්යභාරයක් ඉටු කිරීමට අවස්ථාව ලැබෙනවා. එය අන්තර්කරණය (Inclusion) දිරිගැන්වීම සහ විධිමත් ආයෝජන අවස්ථා සඳහා ඇති අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් අප සතු දැක්ම මැනැවින් පිළිබිඹු කරන පියවරක් ලෙසද හැඳින්වීමට පුළුවන්” ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා පැවසීය.
‘ශක්ති’ යනු හුදෙක් ආයෝජන විසඳුමක් පමණක් නොවේ. එය කාන්තාවන්ට ආත්ම විශ්වාසයෙන් යුතුව තම මූල්‍ය අනාගතය තීරණය කිරීම සඳහා ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.
“මෙහිදී අපගේ ප්‍රධානම ඉලක්කය වූයේ වර්තමාන කාන්තාවන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන, ඔවුන්ට පහසුවෙන් ලබාගත හැකි මූල්‍ය විසඳුමක් හඳුන්වා දීමයි. ආයෝජනය ආරම්භ කිරීමට දිරිගන්වන සරල සහ වාසිදායක ක්‍රමයක් ලෙස එය සැලසුම් කර තිබෙනවා. එමෙන්ම සාම්ප්‍රදායික ස්ථාවර තැන්පතුවක සීමාවෙන් ඔබ්බට විහිදෙන ප්‍රතිලාභ රැසක් ඊට ඇතුළත්. මින් ඉදිරියට අපගේ ශාඛා ජාලය සහ ඩිජිටල් නාලිකා ඔස්සේ කාන්තාවන්ට ඉතාමත් පහසුවෙන් ‘ශක්ති’ තැන්පතු විවෘත කළ හැකියි. මෙය ඔවුන්ට ශක්තිමත් මූල්‍ය අනාගතයක් ගොඩනංවා ගැනීම සඳහා සාර්ථක ආරම්භක පියවරක් වේවි.” ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ නාලිකා ප්‍රධානී සමින්ද රත්නායක මහතා පැවසීය.
‘ශක්ති’ ස්ථාවර තැන්පතුව මගින් කාන්තාවන්ට සහනදායී පොලී අනුපාත යටතේ හිමිවන ණය හා ලීසිං, ආයෝජන සැලසුම් සහ කාරක ප්‍රාග්ධන මූල්‍ය පහසුකම් ඇතුළු තවත් මූල්‍ය සේවා රාශියක් හිමි වේ. මෙය ඔවුන්ගේ මූල්‍ය හා ව්‍යවසායකත්ව ඉදිරි ගමනට ලැබෙන සුවිශේෂී සහයෝගයක් වනු නිසැකය.

