කටුපොල් ගැන නැවත සිතා බැලීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අභියෝගය



ශ්‍රී ලංකාවේ කටුපොල් හෙවත් ඔයිල් පාම් වගාව ඉවත් කිරීමේ තීරණය, විද්‍යාත්මක සාක්ෂි මත පමණක් නොව, මහජන මතය සහ සමාජීය ආකල්ප මත සකස් වී ඇති බව නිරීක්ෂණය කළ හැක. මෙම විවාදයෙහි පවතින ප්‍රධාන තර්කය වන්නේ කටුපොල් වගාව ජෛව විවිධත්වයට සහ පරිසරයට විශාල තර්ජනයක් බවය. එහෙත්, ලබාගත හැකි විද්‍යාත්මක සාක්ෂි ගැඹුරින් විමසා බැලූ විට, මෙම ගැටලු‍ව සාමාන්‍යයෙන් පෙන්වා දෙන තරම් සරල නොවන බව පෙනේ.

ශ්‍රී ලංකාවේ කටුපොල් වගාකර ඇති සමස්ත භූමි වෙනත් වාණිජ වගාවලට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩාය. එය හෙක්ටයාර 11,000ක් පමණ වන අතර, එම වගාව සිදු කෙරුණේ වනාන්තර එළිපෙහෙළි කිරීමෙන් නොව, පැරණි රබර් ඉඩම් කටුපොල් වගාවට හැරවීමෙන්ය.
මෙම වෙනස ඉතා වැදගත්ය. ලෝකයේ කටුපොල් වගා කරන ප්‍රධාන පෙළේ රටවල් සිය රටවල පැවති වනාන්තර හෙළි පෙහෙළි කිරීම හරහා කටුපොල් වගාව ව්‍යාප්ත වූ අවස්ථා තිබුණද, ශ්‍රී ලංකාවේ තත්වය මේ තත්වය සමග කිසිදු අයුරකින් හෝ සැසඳිය නොහැක. රබර් වගාවක් කටුපොල් වගාවකට හැරවීමෙන් ඇතිවන ජෛව විවිධත්ව බලපෑම, ස්වාභාවික වනාන්තරයක් එළිපෙහෙළි කර වගාවක් ඇති කිරීමේ බලපෑමට කිසිදු ලෙසකින් හෝ සමාන කළ නොහැකිය.

 දැනටමත් වෙනස් වී ඇති  භූමියේ පසුබිම 

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය පිළිබඳ කතාව, රටේ දිගුකාලීන භූමි පරිභෝජන තත්වයන්ගෙන් වෙන්කර බැලිය නොහැක. වාරි සංස්කෘතිය පැවති යුගයේ සිට යටත් විජිත වතු ව්‍යාප්තිය දක්වා, කෘෂිකර්මාන්තය සඳහා වනාන්තර ක්‍රමයෙන් එළිපෙහෙළි කර නැවත භාවිතයට ගෙන ඇත. අද වන විට තේ, රබර් සහ පොල් වගාව එකතුව හෙක්ටයාර 800,000කට ආසන්න භූමි ප්‍රමාණයක් ආවරණය කරන අතර, ඒවා සියල්ලම මුල් කාලයේදී වනාන්තර භූමි ලෙස පැවති ප්‍රදේශවලින් පරිවර්තනය වූවන්ය.

නිදහසෙන් පසු කාලයේදී පවා මහවැලි වැනි විශාල සංවර්ධන ව්‍යාපෘති හරහා තවත් වනාන්තර අහිමිවීම් සිදුවිය. එවැනි පසුබිමකදී, කටුපොල් වගාව යනු ශ්‍රී ලංකාවේ දැනටමත් දැඩි පාරිසරික වෙනසකට ලක්වූ කෘෂිකාර්මික බිම් තුළ සිදුවූ සාපේක්ෂව නව සහ සීමිත භූමි භාවිත වෙනසක් ලෙස දැකිය යුතුය.

එබැවින් මෙහි මතු වන වැදගත් ප්‍රශ්නය වන්නේ, ජෛව විවිධත්ව අහිමිවීමට කටුපොල් වගාව පමණක් විශේෂයෙන් වගකිව යුතුද, නැතහොත් එය ශ්‍රී ලංකාවේ පුළුල් භූමි භාවිත ඉතිහාසයෙන් වෙන්කර, තනිවම විනිශ්චය කරන්නේද යන්නය.

 ජෛව විවිධත්වය  ආවේගවලින් නොව,  අවබෝධයෙන් කියවීම 

ජෛව විවිධත්වය යනු ස්ථිර සහ එකම ආකාරයකින් පවතින සංකල්පයක් නොවේ. එය ජාන විවිධත්වය, විශේෂ විවිධත්වය සහ පරිසර පද්ධති විවිධත්වය යන අංශ තුනෙන් සමන්විත වන අතර, ස්වාභාවික බලපෑම් මෙන්ම මිනිස් ක්‍රියාකාරකම්ද එය හැඩගස්වයි. වනාන්තරයක් වුවද, වතු වගාවක් වුවද, සෑම භූමි භාවිත පද්ධතියක්ම කිසියම් ආකාරයක ජෛව විවිධත්වයක් දරයි. වෙනස පවතින්නේ එහි සංයුතියේ, සහ සංකීර්ණ ස්වභාවයේය.

බහු ස්ථර ගස් ව්‍යුහය, ස්වාභාවික වාසස්ථාන සහ ජීවීන්ට අවශ්‍ය විවිධ පරිසර තත්ව නිසා වනාන්තරවල ජෛව විවිධත්වය ඉහළම මට්ටමක පවතී. එයට සාපේක්ෂව තේ, රබර්, පොල් හෝ කටුපොල් වැනි වතු වගා පද්ධති සරල කර ඇති පරිසර පද්ධති වේ. ඒ නිසා, එවැනි වගා පද්ධතිවල විශේෂීකරණයන්ගේ සංඛ්‍යාව, විශේෂයෙන්ම දේශීය සහ අවදානම් තත්වයේ පවතින ජීවී විශේෂ සංඛ්‍යාව, වනාන්තරවලට වඩා අඩු වීම සාමාන්‍යය.

ශ්‍රී ලංකාවේ විවිධ වතු වගා අතර ජෛව විවිධත්වය පිළිබඳ සසඳන පර්යේෂණ ඉතා සීමිතව සිදු වී ඇත. එම පර්යේෂණ පෙන්වා දෙන කරුණක් වන්නේ වතු වගා වර්ග අතර ඇති වෙනස්කම් සාමාන්‍යයෙන් සිතන තරම් විශාල නොවන බවය. කටුපොල්, රබර් සහ තේ වගාව තුළ දක්නට ලැබෙන ජීවී විශේෂ සංයුතිය බොහෝවිට සමාන වන අතර, ඒවායේ බහුලව දක්නට ලැබෙන්නේ දුර්ලබ හෝ දේශීය විශේෂවලට වඩා සාමාන්‍යයෙන් සෑම තැනකම හමුවන විශේෂය.

මෙම පසුබිම තුළ, දැනටමත් කළමනාකරණය කරන කෘෂිකාර්මික භූමියක එක් වතු වගාවක් වෙනත් වගාවකට මාරු කිරීමෙන්, ජෛව විවිධත්වයේ දැඩි හා හදිසි වෙනස්කම් ඇතිවනු ඇතැයි නිගමනය කිරීම අතිශය සරලකරණයකි.

 දත්ත ඇත්තෙන්ම පෙන්වා දෙන්නේ කුමක්ද?

විශේෂ සංඛ්‍යාව, ජීවී ඝනත්වය සහ සංරක්ෂණ වටිනාකම යන අංශවලින් වනාන්තර පරිසර පද්ධති සියලු‍ වතු වගා පද්ධතිවලට වඩා ඉදිරියෙන් සිටී. ඒ ගැන විශේෂ පුදුමයක් නැත. වනාන්තරයක පවතින ස්වාභාවික සංකීර්ණත්වය ඒ සඳහා මූලික හේතුවය. එහෙත්, වතු වගා එකිනෙකට සසඳන විට, කටුපොල් වගාව පාරිසරික හානිය අතින් අනෙකුත් වගා වර්ගවලට වඩා පැහැදිලිව ඉදිරියෙන් සිටින බවට සාක්ෂි ප්‍රබල නොවේ.

සමහර අවස්ථාවලදී, කටුපොල් වගාව වෙනත් වගාවලට සාපේක්ෂව සමහර ජෛව විවිධත්ව දර්ශකවලට සමාන හෝ ඉහළ මට්ටම් පෙන්වා ඇත. උදාහරණයක් ලෙස, කොළ වැටී ඇති පාංශු ජීවීන් පිළිබඳ අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ කටුපොල් වගාව තේ වගාවලට වඩා එවැනි ජීවීන්ගේ ඉහළ ඝනත්වයක් දරාගත හැකි අතර, රබර් වගාවට සමාන මට්ටමක් පෙන්විය හැකි බවය.

තවද, කටුපොල් ගසේ විශේෂ ව්‍යුහය, බිම් මතුපිටත් බිම යටත් ජෛව විවිධත්වයට උපකාරී වන කුඩා වාසස්ථාන නිර්මාණය කරයි. කටුපොල් අතු අතර එකතු වන ජෛව ද්‍රව්‍ය මගින් “එල්ලෙන පස්” වැනි කුඩා පරිසර තත්ව ඇති වන අතර, එමගින් ක්ෂුද්‍රජීවීන් සහ කුඩා ජීවීන් විවිධ ප්‍රජාව ලෙස වාසය කරයි. මෙවැනි පාරිසරික ලක්ෂණ අනෙකුත් වතු වගා පද්ධතිවල සාමාන්‍යයෙන් දක්නට නොලැබේ.

මෙම සොයාගැනීම් මගින් අභියෝගයට ලක් කරන්නේ, කටුපොල් වගාව ස්වභාවයෙන්ම අනෙකුත් වතු වගාවලට වඩා වැඩි හානිකර බවට පවතින සාමාන්‍ය අදහසටය.

 කළමනාකරණ ක්‍රමවේදවල වැදගත්කම 

මෙම පර්‌යේෂණවලින් ලැබෙන වඩාත් වැදගත් පාඩම වන්නේ, ජෛව විවිධත්ව ප්‍රතිඵල තීරණය වන්නේ වගා වර්ගය මත පමණක් නොව, එම භූමිය කළමනාකරණය කරන ආකාරය මත බවය.

අධික වල්නාශක භාවිතය, යටිවැල් සහ යටි ශාක ආවරණය ඉවත් කිරීම, ජල කළමනාකරණයේ දුර්වලතා වැනි ක්‍රමවේද සියලු‍ වතු වගාවල ජෛව විවිධත්වය අඩු කිරීමට හේතු විය හැක. අනෙක් අතට, භූ ආවරණය රැක ගැනීම, ජල මාර්ග  ආශ්‍රිත ආරක්ෂිත භූමි තීරු පවත්වාගෙන යාම, රසායනික ද්‍රව්‍ය භාවිතය අඩු කිරීම වැනි තිරසාර ක්‍රියාමාර්ග පාරිසරික ප්‍රතිඵල වැඩිදියුණු කළ හැක.

කටුපොල් වගාව තුළ යටි ශාක ආවරණය වැඩි කිරීම, නිෂ්පාදන ඵලදායීතාවට හානියක් නොකර, පාංශු ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන බවද අධ්‍යයන පෙන්වා දී ඇත. ඒ හා සමානව, වතු භූ දර්ශන තුළ වනාන්තර කොටස් සහ ජල මාර්ගය ආශ්‍රිත ආරක්ෂිත ප්‍රදේශ රැක ගැනීම, සත්ව විශේෂ, පක්ෂීන් සහ වෙනත් ජීවීන්ට වඩා පුළුල් වාසස්ථාන සපයයි.

එබැවින් විවාදය වගා වර්ගය තෝරා ගැනීමේ සීමිත ප්‍රශ්නයෙන් එහාට ගොස්, වගා බිම් කළමනාකරණය සහ හොඳම කෘෂිකාර්මික ක්‍රමවේද පිළිබඳ පුළුල් සාකච්ඡාවක් බවට පත්විය යුතුය.

 පරිසර පද්ධතිවල ඇති  හුවමාරු සහ අභියෝග 

කටුපොල් වගාව, අනෙකුත් සියලු‍ කෘෂිකාර්මික පද්ධති මෙන්ම, කිසියම් පාරිසරික හුවමාරුවක් ඇති කරන බව පිළිගත යුතුය. එය වනාන්තරයට සමාන පරිසර පද්ධතියක් නොවේ.

වනාන්තරවලට සාපේක්ෂව, කටුපොල් වගාව දේශගුණ නියාමනය, වාසස්ථාන සැපයීම සහ ජෛව විවිධත්ව සංරක්ෂණය වැනි පරිසර සේවා අඩු මට්ටමකින් සපයයි.

කෙසේ වෙතත්, එම වගාව වෙළෙඳපොළ වටිනාකමක් ඇති නිෂ්පාදනයක් සපයන ආර්ථික ක්‍රියාකාරකමක්ද වේ. එබැවින් අභියෝගය වන්නේ සියලු‍ හුවමාරු මුළුමනින්ම ඉවත් කිරීම නොව, ඒවා ප්‍රායෝගික හා විද්‍යාත්මක ආකාරයකින් කළමනාකරණය කිරීමය.

වැදගත් කරුණක් වන්නේ, පාරිසරික බලපෑම් වැඩිම ලෙස ඇති වන්නේ භූමිය පළමුවරට පරිවර්තනය කරන අවස්ථාවේදී, විශේෂයෙන්ම වනාන්තර එළිපෙහෙළි කරන විට බවය. ශ්‍රී ලංකාවේදී කටුපොල් ව්‍යාප්තිය බොහෝවිට දැනටමත් පවතින වතු වගා භූමි වෙනුවට සිදුවී ඇති බැවින්, එම බලපෑම් අනෙකුත් රටවල වනාන්තර පරිවර්තන අවස්ථාවලට වඩා අඩු විය හැක.

 නැවත සිදු විය යුතු  ප්‍රතිපත්ති සංවාදය 

කටුපොල් වගාව තහනම් කිරීමේ තීරණය, දේශීය පර්‌යේෂනාත්මක සාක්ෂිවලින් පූර්ණ ලෙස සනාථ නොවූ පාරිසරික සැලකිලි මතද බලපෑමට ලක්වී ඇති බව පෙනේ. පරිසර ආරක්ෂණය අත්‍යවශ්‍ය වුවද, ප්‍රතිපත්ති තීරණ ගත යුත්තේ සාමාන්‍ය ජාත්‍යන්තර කතාන්දර මත නොව, ශ්‍රී ලංකාවේ විශේෂිත තත්වය සහ දත්ත මතය.

ලබාගත හැකි සාක්ෂි පෙන්වා දෙන්නේ

  • සියලු‍ වතු වගා පද්ධති වනාන්තරවලට වඩා අඩු ජෛව විවිධත්වයක් දරන බව
  • වතු වගා වර්ග අතර වෙනස්කම් සාපේක්ෂව සීමිත බව
  • පාරිසරික ප්‍රතිඵල තීරණය කිරීමේදී කළමනාකරණ ක්‍රමවේද ඉතා වැදගත් බවය.

මෙම කරුණු මගින් මතු වන්නේ තවත් පුළුල් ප්‍රතිපත්ති අභියෝගයකි. එක් වගා වර්ගයක් පමණක් සීමා කිරීමෙන් මූලික ගැටලු‍ විසඳේද, නැතහොත් තිරසාර භූමි කළමනාකරණය සඳහා වඩාත් ඒකාබද්ධ ප්‍රවේශයක් අවශ්‍යද යන්න එම අභියෝගයයි.

 ඉදිරි මග 

ශ්‍රී ලංකාවේ වතු ක්ෂේත්‍රය පවතින්නේ පාරිසරික තිරසාරභාවය සහ ආර්ථික අවශ්‍යතාව අතර ඇති සංකීර්ණ සන්ධිස්ථානයකය. එබැවින් ඕනෑම ප්‍රතිපත්ති තීරණයක් මෙම දෙකම සමබරව සලකා බැලිය යුතුය.

කටුපොල් වගාව “හානිකරද” නැතහොත් “පිළිගත හැකිද” යන දෙපාර්ශවීය සරල කණ්ණාඩියකින් පමණක් බලනවාට වඩා, වඩාත් සාක්ෂිමය සහ සූක්ෂ්ම ප්‍රවේශයක් අවශ්‍ය වේ. එවැනි ප්‍රවේශයක් අවධානය යොමු කළ යුත්තේ:

  • සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම,
  • වතු කළමනාකරණ ක්‍රමවේද වැඩිදියුණු කිරීම,
  • භූමිය මත පදනම් වූ ජෛව විවිධත්ව සංරක්ෂණ උපායමාර්ග වෙත නැඹුරු වීම

අවසානයේ මෙම ප්‍රශ්නය කටුපොල් වගාව පිළිබඳ පමණක් නොවේ. එය ශ්‍රී ලංකාව සිය කෘෂිකාර්මික භූමි, භාවිතය පද්ධතිවල අඛණ්ඩතාව සහ ආර්ථික ජීවත්වීම දෙකම රැකෙන ආකාරයට කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නයකි.

තිරසාරභාවය පිළිබඳ අවධානය වැඩිවෙමින් පවතින ප්‍රතිපත්ති පරිසරයක, විද්‍යාව, ක්‍රියාකාරී කළමනාකරණය සහ නියාමනය එකම මගකට ගෙන ඒමට ශ්‍රී ලංකාවට හැකිද යන්න, මෙම විවාදයෙන් ඉදිරියට ගොස් දිගුකාලීන විසඳුම් සකස් කිරීමට රටට ඇති හැකියාව තීරණය කරනු ඇත.