|
![]() |
අංජුල මහික වීරරත්න
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුවක් සහ නවෝත්පාදන උළෙල වන “Disrupt Asia 2025හි ප්‍රධාන සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ඊයේ (18) පැවැත්විණි.
රටවල් 20ක ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් එක්ව සිටින Disrupt Asia 2025 පෙරේදා (17) දින ආරම්භ වූ අතර 20 වැනිදා දක්වා පැවැත්වේ.
ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින්, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන කේන්ද්‍රස්ථානය ලෙස ස්ථානගත කිරීම මෙහි අරමුණ වේ. නව ව්‍යවසාය සහ නවෝත්පාදන දිරි ගැන්වීම මගින් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මෙමගින් මනා පිටුබලයක් හිමිවෙතැයි අපේක්ෂා කෙරේ.
ඊයේ පැවති ප්‍රධාන සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා නව ව්‍යවසායක ප්‍රදර්ශනය නැරඹීමටද එක් විය.
මෙහිදී අදහස් දැක් වූ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සඳහන් කළේ, රටේ සංවර්ධන මෙවලමක් ලෙස නවෝත්පාදනය යොදා ගැනීම රජයේ අරමුණ බවයි.
“Disrupt Asia 2025” මෙරට තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට, ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමට මනා පිටුබලයක් වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම වැඩසටහන මගින් මෙරට දක්ෂ ව්‍යවසායකයන් සහ ගෝලීය වෙළෙඳපොළ අවස්ථා අතර පාලමක් නිර්මාණය කරමින්, දකුණු ආසියාවේ නවෝත්පාදන සඳහා දොරටුවක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාන ගත කෙරෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙහි ප්‍රධාන දේශනය පැවැත් වූ ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයේ අරමුණු සහ ඉදිරි වසර හතර තුළ ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකය සාක්ෂාත් කර ගැනීම සඳහා වන සැලසුම් පිළිබඳව පැහැදිලි කළේය. ඩිජිටල් අපනයන තුන් ගුණයකින් වැඩි කිරීම, ඩිජිටල් කුසලතා සංචිතය දෙගුණ කිරීම සහ ගෝලීය ඩිජිටල් මිනුම්වල ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන ඒම ආදී ඉලක්ක ඔහු මෙහිදී ගෙනහැර දැක්වීය.