- විවිධ කෘමි උවදුරු හා රෝගවලට ලක්වීමෙන් අස්වනු ප්‍රමිතියෙන් තොරවිම හා ඉක්මනින් කුණුවීම නිසා අලෙවිකර ගැනිමේ බරපතළ ගැටලුවක්
- කිලෝවක් ඉල්ලන්නේ රුපියල් 100ක් 120ක් වැනි ඉතා අවම මිලකට
- බැංකුවෙන් ගත් වගා ණය ගෙවා ගත නොහැකි තත්වයකට පත්වෙලා
- ගෝවා බීජ ඇට ග්‍රෑම් 10ක් රුපියල් 2200 සිට 3000 ක් අතර මිලක් වෙනවා
- පොහොර රසායනික කෘමිනාශක සමග වියදම රුපියල් එක් ලක්ෂ පනස් දහසක්
වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රී
මෙවර එළවළු වගා කන්නයේදි වැලිමඩ සානුවේ වගා කර තිබෙන ගෝවා වගා අතර විවිධ රෝග හා පලිබෝධ හානියක් පැතිරී යාම හේතුවෙන් තමන් ආර්ථික පිඩාවට මෙන්ම මානසික පීඩාවට පත්ව සිටින බවත් මේ නිසා ඉදිරියේදි ගොවින් එළවළු වගාවෙන් ඉවත් විම හෝ වගාව සිමිතව කිරිමෙන් එළවළු හිඟ වී ගොවියා මෙන්ම පාරිභෝගිකයාද අසිරුවට පත්වනු ඇතැයි වැලිමඩ සානුවේ ගොවීහු මැසිවිළි නගති.
දිවයිනේ බහුතර පාරිභෝගික ජනතාවට එළවළු සපයන්නේ වැලිමඩ සානුවේ ගොවින් බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ. මෙම ගොවින් වගා කරන භෝග වගා යෙදවුම් මිල ඉහළ තලයක පැවතීම හා එම බිජ ඇතුළු යෙදවුම් වල ප්‍රමිතිය අවම විම හේතුවෙන් විවිධ රෝග හා පළිබෝධ වලට ලක්වන බවත් පවසති. වගා කන්නයෙන් කන්නයට මතුවන මෙම ගැටලු විසඳීමට කිසිදු වගකිව යුතු පාර්ශවයක් පියවර නොගන්නා බවද ගොවීහු පවසති. තමන් මෙවර වගා කන්නයේ ද සුපුරුදු පරිදි ගෝවා වගාව කර ඇති බවත් අස්වැන්න නෙළන අවධිය වන විට මෙලෙස විවිධ කෘමි උවදුර හා රෝගවලට ලක්වීම හේතුවෙන් අස්වනු ප්‍රමිතියෙන් තොරවිම හා ඉක්මන් කුණුවිම යන කාරණා මතු වීමෙන් අලෙවිකර ගැනිමේ බරපතළ ගැටලුවකට මුහුණ දිමට සිදුව ඇති බවත් ගොවියෝ පවසති.
වැලිමඩ බෝගහකුඹුර ගැටලගමුව පදිංචි ආර්.ඇම්. විමලදාස බණ්ඩාර මෙසේ පැවසීය.
මම එළවළු වගාවෙන් තමයි ජීවත් වෙන්නේ. නව කෘෂි වගා තාක්ෂණය භාවිත කරමින් අපේ ගොවින් එළවළු වගාවේ නියැළෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව කෘෂි තාක්ෂණය හඳුන්වා දුන්නේ කෘමි හානි හා දිලිර රෝගවලට ලක්වීම අවම තත්වයක පැවතීම හා එම අවස්ථා පහසුවෙන් හා අවම වියදමකින් පාලනය කිරීමට හැකිවන තත්වයක් පවතින බව පවසමින්.
ඒ අනුව මම බැංකු ණය මුදලින් නව තාක්ෂණය භාවිත කරමින් මම අක්කර භාගයක පමණ ගෝවා වගාව කළා. මේ සදහා මට රුපියල් ලක්ෂ 03ක පමණ මුදලක් වැයවුණා. ගෝවා පැළ වගා බිමේ සිටුවා දින 15ක් පමණ ගතවෙද්දි කෘමින් පත්‍ර හානියක් කරන බව දැක්කා. වෙළෙඳපොළේ පවතින කෘමිනාශක අදාළ උපදෙස් පත්‍රිකාවේ සදහන් අන්දමට සකසාගෙන වගාවට යෙදුවා. එහෙත් කෘමින්ගේ පාලනයක් වෙනුවට වේගයෙන් කෘමි ගහනය වර්ධනය වුණා. මෙය පාලනයකර ගැනීමට කෙටි කාලිනව කෘමිනාශක යෙදුවත් ප්‍රයෝජනයක් නම් ලැබුණේ නෑ. පණුවන් වේගයන් කෙටිකලක් තුළදි ගෝවා කොළ කා දමනවා. ඒ නිසා ගෝවා ගෙඩි ප්‍රමිතියෙන් තොරයි. ඉක්මනින් තැලී පොඩිවීම හේතුවෙන් කුණු වී විනාශයට පත්විමක්ද සිදුවෙනවා. එනිසා වෙළෙඳුන් අපේ ගෝවා මිලට ගැනිම ප්‍රතික්ෂේප කරනවා. එසේම කිලෝවකට රුපියල් 100ක් 120ක් වැනි ඉතාමත් අවම මිලකට ඉල්ලන්නේ. මෙවැනි මිලකට අලෙවි කිරීමෙන් අපිට වගාවට වැයකර තිබෙන මුදලවත් උපයා ගන්න බැරි තත්වයක් උදා වෙලා. ඒ නිසා මම බැංකුවෙන් මාස 06ක් ගෙවා අවසන් කිරිමේ කොන්දේසිය මත ගත් වගා ණය ගෙවා ගත නොහැකි තත්වයකට පත්ව සිටිනවා. එළවළු ගොවින් වන අපිට සැකයක් පවතිනවා දේශිය වෙළෙඳපොළේ තිබෙන එළවළු බීජ රසායනික පොහොර හා කෘමිනාශක ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් තොර බවට. ඒ නිසා ගොවියා අසරණ කරන ප්‍රමිතියෙන් තොරවු වගා යෙදවුම් පිළිබදව සොයා බලන යම් වැඩ පිළිවෙළක් සකසා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා.
ගොවි ජාතික සමුළුවේ වැලිමඩ ඌව පරණගම ගොවි සභාවේ කැදවුම්කරු ආර්.ඇම්. රෝහණ රාමනායක මෙසේ
පැවසීය.
අපි පාරම්පරික එළවළු ගොවියෝ. ලංකාවේ බහුතරයක් ජනතාවට අර්තාපල් ඇතුළු උඩරට එළවළු සපයන්නේ වැලිමඩ සානුවේ ගොවි ජනතාවයි. අතීතයේදි නම් එළවළු වගාවෙන් අපේ අතමිට සරුවුණත් අද වනවිට එළවළු බිජ රසායනික හා කාබනික පොහොර සමග කෘෂි රසායනික මිල ඉහළ යාමත් සමගම එම යෙදවුම්වල නිසි ප්‍රමිතියක් නොමැති බව දකින්නට ලැබෙනවා. ගොවියා අද මුහුණ දෙන බරපතළ ගැටලුව නම් වගා අස්වනු අඩුවීම හා ප්‍රමිතියෙන්තොර අස්වනු මෙන්ම රෝග හා පළිබෝධ හානි ඉහළ මට්ටමක පැවතිමයි.

වෙළෙඳපොළේ ඇති බීජ හා දිලීරනාශක ඇතුළු රසායනික බෙහෙත් පොහොර සම්බන්ධයෙන් විධිමත් පරික්ෂා කිරීමක් සිදු වනවාදැයි ගැටලුවකි. වෙළෙඳපොළේ පවතින රසායනික හා කාබනික පොහොරත් ප්‍රමිතියෙන් තොර බව දකින්නට ලැබෙනවා. රසායනික පොහොරවල වැලි මිශ්‍ර බවට අපි රටට පෙන්නා දුන්නා. කාබනික පොහොර ලෙසට ගන්නා කුකුළු පොහොර වලත් තියෙන්නේ දහයියා සහ පස් බවට දකින්නට තිබෙනවා. මෙවන් ප්‍රමිතියෙන් තොර වගා යෙදවුම් වලට විශාල මුදලක් ගොවියා වැයකරනවා. මෙවන් අන්දමට සිදුකරන එළවළු වගාවෙන් ලැබෙන අස්වනු ප්‍රමිතියට නොමැති නිසා අලෙවි කිරිමේදී බරපතළ ගැටලුවකට ගොවියා මුහුණ දෙනවා.
අද ප්‍රමිතියෙන් තොරවිම මත ගෝවා කිලෝ එකක් රුපියල් 100ත් 120ත් අතර මිලක පවතිනවා. ගෝවා අස්වනු කිලෝ 2000ක් වුවොත් කිලෝවක මිල රුපියල් 100 නම් දළ වශයෙන් රුපියල් ලක්ෂ දෙකක අදායමක් ලබාගත හැකි වෙනවා. වගාවට රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ මුදලක් වැයවුණා. ඒ අනුව මට වගා වියදම අඩුකළ විට ලැබෙන්නේ රුපියල් පනස් දහසක් පමණයි. වගාවට දින 90ක කාලයක් ගත වෙනවා. ඒ අනුව මට දිනකට ලැබෙන මුදල රුපියල් 550ක් වෙනවා. ගෝවා කිලෝවකට රුපියල් 120ක් මිලක් නම් කිලෝ 2000 (120 X 2000) රුපියල් 240000 මුදලක් ලැබෙනවා. මගේ වගා වියදම රුපියල් 150000 මුදල අඩු කළාම ඉතිරිවන්නේ රුපියල් 90000යි. වගා දින 90 ට කාලයට අනුව දිකට මට ලැබෙන්නේ රුපියල් 1000 යි. මෙවන් මුදලකින් පවුලක් ජිවත් කිරීමට හැකියාවක් නෑ.
මෙවන් පසු බිමක ගොවියා ගොවිතැනින් ඇත් වීම වළක්වා ගන්න බැරි තත්වයක් උදාවෙලා. ඒ නිසා වෙළෙඳපොළේ පවතින බීජ වර්ග රසායනික පොහොර හා කාබනික පොහොර සමග රසායනික කෘමිනාශක හා දිලිර නාශක පිළිබඳව තත්ව පරික්ෂා කිරීමට හැකි රසායනාගාරයක් රජය මැදිහත්ව කඩිනමින් ආරම්භ කළයුතු කාලය එළඹ තිබෙනවා.
ගොවියා වගාවෙන් ඇත්විමට ප්‍රථම මේවා සම්බන්ධව රජයේ වගකිවයුතු බලධාරින් විසින් සොයා බැලිය යුතු බවත් එසේ නොවිමෙන් වෙළෙඳපොළේ එළවළු හිඟතාව මත මිල අධික විමෙන් ගොවියා මෙන්ම පාරිභෝගිකයාත් අන්ත අසරණතාවයකට පත්වීම වළකාගත නොහැකි වෙනු ඇතැයි රෝහණ රාමනායක මහතා පැවසිය.