කොටස් වෙළෙඳපොළ හැසිරීම ගැන තියුණු අවධානයක


ආයෝජන අංශ කොටස් වෙළෙඳාම ගැන තුලනාත්මක අවධානයක පසුවන බව නිරීක්ෂණය කළ හැකිය. අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ උච්ඡාවචන සහිතව හැසිරෙනු ඇති බවක් අපේක්ෂා කළ හැකි අතර උපායශීලී මිල දී ගැනීම් නිර්දේශ කළ හැකිවේ. පසුගිය දින ගණනාව තුළ පත්ව ඇති ප්‍රගතිය සලකා බලන පසු ඕනෑම අවස්ථාවක ලාබ සඳහා විකිණීමේ ප්‍රවණතාවක් මතුවීමට ඉඩ තිබේ. විකිණීම සඳහා අධික තෙරපුමක් ඇතිවන අවස්ථාවක දර්ශක පසුබෑමක සුළු ආයෝජන අංශ කලබල කරන තත්වයක් බව නිරීක්ෂණය වේ.

ඊයේ (07) දිනයේ ගනුදෙනුවල දී පවා මිල දී ගැනීමේ උනන්දුව ඉහළ ප්‍රතිශතයක පැවැති අතර එය සියයට හැත්තෑ දෙක ඉක්මවන අවස්ථාවක් දක්වා වර්ධනය වී තිබුණි. පසුව එය සියයට 67.52 ක මිල දී ගැනීමේ අගයකට පැමිණ ස්ථාවර විය. මධ්‍යහ්නයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,255 ඉහළ ගිය නමුත් පසුව පසුබැසීම විශේෂ තත්වයකි. ඉසුරුමත් සමාගම්වලට තිබුණ ඉල්ලුම අඩුවීමක් ද දැකගත හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස හුවමාරු වූ කොටස් ප්‍රමාණය පහත වැටිණ.

ගනුදෙනු අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,163.23 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 68.34 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,181.92 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 5.59 ක පහළ යාමක් සේවාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 7.95 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 45,552 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 247.0 ක් විය. සමාගම් 123 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 133 කි. 

උපයෝගීතා, සිල්ලර වෙළෙඳාම, ආහාර පාන, බැංකු සහ රක්ෂණ, යන උප අංශවල කොටස් වර්ධනයකය. විදුලිය සංදේශ සේවා, පාරිභෝගික සේවා, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන සහ ප්‍රාග්ධන භාණ්ඩ ප්‍රධාන කොටගත් අනෙක් සියලුම ක්ෂේත්‍රවලට උනන්දුව පහල ගියේය. කාර්ගිල්ස් සිලෝන් රුපියල් මිලියන 420 ක්, කාර්ගිල්ස් බැංකුව රුපියල් මිලියන 333 ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 291 ක්, සම්පත් බැංකුව රුපියල් මිලියන 217 ක්, ජෝන් කීල්ස් මිලියන 207 ක් සහ හේකාබ් රුපියල් මිලියන 181 ක් වශයෙන් වැඩිම ගනුදෙනුවාර ගණනක ක්‍රියාකාරීත්වයක් දැක්විය.
නිරීක්ෂක