එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය තවත් පිරිහෙන අවදානමක


වඩාත් ආකර්ෂණීය සමාගම්වල දර්ශකය වන එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා ඉකුත් සතියේ සිට දුර්වලවෙමින් පැවැති අතර, අද දිනයේ දී එම කාණ්ඩයට අයත් සමාගම්වල මිල දී ගැනීම් අඩුවුවහොත් දර්ශක අගය මෙතෙක් පැවැති හයදහසේ සීමාව අමතක කරමින් පසුබැසීමකට ලක් විය හැකිය.

ඉකුත් කාලයේ තරගකාරීව මිල දී ගත් කොටස් ලාබ සහිතව විකිණීමට ගන්නා උත්සාහය ඉදිරියේ වෙළෙඳපොළ උනන්දුව අඩුවෙමින් පවතී. විදේශ ආයෝජකයන්ගේ පැමිණීම ස්ථාවර නොවීම ද මෙයට සාධකයක් විය හැකිය. ඊයේ (සැප්. 03) ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රු. මිලියන 164 ක් වූ අතර, විකිණීම් රු. මිලියන 111 කි. එම ප්‍රවණතාව පසුගිය සතිවල තිබුණ අධි විකිණීම් ඉදිරියේ සැලකිය යුතු ස්වභාවයක් නොවේ. 
අද දිනයේ ගනුදෙනුවල දී යම් ප්‍රමාණයක මිල දී ගැනීම් අපේක්ෂා කෙරේ. ඉසුරුමත් සමාගම්වල කොටස් විකිණීමේ ප්‍රවණතා පාලනය වන අතර, මිල දී ගැනීම් උත්සුක විය හැකි නමුත් සිකුරාදා වෙළෙඳපොළ නිවාඩුව සලකා බලා තව දුරටත් කොටස් ඉල්ලුම සීමාසහිත වන තත්වයක් ද පැවැතීමට ඉඩ තිබේ. 
ගනුදෙනු අවසන් වන විට (සැප්. 03) සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,975.73 ක් දක්වා පහළ වැටිණ. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 14.94 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,000.70 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 22.91 ක පහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 6.47 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 44,893 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 260.8 ක් විය. සමාගම් 135 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 123 කි. දංකොටුව පෝසිලේන් සමාගමේ කොටස් මිලියන 57 ක් හුවමාරු වූ අතර, එය දිනයේ පිරිවැටුම සඳහා ඉහළම සහභාගීත්වයක් සේ දැක්විය හැකිය.
දංකොටුව පෝසිලේන් රු. මිලියන 1,195 ක්, එල්වී එනර්ජි රු. මිලියන 310 ක්, පෑන් ඒෂියා පවර් රු. මිලියන 234 ක්, සියෙරා රු. මිලියන 156 ක් අාදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 
නිරීක්ෂක