කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් EPF ලැබූ ලාබය රු.බි. 59.8ක්


පසුගිය වසර අවසන් වන විට සමස්ත ආයෝජනයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 148.2ක්
ලැයිස්තුගත සමාගම්වල කොටස් මිලදී ගැනීමට වියදම් කළ මුදල රුපියල් බිලියන 88.3ක්
වැඩිම කොටස් ප්‍රමාණය මිලදී ගෙන ඇත්තේ ඩයලොග් ආසිආටා සමාගමේ
හිමි කරගත් ඉහළම ලාබය වන රුපියල් බිලියන 8.8 හිමිව ඇත්තේ LOLC ආයෝජනයෙන්
සම්පත්, LOLC සහ කොමර්ෂල් බැංකුවල ආයෝජනයෙන් රු.බි. 7ක, 6.9ක සහ 6.1ක ලාබ ලබලා 


භානුක අමරසිංහ


සේවක අර්ථසාධක අරමුදල හෙවත් EPF මගින් පසුගිය වසර අවසන් වනවිට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් 65ක  කර ඇති සමස්ත ආයෝජනයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 148.2ක් (148,249,576,000ක්) වන බව එම අරමුදල 2024.12.31 සඳහා නිකුත් කළ අලු‍ත්ම වාර්තාවේ සඳහන්ව තිබේ.
එම වාර්තාවට අනුව සේවක අර්ථසාධක අරමුදල මෙම සමාගම් 65 හි කොටස් මිලදී ගෙන ඇත්තේ රුපියල් බිලියන 88.3ක (88,374,363,000ක) මුදලකටය. ඒ අනුව 2024 වසර අවසන් වන විට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්වල ආයෝජනයෙන් එම අරමුදල හිමිකරගෙන ඇති ලාබය රුපියල් බිලියන 59.8ක් ලෙස සටහන්ව තිබේ.
2024 වසරේ සැප්තැම්බර් 30 වැනිදා වනවිට එම අරමුදල කොටස් වෙළෙඳපොළේ සමාගම් 66 ක් තුළ කර තිබූ ආයෝජනයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 109.6ක් (109,694,218,000ක්) ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මාස තුනක් තුළදී එම වටිනාකම රුපියල් බිලියන 39කින් ඉහළ නංවා ගැනීමට සේවක අර්ථසාධක අරමුදල සමත්ව තිබේ.
කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය වනවිට එම අරමුදල ආසිරි සර්ජිකල් හොස්පිටල්ස් පීඑල්සී සමාගමේ ආයෝජනයෙන් ඉවත්වීමත් සමගින්ම වසර අවසන් වන විට ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව මෙලෙස 65ක් දක්වා පහත වැටී තිබේ.
2024 දෙසැම්බර් 31 වැනිදා වනවිට සේවක අර්ථසාධක අරමුදල වැඩිම කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති සමාගම වන්නේ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමයි. එය කොටස් 237,424,082 කි. අඩුම මිලදී ගැනීම සියරා කේබල්ස් පීඑල්සී තුළ වන අතර එය කොටස් 8,852 කි.