ගෝලීය සයිබර් අපරාධ වර්ධනයට සමගාමීව ලංකාවේ ජංගම දුරකථන මූල්‍ය තොරතුරැවල අවදානම ඉහළට


බැංකුකරණය, සාප්පු සවාරි සහ ආයෝජන කළමනාකරණය සඳහා ප්‍රධාන මෙවලම ලෙස ස්මාර්ට් ජංගම දුරකථන භාවිතවෙමින් ලංකාවේ ඩිජිටල් විප්ලවය තුළ ප්‍රමුඛස්ථානය ජංගම දුරකථනයට හිමිව ඇති පසුබිමක ලාංකිකයන් මිලියන ගණනක් ජංගම දුරකථන කේන්ද්‍ර කරගත් මූල්‍යමය සයිබර් තර්ජනවලට නිරාවරණය වී ඇති බව Kaspersky 2024 සයිබර් ආරක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

Kaspersky හි ගෝලීය දත්ත මගින් ජංගම උපාංග ඉලක්ක කරගත් මූල්‍ය වයිරස්වල දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරයි. 2023 ට සාපේක්ෂව 2024 දී එවැනි වයිරස් මෘදුකාංග මගින් පීඩාවට පත් වූ පරිශීලකයන් සංඛ්‍යාව දෙගුණ වී ඇති අතර බැංකු ආශ්‍රිත මෙවැනි සයිබර් ප්‍රහාර සිදුවීම් 3.6 ගුණයකින් වර්ධනය වී ඇත. ලංකාවේ වේගයෙන් වර්ධනයවන ජංගම දුරකථන පරිශීලක පදනම තුළ මෙරට තුළද ජංගම දුරකථන ආශ්‍රිත සයිබර් තර්ජනවල ආසන්න වැඩිවීමක් පෙන්නුම් කරයි.

“ජංගම දුරකථනවල අඩු ආරක්ෂණ පද්ධතියක් පැවතීම සහ නොදැනුවත්වම වයිරස් ඇප් ඩවුන්ලෝඩ් කිරීමට පරිශීලකයන් කටයුතු කිරීම නිසා ජංගම දුරකථන සයිබර් අපරාධකරුවන්ගේ පහසු ඉලක්කයක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම තරුණ සහ තාක්ෂණයට ලැදි පරපුර අතර ඩිජිටල් මුදල් පසුබ්මි සහ ජංගම දුරකථන බැංකුකරණය ජනප්‍රියවීමත් සමග මෙම තත්වය වැඩිවී තිබෙනවා″, යනුවෙන් Kaspersky සමාගමේ ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ ඒඩ්‍රියන් හියා ප්‍රකාශ කළේය. 

“බොහෝවිට පාර්සල් ඩිලිවරි සේවා, වංචාකාර ක්‍රිප්ටෝ පසුම්බි සහ ව්‍යාජ ඊ-වාණිජ්‍ය වෙබ් අඩවි ආදිය පරිශීලකයන්ට ඉදිරිපත් කරමින් මෙම සයිබර් අපරාධ ක්‍රියාත්මක වෙනවා. සැබෑ වෙබ් අඩවි හෝ ඇප් මෘදුකාංග ලෙස ඒවා පෙනීගියත් එමගින් පරිශීලකයාගේ රහස්‍ය දත්ත කොල්ලකෑම හෝ සැඟවුණු ඇප් දුරකථනයට ඇතුළු කිරීමට කටයුතු කරනවා. බොහෝ පරිශීලකයන් එවැනි ඇප් මෘදුකාංගවල මූලාශ්‍ර තහවුරු කිරීමට හෝ තමන්ගේ දුරකථන නිසි ලෙස යාවත්කාලීන කිරීමට කටයුතු නොකරන නිසා අවදානම තවත් වැඩිවෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් විස්තර කළේය.

Mamont මෘදුකාංගමය මේ අතුරින් ගෝලීය වශයෙන් වඩාත්ම ක්‍රියාකාරී තර්ජනවලින් එකක් ලෙස සැලකෙන අතර දේශීය සන්දර්භයට පහසුවෙන් අනුවර්තනය විය හැකි ශිල්පීය ක්‍රම එය සතුය. ලංකාවේ මූල්‍ය තාක්ෂණ අංශය වර්ධනය වන විට, සයිබර් ප්‍රහාරකයන්ට සංවේදී මූල්‍ය දත්ත ලබා ගැනීමට සහ සේවා කඩාකප්පල් කිරීමට ලැබෙන අවස්ථා ද වැඩි වේ.

Kaspersky දත්ත මගින්, ජනප්‍රිය උපයෝගිතා හෝ සන්නිවේදන මෙවලම් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින වයිරස් මෘදුකාංගවල භයානක වැඩිවීමක් පෙන්නුම් කරන අතර, එය පරිශීලක පෞද්ගලිකත්වය සහ මූල්‍ය ආරක්ෂාව අනතුරේ හෙළයි. “ලාංකික පාරිභෝගිකයන් සුපරීක්ෂාකාරී විය යුතුයි. ඒ ඒ ඇප් මෘදුකාංග ඒවායේ විධිමත් මූලාශ්‍ර හරහා පමණක් බාගත කිරීම, ඇප් මෘදුකාංගවල බලපත් පරීක්ෂා කිරීම සහ නිතිපතා මෘදුකාංග යාවත්කාලීන කිරීම ආදිය එහිදී ඉතාම වැදගත්. මූල්‍ය ආයතන සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන් ද සැක සහිත ක්‍රියාකාරකම් කල්තියා හඳුනාගෙන අවහිර කිරීමට සහයෝගයෙන් කටයුතු කළ යුතුයි”, ඒඩ්‍රියන් තවදුරටත් පැවසුවේය.