- වර්තමාන ධාරිතාව වසරකට බහාලුම් මිලියන 8.5ක්
- 2024 දී වාර්තාගත ලෙස බහාලුම් මිලියන 7.7 ක හැසිරවීමක්
- නැගෙනහිර සහ බටහිර පර්යන්ත ඉදිකිරීමෙන් පසු ධාරිතාව මිලියන 14.9ක් වේවිලු
- තවත් බහාලුම් මිලියන 3.5ක ධාරිතාවක් සහිත බටහිර පර්යන්තය 2 ඉදිකිරීමට 2027 දී ආයෝජකයන්ට අවස්ථාව දීමට යයි
- අවශ්‍යතාව අනුව 2030 දී පර්යන්ත තුනක් සහිත “කොළඹ උතුරු වරායේ ඉදිකිරීම්“ සිදු කිරිමටත් සැලසුම්
- වසර 2040 වන විට කොළඹ වරායේ සමස්ත බහාලුම් ධාරිතාව මිලියන 35ක් දක්වා ඉහළට
- වරාය පුළුල් කරන්නේ රටේ අවශ්‍යතාවට නොව කලාපීය ඉල්ලුමට සරිලන ලෙසයි
භානුක අමරසිංහ
![]() |
වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා |
කොළඹ වරායේ පිහිටි නැගෙනහිර සහ බටහිර බහාලුම් පර්යන්ත දෙකෙහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන්වීමත් සමගින්ම කොළඹ වරාය හරහා වසරකට හැසිරවිය හැකි බහාලුම් ධාරිතාව මිලියන 14.9ක් බවට පත්වනු ඇතැයි වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙය දැනට කොළඹ වරායේ බහාලුම් ධාරිතාව වන බහාලුම් මිලියන 8.5ට සාපේක්ෂව සියයට 75ක වැඩිවීමක් බවත් ඒ මහතා සඳහන් කරයි.
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මගින් සංවිධානය කරන මෙරට සමුද්‍රීය සහ අක්වෙරළ අපනයන කර්මාන්තය ඉලක්ක කරගත් Voyage Sri Lanka 2025 සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කපිතාන් නිර්මාල් සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
“අද වෙන කොට වරාය අධිකාරිය කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් ධාරිතාව ඉහළ දැමීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. අද වන විට එහි ධාරිතාව වසරකට අඩි 20 ප්‍රමාණයේ බහාලුම් ඒකක (TEU) මිලියන 8.5ක්. පසුගිය වසරේදී අපි බහාලුම් මිලියන 7.7 ක් හැසිරවුවා. එය එතෙක් මෙතෙක් සිදු කළ ඉහළම බහාලුම් හැසිරවීමයි.’’
මේ අතර මෙම වසරේදී කොළඹ වරාය වෙත අලුතින් එක් වූ නැගෙනහිර පර්යන්තයේ කොටස සහ බටහිර පර්යන්තයේ කොටසත් සමගින් එම මෙහෙයුම් ධාරිතාව බහාලුම් මිලියන 8.5ක් දක්වා ඉහළ නගිනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
“එය කොළඹ වරායට වගේම ලංකාවටත් අලුත් වාර්තාගත අවස්ථාවක් වේවි.’’
දැනට ක්‍රියාත්මක මෙම නැගෙනහිර සහ බටහිර පර්යන්තවල ඉදිකිරීම් කටයුතු 2026 වසරේදී අවසන් වනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.
“2026 වසර අවසන් වනවිට අපගේ මේ බහාලුම් හැසිරවීමේ ධාරිතාව වසරකට මිලියන 14.9ක් මට්ටමට පත්වේවි. එය දැනට පවතින ධාරිතාව මෙන් සියයට 75ක වර්ධනයක්.’’ ඒ මහතා සඳහන් කළේය.
මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තය 2 සඳහාද මේ වනවිට ඉංජිනේරුමය අධ්‍යයන සිදු කරමින් පවතින බවද කපිතාන් නිර්මාල් පවසා සිටියේය. එයද තවත් මීටර් 1300ත් 1400ත් අතර දිගකින් යුත් පර්යන්තයක් වනු ඇති බවත්, එය ඉදිකිරීම වෙනුවෙන් වන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් (PPP) සඳහා වන ආයෝජකයන් වෙත විවෘත කිරීම 2027 දී සිදු කරන බවත් සඳහන් කළේය.
“මේ පර්යන්තය ඉදිකිරීමත් සමගින්ම තවත් බහාලුම් මිලියන 3.5ක් හැසිරවීමේ හැකියාව ලැබේවි.’’
“ඒ වගේම අපි දැනටමත් අපි කොළඹ උතුරු වරායේ ඉදිකිරීම් සඳහා වන අධ්‍යයනද සිදු කරමින් සිටිනවා.
මෙය 2030 වසරෙන් පසුව සිදු කරන ව්‍යාපෘතියක්. එම අවස්ථාවේදී මතුවන ධාරිතා ඉල්ලුමත් සමගින්ම එය ක්‍රියාත්මක වේවි. එම වරාය තුළ අමතර පර්යන්ත තුනක් එක් කිරීම සැලසුමයි. මෙම පර්යන්තවල මෙහෙයුම් 2040 පමණ වන විට ආරම්භ කරන්න හැකිවේවි.’’ කපිතාන් නිර්මාල් පවසා සිටියේය.
ඒ අනුව මෙම පර්යන්ත සියල්ලමත් සමගින් කොළඹ වරාය සතු බහාලුම් හැසිරවීමේ ධාරිතාව වසරකට බහාලුම් මිලියන 35ක් දක්වා ඉහළ යනු ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.
“මේ විදියට කොළඹ වරායේ බහාලුම් ධාරිතාව ඉහළ නංවන්නේ මෙරට ආනයන. අපනයන අවශ්‍යතාවට පමණක් නොවෙයි. එය එතරම් වේගයෙන් වර්ධනය වෙන්නේ නෑ. එහෙත් කලාපීය වශයෙන් පවතින ඉල්ලුමේ ඉහළ යාමක් අපි බලාපොරොත්තු වෙනවා. එහිදී කොළඹ වරාය පිහිටා ඇති ස්ථානයේ ඇති වාසිය අපි යොදා ගන්නවා.’’
මේ අතර වරායේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා මේ වනවිට ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් සිටින බවත් කපිතාන් නිර්මාල් වැඩිදුරටත් සඳහන් කළේය.