කාගිල්ස් බැංකුවෙන් නුවරඑළිය ගොවි ප්‍රජාව සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහනක්


 
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශාල කැපවීමක් සිදුකරන කාගිල්ස් බැංකුව සිය කෘෂි හා ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ගොවි ජනතාවගේ කෘෂි හා ආර්ථික මෙන්ම බැංකුකරණ කටයුතු පිළිබඳ දැනුම වර්ධනය අරමුණ කර ගනිමින් පැවැත්වූ කාගිල්ස් “ගොවි දිවියට සවියක්” පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩමුළුවක් නුවරඑළිය සම්පත් හෝටල් පරිශ්‍රයේ දී පසුගියදා සාර්ථකව පවත්වන ලදී.
 
නුවරඑළිය දිස්ත්‍රික්කය පාදක කරගනිමින් තෝරාගත් එළවළු ගොවීන් 35 දෙනකු සඳහා මූල්‍ය සාක්ෂරතාව, නූතන කෘෂි තාක්ෂණික දැනුම හා බදු වගකීම සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබාදුන් මෙම වැඩසටහනේ මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධ දේශනය සිදුකළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකරු ඩබ්ලිව්.එම්.ජේ.එම්. තිලකසිරි මහතා විසින් අදායම් වියදම් කළමනාකරණය, ඉතිරිකිරීමේ වැදගත්කම, ණය ඵලදායී ලෙස භාවිත කිරීම යන අංශ සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කළමනාකාරිනී යසස්නි අමරසේකර මහත්මිය ද සහභාගී වූවාය. 
 
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංගන චන්ද්‍රසිරි මහතා විසින් නව කෘෂි දැනුම, තිරසාර වගාව සඳහා පාංශු පෝෂක කළමනාකරණය, බීජ අර්තාපල් නිෂ්පාදන තාක්ෂණය, යහපත් කෘෂි පිළිවෙත් (GAP) තත්ව සහතිකය ලබාගැනීමේ ප්‍රතිලාභ සහ කෘෂි දෙපාර්තමේන්තුවෙන් ගොවීන්ට ලබාදෙන සේවා සම්බන්ධයෙන් හරවත් දේශනයක් සිදුකරන ලදී.