කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ආයෝජන උපදේශකවරයකුගේ වැදගත්කම පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සකස්කළ ලිපියකි මේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ මේ වසරේ මේ දක්වා සියයට 21.5ක් ඉහළ ගොස් ඇති අතර, ජූලි 24 වන බ්‍රහස්පතින්දා වන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 19,379ක් වෙමින් ඉතිහාසයේ වාර්තා කළ ඉහළම අගය වාර්තා කර ඇත. පසුගිය වසරේ කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළයාම සියයට 49ක් ලෙස වාර්තා විය.
කොටස් වෙළෙඳපොළ මෙසේ ඉහළ නගින විට නවක ආයෝජකයන් කොටස් වෙළෙඳපොළට සම්බන්ධවීම බොහෝ විට සිදු වේ. පොලී අනුපාත යම්කිසි පහළ මට්ටමකට පැමිණ ඇති විට කොටස් වෙළෙඳපොළ 2024 වසරේදී සියයට 49 ක ප්‍රතිලාභයක් හා 2025 වසරේදී මේ වන විට සියයට 21.5 ක ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන විට බොහෝ විට ආයෝජකයන් ඉතුරුම්වලට නොගොස් කොටස් වෙළෙඳපොළ ආයෝජනයට පෙළඹේ.
කොටස් වෙළෙඳපොළට සම්බන්ධ වන ඔබ අනිවාර්යයෙන්ම එයට සම්බන්ධ විය යුත්තේ කොටස් තැරැව්කාර ආයතනයක් හරහාය. වර්තමානය වන විට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින් බලපත්‍ර ලබා ගත් තැරැව්කාර ආයතන 28ක් ක්‍රියාත්මක වේ. කොටස් වෙළෙඳපොළට සම්බන්ධ වන පුද්ගලයන් මුලින්ම කළ යුත්තේ කොටස් තැරැව්කාර ආයතනයක් තෝරාගෙන ඔවුන් හරහා CDS ගිණුමක් (මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ගිණුමක්) විවෘත කිරීමයි. සරලව පැවසුවහොත් එය බැංකු ගිණුමක් විවෘත කිරීමකට සමානය. බැංකු ගිණුමකදී ඔබේ ගිණුමට බැර වන්නේ මුදල් වන අතර CDS ගිණුමකදී ඔබේ ගිණුමෙහි පවතින්නේ කොටස්ය.
මෙසේ CDS ගිණුමක් විවෘත කිරීමට ආයෝජකයකු මුලින්ම කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගත යුතුය. කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගැනීමේදී ආයෝජකයකු කල්පනා කාරී විය යුතු වන අතර, හොඳම කොටස් තැරැව්කාර ආයතනය තෝරා ගන්නවා වෙනුවට තමන්ට වඩාත් ගැළපෙන කොටස් තැරැව්කාර ආයතනය තෝරා ගැනීම ඉතා වැදගත්ය. සමහර කොටස් තැරැව්කාර ආයතන කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කිරීමේදී විදේශීය ආයෝජකයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන අතර තවත් කොටස් තැරැව්කාර ආයතන ශ්‍රී ලංකාව පුරා ශාඛා ජාලා පවත්වාගෙන යාම මගින් දේශීය ආයෝජකයන් සඳහා තම සේවා ලබාදීමට ප්‍රමුඛත්වය ලබා දේ. දේශීය ආයෝජකයන් සිදු කළ යුතු වන්නේ දේශීය ආයෝජකයාට ප්‍රමුඛත්වය ලබා දෙන කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගැනීමට උත්සාහ කිරීමයි. එහෙත් මින් විදේශීය ආයෝජකයන්ට ප්‍රමුඛත්වය ලබා දෙන කොටස් තාරැව්කාර ආයතනයක් වෙත යා යුතු නොවන බව අදහස් නොවේ. එය ආයෝජකයා ගත යුතු තීරණයකි.
කොටස් තැරැව්කාර ආයතනයකින් CDS ගිණුමක් විවෘත කිරීමට පහසුම ක්‍රමය වන්නේ කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මගින් හඳුන්වාදී ඇති CSE මොබයිල් ඇප් එක (CSE Mobile App) බාගත කර ගෙන ඒ ඇප් එක හරහා කොටස් තැරැව්කාර ආයතනයක් තෝරාගෙන ඔවුන් හා සම්බන්ධවීමයි. එය ඉතා පහසු කර්තව්‍යයක් වන අතර ඉතා සුළු කාලයකදී එය කළ හැකිය. එසේත් නැත්නම් ආයෝජකයන් කොටස් තැරැව්කාර ආයතනයක් වෙත සෘජුවම ගොස් CDS ගිණුමක් විවෘත කළ හැකිය. මෙසේ කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගැනීමේදී සොයා බැලිය යුතු වැදගත් කාර්යයක් වන්නේ එම කොටස් තැරැව්කාර ආයතනය සතුව සමීක්ෂණ අංශයක් තිබෙනවාද යන්න සොයා බැලීමයි. නිසි සමීක්ෂණ සිදු නොකර කිසියම් කොටස් තැරැව්කාර ආයතනයකට ඔබ හට මිලදී ගත යුත්තේ කුමන කොටස්ද, විකිණිය යුත්තේ කුමන කොටස්ද යන්න රෙකමදාරු කිරීම අපහසුය. එබැවින් ඔබ තෝරා ගන්නා කොටස් තැරැව්කාර ආයතනය සතුව සමීක්ෂණ අංශයක් පවතින්නේ දැයි ඔබ සොයා බැලිය යුතුය.
කොටස් තැරැව්කාර ආයතනයක් තෝරාගෙන ඒ හරහා CDS ගිණුමක් විවෘත කළ පසු ඔබට කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු කළ හැක. මෙම ගිණුම විවෘත කිරීමට කිසිම මුදලක් අය නොකෙරේ. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ලක්ෂ 8කට අධික CDS ගිණුම් සංඛ්‍යාවක් විවෘතව පවතී. මෙසේ කොටස් තැරැව්කාර ආයතනයක් තෝරාගෙන CDS ගිණුමක් විවෘත කළ පසු එම කොටස් තැරැව්කාර ආයතනය විසින් ඔබ හට සේවය සැලසීම සඳහා ආයෝජන උපදේශකවරයකු ලබා දෙයි. ආයෝජන උපදේශක යනු ඔබට කොටස් ගනුදෙනු සිදු කිරීමට උපකාරී වන තැනැත්තාය. ඔහු, ඔබ විසින් කුමන කොටස් මිලදි ගත යුතුද, කුමන කොටස් විකිණිය යුතුද, කුමන කොටස් ළඟ තබා ගත යුතුද යන්න පිළිබඳව උපදෙස් ලබා දෙනු ලබයි. වෙනත් විදිහකට පැවසුවහොත් කොටස් වෙළෙඳපොළට නවක ඔබට ගුරුවරයා වනු ලබන්නේ ඔබගේ ආයෝජන උපදේශකවරයාය. ඔහු ඔබට කොටස් මිලදී ගැනීමට හෝ විකිණීමට රෙකමදාරු කරනු ලබන්නේ අප කලින් සඳහන් කළ ආකාරයටම එම කොටස් තැරැව්කාර ආයතනය සිදු කරනු ලබන සමීක්ෂණ මත පිහිටාය.
මෙසේ ඔබට ලබා දුන් ආයෝජන උපදේශකවරයා සහතික ලත් ආයෝජන උපදේශකවරයකුද යන්න පිළිබඳව ඔබ සොයා බැලිය යුතුය. කොටස් තැරැව්කාර ආයතනවල සිටින සියලුම පුද්ගලයන්ට ඔබට ආයෝජන උපදෙස් ලබා දිය නොහැකි අතර, ඔවුන් ඒ සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබාගත යුතුය. මෙම බලපත්‍රය ලබා ගැනීමට නම් කොටස් තැරැව්කාර ආයතනයකට සම්බන්ධ පුද්ගලයකු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින් පවත්වන ලබන ප්‍රාග්ධන වෙළෙඳපොළ සහතික පත්‍ර පාඨමාලාව සමත් වී තිබිය යුතුය. එමෙන්ම කොටස් තැරැව්කාර ආයතනයක පුහුණු වන්නකු ලෙස වසරක් සේවය කර තිබිය යුතුය.
මෙම ආයෝජන උපදේශකවරයකුගේ ප්‍රධාන කාර්යය වන්නේ ඔබට උපදෙස් ලබා දී ඔබගේ ගනුදෙනු ක්‍රියාත්මක කිරීමයි. එහිදී බොහෝ නවක ආයෝජකයන් මෙම ආයෝජන උපදේශකවරයා ලබාදෙන තොරතුරු මතම පිහිටා ආයෝජනය කරයි. තවත් සමහරු තම දැනුමත් උපයෝගි කරගෙන ලියාපදිංචි ආයෝජන උපදේශකවරයා ලබාදෙන උපදෙස්ද ලබාගෙන කිසියම් ආකාරයක ආයෝජන තීරණ ගනු ලබයි. ආයෝජකයකුට හොඳම දේ වන්නේ අප දෙවැනිව සඳහන් කළ තමන් විසින් අධ්‍යයනයක් කර ලියාපදිංචි ආයෝජන උපදේශකවරයාගේ උපදෙස් ලබාගෙන කොටස් වෙළෙඳපොළහි ආයෝජනය කිරීමයි.
ආයෝජන උපදේශකවරයකු ඔබට රෙකමදාරු ලබා දෙන්නේ ඔහුගේ දැනුම මතය. සමහර අවස්ථාවල මෙම රෙකමදාරු සියයට 100ක් නිවැරදි නොවිය හැක. මක් නිසාද යත්, කිසිවකුටත් කොටස් වෙළෙඳපොළ සියයට 100ක් නිවැරදිව පුරෝකථනය කළ නොහැකි බැවිනි. ඔබ ඒ පිළිබඳව නිරන්තරයෙන් සිහියේ තබාගත යුතුය.
කොවිඩ් වසංගතයෙන් පසුව කොටස් වෙළෙඳපොළ මෙන්ම ආයෝජකයන් ගනුදෙනු කරන ආකාරයද සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක්විය. වර්තමානය වන විට කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් සියයට 75ක පමණ ප්‍රමාණයකට දායක වන්නේ ආයෝජකයන් අන්තර්ජාලය හරහා සිදු කරන ගනුදෙනුය. එනම් ආයෝජකයන් විසින් කොටස් තැරැව්කාර ආයතනය විසින් තමන් වෙත ලබා දි ඇති අන්තර්ජාල පහසුකම් හරහා සෘජුවම ගනුදෙනු සිදු කිරීමයි. එවිට තමන්ගේ ගනුදෙනු සෘජුවම ක්‍රියාත්මක කරනු ලබන්නේ එම ආයෝජකයන්ය. සමහර ආයෝජකයන් තම ලියාපදිංචි ආයෝජන උපදේශකවරයා සමග සාකච්ඡා කර ගනුදෙනු සිදු කරන අතර, තවත් සමහර ආයෝජකයන් එසේ සිදු නොකර සෘජුවම ගනුදෙනු කරනු ලබයි. ඔබ නවක ආයෝජකයෙක් නම් එමෙන්ම අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට එම පහසුකම් ලබාගෙන ඇත්නම් ඔබට යෝග්‍යම දේ වන්නේ තම ආයෝජන උපදේශකවරයා සමග සාකච්ඡා කර ගනුදෙනු සිදුකිරීමයි. තමන් තනි තිරණයක් ගන්නවා වෙනුවට ඒ පිළිබඳව දැනුම ඇති තවත් පුද්ගලයකු සමඟ සාකච්ඡා කර ගනුදෙනු කිරීම ඔබට වඩාත් යෝග්‍ය වනු ඇත.
කොටස් වෙළෙඳපොළ තුළ වසර කිහිපයක් ගනුදෙනු සිදුකරන තවත් සමහර ආයෝජකයෝ ලියාපදිංචි ආයෝජන උපදේශකවරයාගේ උපදෙස්වලින් තොරව තමන්ම ගනුදෙනු කරති. එය කොතරම් යෝග්‍ය දැයි තීරණය කිරීම ඔවුන් සතුය. කොටස් වෙළෙඳපොළෙහි වසර කිහිපයක් ගනුදෙනු කිරීමෙන් සමහර ආයෝජකයන් සිතන්නේ ආයෝජන උපදේශකවරුන්ට වඩා තමන්ට ඒ පිළිබඳව දැනුමක් ඇති බවය. එම නිසා තමන්ම ආයෝජන තීරණ ගැනීම හොඳ බව ඔවුහු සිතති. තවත් සමහරුන් ආයෝජන උපදෙස් එතරම් විශ්වාස නොකරන අතර එම නිසා ඔවුහු තම ආයෝජන තීරණ සෘජුවම ගනිති. එමෙන්ම මේ වන විට සමාජ මාධ්‍ය හරහාද විශාල ලෙස තොරතුරු ලබා දෙන්නන් බිහිවි ඇති අතර, සමහරුන් ඒ තොරතුරු මත පදනම්ව ආයෝජන තීරණ ගනු ලබයි.
කිසිම පුද්ගලයකුට තමන් ලියාපදිංචි ආයෝජන උපදේශකවරයකු නොවේ නම් සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යයක් හරහා ආයෝජන උපදෙස් ලබා දිය නොහැක. ඒ පිළිබඳව එසේ සිදු කරන්නන් පිළිබඳවද ආයෝජකයන් දැන සිටිය යුතුය.
කලින් සඳහන් කළ ආකාරයට තමන් ආයෝජන උපදේශකවරයාට වඩා දන්නවා යැයි සිතන ආයෝජකයන් බොහෝ විට අමතක කරන කරුණක් වන්නේ ලියාපදංචි ආයෝජන උපදේශකවරුන් යනු වෘත්තීයමය පිරිසක් බවයි. ඔවුන් තම කොටස් තැරැව්කාර ආයතනය මෙන්ම ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නියාමනයටද ලක් වේ. කිසියම් වැරැද්දක් සිදුවුවහොත් කොටස් තැරැව්කාර ආයතනය මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට ඔවුන් හට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව ඇත. එවැනි විනය ක්‍රියාමාර්ග ගන්නා ලද අවස්ථාවලට උදාහරණ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි සඳහන් වේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ දැනට ලියාපදිංචි වී ඇති සහතිකලත් ආයෝජන උපදේශකයන්ගේ ලයිස්තුවක් සහ ඔවුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ විස්තර ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙහි පළකර ඇත. ඕනෑම ක්ෂේත්‍රයක සියයට 100ක පරිපූර්ණ පුද්ගලයන් සොයා ගැනීම අපහසුය. කොටස් තැරැව්කාර ආයතන අතරද මෙසේ පරිපූර්ණ නොවන ආයෝජන උපදේශකවරුන් සිටිය හැකි අතර එය ඉතා අතලොස්සකි. බහුතරයක් ආයෝජන උපදේශකවරුන් තම වෘත්තීය ආචාරධර්ම අනුව කටයුතු කරනු ලබයි. සුළු පිරිසක් විසින් එම ආචාරධර්ම කඩකළ පමණින් සහතික ලත් ආයෝජන උපදේශකවරුන් ලබාදෙන සේවා කිසිවිටෙකත් අවතක්සේරුවට ලක් නොකළ යුතුය. ඔවුන් ආයෝජකයන්ට මග පෙන්වන්නන්ය. එමෙන්ම තම ආයෝජකයන්ගේ ධනය වර්ධනය කිරීමට උර දෙන්නන්ය. එබැවින් ආයෝජන උපදේශකවරයකු ලබාදෙන සේවාව කිසිවිටෙකත් අවතක්සේරු කළ නොහැකිය.