කල්පිටියේ ආර්ථිකය නංවන කයිට් සර්ෆින්


  • කයිට් සර්ෆින් ක්‍රීඩාව ජනප්‍රිය කරන්න කළපු මුහුදු මැදින් තලෙයිමන්නාරමට 
  • කල්පිටියට විදේශීය සංචාරකයන් එනවා කියන්නේ රටට ඩොලර් ගෙන ඒමක්
  • සර්ෆින් ක්‍රීඩාව කල්පිටියට හඳුන්වා දී ඇත්තේ විදේශිකයන් පිරිසක් 
  • කල්පිටිය ආනවාසල, කුඩාව, තිල්අඩිය කළපු තීර හා මුහුදු තීරවල සර්ෆින් පාසල් 30 කට වැඩි සංඛ්‍යාවක්

සටහන ඡායාරූප
ආණමඩුව - හිරාන් ප්‍රියංකර ජයසිංහ

කයිට් සර්ෆින් ක්‍රීඩාව (මුහුදු සරුංගල්) ජනප්‍රිය කිරීමේ අරමුණින් කල්පිටිය ආනවාසල තුඩුවේ සිට තලේමන්නාරම දක්වා සැතපුම් 200 කට ආසන්න දුරක් දෙස් විදෙස් කයිට් සර්ෆින් ක්‍රීඩකයන් පිරිසක් එක්වී කළපු හා මුහුදු මැදින් ප්‍රදර්ශනාත්මක කටයුත්තක නිරත වූහ.

මෙම අවස්ථාවට 19 දෙනකු එක්ව සිටි අතර ඒ සඳහා රුසියානු හා ජර්මනි සේම ඉතාලි යන රටවල පිරිස් සමග කල්පිටිය අර්ධද්වීපයේ තරුණයන් එක්ව තිබීම විශේෂිත විය.

කයිට් සර්ෆින් ක්‍රීඩාව වසර 15 කට පෙර කල්පිටියට පැමිණ ඇති අතර එහිදී විදේශිකයන් පිරිසක් එක්වී මෙම සර්ෆින් ක්‍රීඩාව කල්පිටියට හඳුන්වා දී තිබුණි.

මේ වන විට කල්පිටිය ආනවාසල, කුඩාව, තිල්අඩිය කළපු තීර හා මුහුදු තීරවල සර්ෆින් පාසල් 30 කට වැඩි සංඛ්‍යාවක් ඇති අතර එම පාසල් වෙත මෙම සර්ෆින් ක්‍රීඩාවට ඇලුම් කරනු ලබන දේශීය හා විදේශීය ක්‍රීඩකයෝ පැමිණෙති.

මේ වන විට කල්පිටියේ කයිට් සර්ෆින් ක්‍රීඩාව සඳහා ලෝකයේ විවිධ රටවල්වලින් පැමිණෙන අතර ඒ සඳහා ජර්මනිය, රුසියාව, ඉන්දියාව, ප්‍රංශය, නෙදර්ලන්තය, ඉතාලි, කටාර්, ඩුබායි, ස්විඩන්, නොර්වේ, ඕස්ට්‍රේලියාව යන රටවලින් හා තවත් රටවල් රැසකින් මෙලෙස පැමිණීම සිදුවෙයි.

කෙසේ වෙතත් තවදුරටත් මෙම ජල ක්‍රීඩාවට දේශීය හා විදේශීය ආකර්ෂණය ලබාගැනීමේ අරමුණින් මෙලෙස කිලෝමීටර් 200 ක දුරක ප්‍රදර්ශනාත්මක ලෙස ගමන් කිරීම ආරම්භ කර තිබුණි.

මෙම ප්‍රදර්ශනාත්මක සර්ෆින් ක්‍රීඩාව සංවිධානය කර තිබූ සාරා ජෝහානා බර්ග් මහත්මිය මෙලෙස පැවසුවාය.

“අපි මේ ආකාරයට සර්ෆින් ක්‍රීඩාවේ නිරතවෙමින් කිලෝමීටර් 200 කට ආසන්න දුරක් යාමට සූදානම් වන්නේ නැවත නැවතත් ඒ සඳහා ඇලු‍ම් කරනු ලබන පිරිස් ආකර්ෂණය කර ගනිමින් ඔවුන් මේ ක්‍රීඩාව කිරීම සඳහා කල්පිටියට රැගෙන ඒමටයි.

ඒ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න අපි ලොකු උත්සාහයක නිරත වෙනවා. ඇත්තටම මෙම ජල ක්‍රීඩාව හරිම විනෝදජනකයි.

එය අපූරුතම ජල ක්‍රීඩාවක්. නරඹන්නකුට නෙත් ඇදගන්නා අපූරුතම ක්‍රීඩාවක්. මොකද අහස දෙස බලමින් මේ ක්‍රීඩාව අගය කරන්න පුළුවන්. ඒ තරම් අපූරුයි.

හැබැයි කියන්නම ඕන නිවැරදි ලෙස පුහුණුවීමෙන් පසු තමයි එය කළ යුත්තේ.” 

කල්පිටියේ ප්‍රධානතම කයිට් සර්ෆින් ක්‍රීඩාවේ පුහුණුකරුවෙක් වන ඩබ්ලිව්. සුසන්ත ප්‍රනාන්දු මහතා මෙලෙස පැවසීය.

“සුළඟ තමයි අපේ කයිට් සර්ෆින් ක්‍රීඩාවේ ප්‍රධාන දේ. මේ වෙද්දි කල්පිටිය වර්ණවත් කරන හා සංචාරකයන් ආකර්ෂණය දිනාගත් අපූර්වතම ක්‍රීඩාවක් වෙලා.

ඇත්තටම මේ නිසා තවදුරටත් මෙය ප්‍රචලිත කරන්න තමයි මේ කිලෝමීටර් 200 ක දුරක් අපි සර්ෆින් ක්‍රීඩාවේ නිතර වෙන්නේ.

මෙය සුවිශේෂ අවස්ථාවක්. මොකද මේ තරම් දුරක් අපි කිසිම කෙනකු සර්ෆින් ක්‍රීඩාවේ නිරත වී නැහැ.

ඇත්තටම ඒ නිසා ඒ අභියෝගයට අපි මුහුණ දෙන්න සූදානම් වෙමින් තමයි මෙය කළේ.” 

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.එස්.එම්. රිකාස් මහතා මෙසේ පැවසීය.

“කල්පිටියට විදේශීය සංචාරකයන් එනවා කියන්නේ රටට ඩොලර් ගෙන ඒම. ඒ සඳහා ප්‍රාදේශීය සභාවක් ලෙස අපි කිසිදු වරප්‍රසාදයක් නොගෙන කොන්දෙසි විරහිතව පරිසරය ආරක්ෂා කරමින් උදව් කරන්න සූදානම්.

ඇත්තටම අපි ඒ සඳහා කළ යුතු සෑම දෙයක්ම කරන්න, මේ කටයුතුවල නිරතවන සර්ෆීන් ක්‍රීඩා පාසල් ඇතුළු අනිකුත් සියලු‍ දෙනාට උදව් කරන්න කටයුතු කරනවා.” 

මෙම අවස්ථාවට එක්වූ රුසියානු ජාතික ජීයෝජ් ටේසියාත් මහතා මෙසේ පැවසීය. 

“මෙය හොඳ අවස්ථාවක්. ලෝකයේ කයිට් සර්ෆීන් ක්‍රීඩාවේ නිරතව සිටින පිරිස ශ්‍රී ලංකාවේ කල්පිටියට එන්න.

අපි ආරාධනා කරනවා මේ සඳහා එන වසරවලදී කල්පිටියට පැමිණ කයිට් සර්ෆින් ක්‍රීඩාවේ නිරත වෙන්න කියලා.

මොකද ශ්‍රී ලංකාවේ කයිට් සර්ෆින් සඳහා කල්පිටිය තමා හොඳම කලාපය. ඒ සඳහා සියලු‍ පහසුකම්, හොඳ සුළඟක් වාගේම මුහුද කළපුව ළඟ ළඟම තිබෙන කලාපයක් නිසා හරිම අපූරුයි.”