අංජුල මහික වීරරත්න
ජපාන නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමග වට මේස සාකච්ඡාවකට එක් විය.
ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ (JETRO) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko) මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ (JSLBCC) සභාපති සහ ITOCHU සමාගමේ සභාපති ෆුමිහිකො කොබයාෂි (Fumihiko Kabayashi) මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ ආයෝජන හිතකර පරිසරයක් ගොඩනගමින් වංචා සහ දූෂණය පිටුදැකීමට වත්මන් රජය ගෙන ඇති පියවරද පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවකු ලෙස ශ්‍රී ලංකාව සහ ජපානය අතර වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ අවශ්‍යතාව සහ එමගින් අන්‍යෝන්‍ය වශයෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුහු සමූහ ඡායාරූපයකටද එක් වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසූෆ්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.