කාගිල්ස් සමාගමෙන් ගොවි පවුල්වල සිසුන්ට සරුබිම ශිෂ්‍යත්ව


සඳලංකාව හේමලතා ඩී හේවගේ සහ මීරිගම පුෂ්ප කුමාර මල්ලවආරච්චි

ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශය වැඩි දියුණුකරමින් සිසුන්ගේ දැනුම ඉහළ නැංවීම සහ ඔවුන් ශ්‍රී ලංකාවේ අනාගත නායකයන් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින් කාගිල්ස් (සිලෝන්) පී එල් සී සමාගම ගොවි පවුල්වල සිසුන් සඳහා සරුබිම ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ උත්සවය වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරිඋල්ල නගර ශාලාවේදී පැවැතිණි.

මෙහිදී 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් හා අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සමත් සිසුන් වෙත ශිෂ්‍යත්ව හා වෘත්තීය පුහුණු හා විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ලබා දුන් අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 55 කට ආසන්න මුදලක් වැය කර ඇත.

කාගිල්ස් සමාගමට සම්බන්ධ ගොවි පවුල්වල දූ පුතුන් 124 දෙනකුට මෙම ශිෂ්‍යත්ව සහ පරිගණක පිරිනමනු ලැබීය.

2008 වසරේ ආරම්භ කරන ලද මෙම කාගීල්ස් සරුබිම වැඩසටහන සමාගමේ ආයතනික සමාජ වගකීම් කටයුතුවලට ප්‍රධාන අංගයක් ලෙස ක්‍රියාකරයි. මෙතුළින් ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය ගොවි ප්‍රජාවත් සමග සෘජුව කටයුතු කිරීම පිළිබඳව කාගීල්ස් දර්ශනය මනාව පිළිබිඹු කරන්නක් වන අතර ගොවීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගනිමින් ඔවුන්ගේ වෙහෙස මහන්සිය සහ දේශයේ සඳහා වන දායකත්වය අගය කිරීමේ අරමුණින් මෙය ස්ථාපිත කර ඇත.

මෙම අවස්ථාවට කාගිල්ස් සමාගමේ සමූහ කළමනාකරු (කෘෂි ව්‍යාපර අංශය) හරිදාස් ප්‍රනාන්දු, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (කලාප 01) වෛද්‍ය රුවනි විජේසිංහ, අධ්‍යක්ෂක නිරන්ත බණ්ඩාර බස්නායකයන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම් යූ බී දේවප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.