ඒෂියන් පේන්ට්ස් කෝස්වේ වළව සුපර්ක්‍රොස් 2025 ජයග්‍රාහීව නිමාව දකී


දිවයිනේ කීර්තිමත්ම මෝටර් රථ තරගාවලියක් වන වළව සුපර්ක්‍රොස් තරගාවලියේ 10 වැනි අදියර වසර පහක විරාමයකින් පසුව ඒෂියන් පේන්ට්ස් කෝස්වේ වළව සුපර්ක්‍රොස් 2025 ලෙසින් නැවත කරළියට පිවිසීම පසුගිය දා සෙවණගල ක්‍රාෆ්ට්ස්මන් ධාවන පථයේදී 50,000 කට ප්‍රේක්ෂකයන් පිරිසක් මධ්‍යයේ අති සාර්ථකව සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත සන්නාමයක් සහ අංක එකේ රථවාහන රීෆිනිෂ් නිෂ්පාදනය වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වූ වළවේ සුපර්ක්‍රොස් 2025 මෝටර් තරගාවලියේදී, මෝටර් කාර් සහ මෝටර් සයිකල් යන ප්‍රධාන අංශ දෙක යටතේ, තරග ඉසව් 21ක් ක්‍රියාත්මක කෙරිණි. වසර 10කට අධික කාලයක් පුරා ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාම තානාපතිවරයෙක් වශයෙන් කටයුතු කරන, මෙරට සුපිරිතම මෝටර් රථ ධාවකයෙක් වන අශාන් සිල්වා SL-GT 3500 ප්‍රධාන ඉසව්ව ජයග්‍රහණය කරමින් තවදුරටත් මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමට සමත් වීම තරගාවලියේ විශේෂත්වයක් විය. 
ඒෂියන් පේන්ට්ස් කෝස්වේ - ශ්‍රී ලංකා ප්‍රධානී, වෛතිලිංගම් කිරිතරන් මහතා වළව සුපර්ක්‍රොස් 2025 තරගාවලියේ සාර්ථකත්වය සහ සිය අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “දේශීය මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ සහ සමස්ත මෝටර් රථ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කැපවුණු සන්නාමයක් වශයෙන් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ වළව සුපර්ක්‍රොස් 2025 තරගාවලියේ සාර්ථකත්වය ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. ඒ වගේම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් අපි ඊට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන්ද අපි නිහතමානීව ආඩම්බර වෙනවා. මෝටර් රථ ක්ෂේත්‍රය සමග අපේ ඇති බැඳීම අංක එකේ රථවාහන රීෆිනිෂ් ආලේපන නිෂ්පාදනය වීමෙන් ඔබ්බට ගොස්, සමස්ත මෝටර් රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් අඛණ්ඩවම කැපවීම දක්වා විසිරුණු දැවැන්ත බැඳීමක්. වළව සුපර්ක්‍රොස් වැනි තරගාවලිවලට අනුග්‍රාහකත්වය දැක්වීමට අමතරව වෘත්තීය පුහුණු අධිකාරිය සමග එක්ව යොවුන් මෝටර් රථ කාර්මික ශිල්පීන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීම වැනි ක්ෂේත්‍රයේ ප්‍රගමනය ඉලක්ක කරගත් තවත් බොහෝ සුවිශේෂී ව්‍යාපෘති ප්‍රමාණයක් ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරමින් සිටිනවා.
ආසියාවේ කීර්තිමත්ම සහ දැවැන්තම තීන්ත නිෂ්පාදකයෙක් වන ඒෂියන් පේන්ට්ස් සමූහයේ සාමාජිකයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම, සිය මව් සමූහය විසින් වසර 80කට අධික කාලයක් පුරා රටවල් 15කට අධික ප්‍රමාණයක ලබා ඇති පර්යේෂණ හා සංවර්ධන දැනුම සහ අත්දැකීම්, ජාත්‍යන්තර ප්‍රමිති සහ නිෂ්පාදන විශිෂ්ටත්වය ශ්‍රී ලංකාවේ තීන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයට ගෙන එන නූතන සමාගමකි.