ගෝලීය ව්‍යාපාර, වෘත්තීය හා ඩිජිටල් විශිෂ්ටත්වය ඇගැයෙන Global Laurel Excellence Awards 2026ට අයැදුම් පත් කැඳවයි


ව්‍යාපාර, වෘත්තීය සහ ඩිජිටල් ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ නායකත්වය ඇගැයීමේ අරමුණෙන් සංවිධානය කරන Global Laurel Excellence Awards  2026 සම්මාන උළෙල සඳහා අයැදුම් කිරීම් විවෘත කර තිබේ. Global Synergy Tech  ආයතනය සංවිධානය කරන මෙම සම්මාන උළෙල 2026 ජූලි 24 මීගමුව Avenra Gardens හෝටලයේදී පැවැත්වේ. 
ව්‍යවසායකයන්, සමාගම් නායකයන්, වෘත්තීයවේදීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ ඩිජිටල් නිර්මාණකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වීමට නියමිත අතර ඔවුන්ගේ සුවිශේෂ ජයග්‍රහණ සහ දායකත්ව ඇගැයීම මෙහි ප්‍රධාන අරමුණ වේ. මෙවර සම්මාන උළෙලට Outstanding Entrepreneurs, Individual Professionals, Corporate Entities  යන ප්‍රධාන කාණ්ඩ තුන යටතේ අයැදුම් පත් භාර ගන්නා අතර තම ක්ෂේත්‍රවල කැපී පෙනෙන දක්ෂතා, නව්‍ය අදහස් සහ සාර්ථකත්ව පෙන්වා ඇති පුද්ගලයන් සහ ආයතන ඇගැයීමට ලක් කෙරේ.
සම්මානලාභීන්ට සහ සහභාගිවන්නන්ට ව්‍යාපාර හා වෘත්තීය ප්‍රතිරූප ඉහළ නංවා ගැනීමට, කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් ලැබීමට සහ නව ව්‍යාපාර සබඳතා ගොඩ නගා ගැනීමට අවස්ථාව හිමි වේ. ඒ හරහා ඔවුන්ගේ සාර්ථකත්ව පුළුල් ප්‍රේක්ෂක පිරිසක් අතර ප්‍රචාරය කිරීම මෙම වේදිකාවේ අරමුණකි. ඩිජිටල් මාධ්‍යවල වර්ධනය වන බලපෑම සැලකිල්ලට ගනිමින් මෙවර සම්මාන උළෙලට Most Popular YouTube Couple, Most Popular TikTok Icon  සහ Most Popular Facebook Page  යන සමාජ මාධ්‍ය විශේෂ සම්මාන කාණ්ඩ හඳුන්වා දී ඇත. එමගින් අන්තර්ජාලය ඔස්සේ ජනතාව සමඟ සාර්ථක සම්බන්ධතා ගොඩ නඟා ගෙන ඇති නිර්මාණකරුවන් ඇගැයීමට ලක් කෙරේ. මෙම සම්මාන උළෙලේ සන්නාම තානාපතිනිය ලෙස ප්‍රකට රංගන ශිල්පිනියක, නර්තන ශිල්පිනියක සහ නර්තන අධ්‍යක්ෂිකාවක වන රුක්ෂානා දිසානායක මහත්මිය පත් කර ඇත.