ඊශ්‍රායල් - පලස්තීන අර්බුදය : අතීතයට වඩා අනාගතය දැකීම


 

 

 

ඊශ්‍රායල් සහ පලස්තීන යන භූගෝලීය පදවලට දීර්ඝ ඉතිහාසයක් සහ යුදෙව්වන්ට හා අරාබිවරුන්ට විශේෂිත අර්ථකථන ද පවතින්නේ එකම භූමියට තම තමන්ගේ අයිතිය තරගකාරි ලෙස ඔවුන් කියාපාන බැවිනි. යුදෙව් ඊශ්‍රායල් ජාතිකයන්ගේ සහ පලස්තීනියානු අරාබින්ගේ එකම ඉදිරි මාර්ගය විහිද ඇත්තේ අතීතය දෙස හැරී බැලීම නවතාලීම තුළය. 

- ආචාර්ය ඩැනියෙල් මිලර්

කැනඩාවේ (කපුබෙන්හි) ෂර්ම්රූත් හි බිෂොප්ස් සරසවියේ ආගමික, සමාජයීය හා සංස්කෘතික අංශයේ ප්‍රධානි‌, ආචාර්ය ඩැනියෙල් මිලර් Where should histoty begin, and should it matter?) ඉතිහාසය ආරම්භ විය යුත්තේ කොතැනින් ද? එයින් වැඩක් වේ ද? යන හිසින් ලියූ ලිපියෙන්, සියවස් ගණනාවක් පුරා කැකෑරෙමින් ඇවිළුණු මෙම ගැටුමට අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින අයට, පිළිගත හැකි සියල්ල කැටිකොට ගත් ඉදිරි දැක්මක් යෝජනා කර සිටී. මෙම ගැටුමේ සැබෑ වන්දිය වන්නේ, නවීන ඊශ්‍රායලයේ අනාරක්ෂිතභාවයයි. ඔවුන් ගාසා තීරය වනසා දැමූ පසු ගාසාවේ සාමාන්‍ය ජනයා වර්තමානයේ විඳින දුක් කන්දරාවලින් සහ සමස්ත පලස්තීනය පුරා එම දුක් පීඩා පැතිර යාමෙන් අනතුරුව එම අනාරක්ෂිතභාවය වැඩි වූයේය.

ආචාර්ය මිලර් පවසන පරිදි, ඊශ්‍රායලය හා පලස්තීනය එක රටකි. ඊට නම් දෙකක් ඇත්තේ යුදෙව්වන් හා අරාබින් ඊට තනි අයිතිය කියා සිටින නිසාය. තනිකර ඓතිහාසික දැක්මකින් බැලූ විට ඊශ්‍රායලය, පලස්තීනයට වඩා සහශ්‍රයකට වඩා කාලයකින් පැරැණිය. එහෙත් යුදෙව් ජනයා ඔවුන්ගේ වාසභූමිවලින් පලවා හැරිය පසු, පලස්තීනය සෑහෙන තරම් අරාබි ජනකායකගේ වාසභූමි බවට, තවත් වසර දෙකකට වඩා කාලයකට පත්විය. යුක්තියේ හා සමානාත්මතාවේ යථා දැක්මකින් බැලූ විට එම දෙපාර්ශ්වයේම ජනතාවට මෙම භූමියට නීතිමය අයිතියක් ඇත.

ආචාර්ය මිලර් තවදුරටත් මෙසේ කියා සිටී.

“මෙම දෙපිරිස එකිනෙකාට කළ වැරැදි සහ කුරිරුකම් ගණන් කළ නොහැකි තරම්ය. එහි වරද ඊශ්‍රායලය හා හමාස්වරුන් අතර අවසාන වශයෙන් පැවැති යුද්ධයට පැවරීමට උත්සාහ කිරීම හොඳ දෙයක් නොවන්නේය. ඒ දක්වා සිදු වූ විශේෂ සිද්ධි හා යුද්ධ ලෙසින් හා කඳුළෙන් පොත් ගණන් ලියවී තිබේ. එහෙත් පියවි සත්‍යය නම්, දැන් කිසිම එදිරිපිරිමැසීමකින් හෝ පිළිගැනීමකින් යුදෙව්වන්ට හෝ අරාබින්ට මෙම ගැටුමේ අනෙක් පාර්ශ්වය වෙත තමන්ගේ පැත්තෙන් වෛරයේ ගිණුම පියවා දැමුවේ යයි කිව නොහැකිය යන්නයි.”

නිව්‌යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්ති අංශයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජෝඩි රුඩෙරෙන් ගේ ප්‍රකාශයක් ආචාර්ය මිලර් උපුටා දක්වයි. එහි ඇය මෙසේ කියයි.

යුද ගැටුම් නිමා කිරීමේ ඕනෑම අපේක්ෂාවක් උදෙසා:

පලස්තීනුවන් හා ඊශ්‍රායලය යුදෙව්වන් එකිනෙකාගේ ඓතිහාසික දැක්ම, එයින් කුමන දැක්ම වඩාත් නීත්‍යනුකූල දැයි තීරණය කිරීමකින් තොරව පිළිගත යුතුය. නැතහොත් හුදෙක් ඒවා නොසලකා හැරීමට කැමැති විය යුතුය. පවත්වාගත හැකි එකම සාම ගිවිසුම වන්නේ ඉදිරිය දෙස බලන එකය.” ඇය කියන්නීය. මෙම ගින්න ඇවිළී ගියේ කුමකින් ද යන්න විශේෂයෙන් පරීක්ෂා කර බැලීමෙන් ද පලක් නැත. කලින් පැමිණියේ කවුරුන් ද යන්න සෙවීමෙන් ද පලක් නැත. මන්ද යත්, එය කිහිප ආකාරයකින් සොයා බලා ආබ්‍රහම්ට පුතුන් දෙදෙනකු සිටී යයි කිය තැනින් නතර වූ බැවිනි. එම පුතුන්ගෙන් එක් අයෙක් ඉසාක් ය. අනෙකා ඉෂාමීල් ය. ගෝත්‍ර නායක ආබ්‍රහම්ගේ උප්පත්තිය දුන්නේ අරාබිවරුන්ගේ (ඉෂාමීල්) මුතුන් මිත්තා වන්නටය. අනෙකා (ඉසාක්) යුදෙව්වන්ගේ මුතුන් මිත්තා ලෙස සැලකේ.

ආචාර්ය මිලර් සිය ලිපියේ ප්‍රකාශ කර ඇති දේ දෙස බැලීමෙන් මෙම ගැටුමේ ඉතිහාසය හොඳින් වටහාගත හැකිය. ඔහු මෙසේ කියයි. “ක්‍රි.පූ. 13 වැනි ශතවර්ෂයේ අවසාන දශකයේදී තම යුද හමුදා, එවකට මධ්‍යම කඳුකරයේ විසු ඊශ්‍රායල් නමින් හැඳින්වූ ජනතාව, තීරණාත්මක ලෙස පරාජය කළ බව මර්නෙප්ටාහ් (Marneptah) නම් පාරාවෝ රජ වාර්තා කොට තිබේ. එවකට ඔවුන් හැඳින්වූයේ කුනාත් යනුවෙනි.” සියවස් කිහිපයක් ඉක්ම යාමෙන් පසුව එම ප්‍රදේශයේ රාජධානි දෙකක් ස්ථානගත වූයේය. ඒවා නම්, ‘ඊශ්‍රායෙල්’ සහ ඉතා දුර්වල සහෝදර රාජ්‍යයක් වූ ‘ජුදා’ රාජ්‍යයයි. ඊශ්‍රායලයට දකුණින් පිහිටි ‘ජුදා’ යන්න ප්‍රභවය ලැබුවේ ‘යුදෙව්’ (Jew) යන පදයෙනි. ඊශ්‍රායල් රාජධානිය ක්‍රි.පූ. 722දී දැනට ඉරාකය පිහිටි පුරාණ මෙසපොතේමියාව කේන්ද්‍ර කොටගෙන පැවැති නව ඇසිරියානු අධිරාජ්‍යයෙන් නෙරපා හරිනු ලැබූ අතර, ඊශ්‍රායලය පුරාණ මැදපෙරදිග භූගෝලීය ප්‍රදේශයෙන් තුරන් වූයේය.

‘පලස්තීනා

ක්‍රි.පූ. හයවැනි සියවසේදී ජුදාව සහ එහි අගනගරය වූ ඊශ්‍රායලය තවත් මෙසපොතේමියානු රාජධානියක් වූ බැබිලෝනියාවෙන් ආක්‍රමණය කරනු ලැබීය. බැබිලෝනියානුවන් පිටුවහල් කිරීමෙන් අනතුරුව කලින් පැවැති රාජධානිය පිහිටි භූමිය ක්‍රි.පූ. 135 දක්වා යුදෙව් පැවැත්මේ භූගෝලීය කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබිණි. ක්‍රි.පූ. 135දී විනාශකාරි යුදෙව් කැරැල්ලකින් අනතුරුව හේඩ්‍රියන් නම් රෝම අධිරාජ්‍යයා යුදෙව්වන් ජෙරුසෙලමෙන් නෙරපා හැර, නගරය වටා වූ භූමි ප්‍රදේශය ‘සිරියා - පලස්තීනය’ නම් වූ විශාල වෙන්වූ ස්වාධීන ප්‍රදේශයක කොටසක් ලෙස පැවැත්මට නියෝග කළේය. එතැන් පටන් මූලික වශයෙන් ජුදාවාදි සම්ප්‍රදායයන් ඉදිරියට ගෙන ගියේ වෙනත් රටවලට පිටුවහල් කළ යුදෙව්වන්ය. පලස්තීනා යන එහි අවසන නාමය, පලස්තීනියානුවන්ගේ සම්ප්‍රදායික භූමි ප්‍රදේශයේ නාමයෙන් ගත්තකි. ඔවුහු යුදෙව්වන්ගේ (පූර්වගාමින් වූ) ඊශ්‍රායල්වරුන්ගේ පරම සතුරෝ වූහ. හත්වැනි සියවසේදී මැදපෙරදිග ඉස්ලාමික ආක්‍රමණයන්ගේ කොටසක් ලෙස අරාබි ජනතාව බොහෝ සෙයින් එම භූමියේ පදිංචි වන්නට ගත්හ. කෙටි කාලයක් කුරුස යුදකරුවන්ගේ පාලනය හැරුණු කොට සියවස් 12ක් පුරා පලස්තීනය පැවැතියේ මුස්ලිම් පාලනය යටතේය. එහි ජනගහනයේ බොහෝ සංඛ්‍යාවක් අරාබීහුය.

සියොත්වාදයේ හා යුදෙව්වන්ගේ නැවත පැමිණීම:

19 වැනි සියවසේ දෙවැනි භාගයේදී යුදෙව් ජාතිකවාදි ව්‍යාපාරය වූ සියොත්වාදයෙන් මැඩනා ලද හැඟීමෙන් යුතුව යුදෙව්වෝ නැවත පැමිණීමට නැඹුරුවූවෝය. සියොත්වාදය ඉස්මතු වූයේ යුරෝපයේ සහ සාර්වාදි රුසියාවේ දරුණු යුදෙව් විරෝධි හිංසාවෙන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙසය.

යුදෙව්වන් ටිකෙන් ටික මෙම රට වෙත නැවත ඇදී එන විට, සියවස් ගණනාවක් එහි සිටි සෑහෙන තරම් අරාබි ජනාතව අබිමුවේ පසමිතුරුභාවයට මුහුණ දුන්හ. ඔවුන්ටත් තුර්කි අධිරාජ්‍යය යටතේ මෙම භූමිය පරිපාලන ප්‍රදේශ තුනකින් සමන්විත වුවත් ඉන් එකක් හෝ පලස්තීනය යන නමින් නොපැවැතියේය.

පළමු ලෝක මහ යුද්ධයේදී ඔටමන් අධිරාජ්‍යය බිඳවැටුණ පසුව, 1917දී එම භූමිය බ්‍රිතාන්‍ය පාලනය යටතට වැටිණි.

වර්තමාන ජෝර්දාන රාජ්‍යයෙන් ද සමන්විත (බ්‍රිතාන්‍යයට) ‘පැවරුණු පලස්තීනය’ පැවැත්මට පැමිණියේ 1923 අවුරුද්දේය. ඒ දක්වා එහි වාසය කළ අරාබි ජාතින් මූලික වශයෙන් ඔවුන් හඳුන්වා ගත්තේ ජාතිකවාදි හැඟීමෙන් යුතු පලස්තීනුවන් ලෙස නොව, පලස්තීනයේ වාසය කරන අරාබිවරුන් ලෙසයි. (වඩාත් නිශ්චිතව කියන්නේ නම්, ‘මහ සිරියාව’ ලෙසයි.)

නූතන ඊශ්‍රායල් රාජ්‍යය ගොඩනැගීම

1947 නොවැම්බරයේදී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය එම භූමිය ‘නිදහස් අරාබිය’ සහ ‘යුදෙව් රාජ්‍යයට’ බෙදා වෙන් කරන 181 වැනි විසඳුම් යෝජනාව අනුමත කරනු ලැබුවේය. එම යෝජනාවත් එසැණින්ම අරාබිවරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ, පලස්තීන සටන්කාමිහු 1948 මැයි 14 වැනිදා යුදෙව්වන් පදිංචි ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළහ. එවර (Yishuv) ‘ඊෂු’ ව (පදිංචි ප්‍රදේශය යන්න හැඳන්වීමට හීබෲ බසින් භාවිත වචනය) ඊශ්‍රායල් රාජ්‍යය පිහිටුවීම ප්‍රකාශයට පත් කළේය. එසැණින්ම එය එක්සත් ජාතින් විසින් පිළිගැනුණි. ඊශ්‍රායලය හෙවත් නව යුදෙව් රාජ්‍යය පිහිටුවූ දාට පසු දින, එම රාජ්‍යය විවිධ අරාබි ජාතින්ගෙන් හා පලස්තීන සටන්කාමින්ගෙන් සමන්විත යුද බලයකින් ආක්‍රමණය කරනු ලැබිණි. 1949 එම සටන් නිමා වන විට එක්සත් ජාතින් විසින් පලස්තීනුවන්ට වෙන් කර දුන් භූමියෙන් සියයට 78ක් ඔවුන්ට අහිමි වී තිබිණි. එසේම පලස්තීනුවන් හත්ලක්ෂයක් දෙනා ඔවුන්ගේ වාසභූමිවලින් නෙරපා හරිනු ලැබූ අතර, අද දක්වා නැවත පැමිණීමේ අයිතිය ඔවුන්ට නොලැබිණි. ඊශ්‍රායල් ජාතිකයන්ට එය ‘නිදහස ලැබීමේ යුද්ධය’ වූයේය. පලස්තීනුවන්ට එය ‘අල්-නක්බා, වත් හෙවත් ‘මහා විපත්තිදායකයක්’ විය. දශක ගණනාවක සිදු වූ යුදමය හා රාජ්‍යතාන්ත්‍රික පසුබෑම්වලින් පසුව පලස්තීන ජාතික මණ්ඩලය 1988 නොවැම්බර් 15 වැනිදා නිදහසේ ප්‍රකාශනයක් නිකුත් කළේය. මසකට පසුව මහා මණ්ඩලයෙන් එය 43/177 විසඳුම් යෝජනාව ලෙස පිළිගැනුණි. මේ වන විට එක්සත් ජාතින්ගේ සාමාජිකත්වයෙන් තුනෙන් දෙකක්ම පලස්තීනයේ රාජ්‍යභාවය, පූර්ණ සාමාජිකත්වයෙන් තොර අන්තර් ආණ්ඩු ක්‍රියාකාරකම්වල යෙදෙන රාජ්‍යයක් ලෙස පිළිගනිති. එය ගොඩනැගූ දා පටන්, අරාබි රාජ්‍යයත් සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරින් සමග විවිධ යුද්ධවල පැටලුණත් ඊශ්‍රායලය, මැදපෙරදිග බලවත් රාජ්‍යයක් ලෙස ශක්තිමත්ව වර්ධනය වී තිබේ. ඊට හාත්පසින් වෙනස්ව යමින් පලස්තීනුවන් ආර්ථික සමෘද්ධිමත්භාවය සහිත ප්‍රායෝගික දැක්මක් ඇති රාජ්‍යයක් ගොඩනැගීමට දැරූ සෑම උත්සාහයක්ම පල නොදරා ව්‍යර්ථ වූයේය.

1976 පැවැති සය දින යුද්ධයේදී ඉහවහා ගිය ජයග්‍රහණයක් ලබන අතරතුර ඊශ්‍රායලය විසින් නැගෙනහිර ජෙරුසෙලම, බටහිර ඉවුර සහ ගාසා තීරය පැහැරගන්නා ලදී. එහිදී ඊශ්‍රායලය සිය පැවැත්මට ඊජිප්තුව, සිරියානු සහ ජෝර්දානියානු මිශ්‍ර යුද බළකායන්ගෙන් එල්ල වූ රාජ්‍යයන්ට ඍජුව මුහුණ පෑවේය. එහි ප්‍රතිඵලයක් ලෙස පලස්තීනුවන්ගෙන් බහුතරයක් විවිධ ආකාරයේ ඊශ්‍රායල්වරුන්ගේ ක්‍රියාකාරකම් හෝ පාලනයන් යටතට අයත් කරගනු ලැබුවේය.

1990 පටන් රාජ්‍ය දෙකක විසඳුමක් කරා යාමට දැරූ උත්සාහ කිහිපයක්ම අසාර්ථක වූයේය. හිටපු අගමැති බෙන්ජමින් නෙතනියාහු යටතේ බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසෙලමේ සිදු කළ යුදෙව් ජනතාව ගොඩනැගීම නීති විරෝධි ඒවා ලෙස ලෝකයේ බොහෝ දෙනා සලකනු ලැබූහ. ඊශ්‍රායලයේ ජනගහනයෙන් පහෙන් එකක් තරම් විශාල ජනකායකි. ඔවුන් බොහෝ දුරට සැලකුම් ලැබුවේ ඊශ්‍රායලයේ දෙවැනි පන්තියේ පුරවැසිභාවය ලද්දවුන් මෙනි. ජූනි 13 වැනි නෙතනියාහු බලයෙන් පහකිරීම නිසා මෙම තත්වය තරමක් සමනය වීමට ඉඩ තිබේ. පළමු වතාවට අරාබි - ඊශ්‍රායල් පක්ෂයක් රජයේ සභාගයේ කොටසක් බවට පත්ව තිබේ.

යුදෙව් ඊශ්‍රායලය මේ අතර පලස්තීන ඉන්ටිෆාඩාව (පලස්තීනුවන්ගේ විරෝධි ව්‍යාපාරය) එල්ල කළ ප්‍රචණ්ඩ වියරු ක්‍රියා දෙවතාවක් අත්විඳ තිබේ (1987-1993, 2001-2005). දෙවැන්නේදී පලස්තීන මරාගෙන මැරෙන බෝම්බ රැල්ලකට හා වෙඩි ප්‍රහාරවලට ගොදුරු වී ඊශ්‍රායල්වරුන් දහසක් මියගිය අතර, තුන්දහසක් තුවාල ලැබූහ. ඊශ්‍රායල්වරුන්ගේ ආරක්ෂක බාධාවලට උත්තේජනයක් වූයේ මෙයයි. මෙයින් පලස්තීනුවන් හට ඇති වන පීඩා තවදුරටත් උත්සන්න වූයේය.

දැනට පවතින අනාරක්ෂිත ලේ වැගිරීම්වලින් ඉවත් විය හැකි මග කුමක් ද?

ආචාර්ය ඩේවිඩ් මිලර් ඉදිරිපත් කරන ඉහත විස්තරයෙන් ඊශ්‍රායල්-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් ඓතිහාසික සන්දර්භයක් සපයනු ලබයි. දෙවතාවක් ඊශ්‍රායලයට එල්ල කළ ඉන්ටිෆාඩා ප්‍රහාරවලින් හෝ 2023 ඔක්තෝබර් 7 වැනිදා තරම් මෑතක ඊශ්‍රායල ජනාවාසවල 1200ට වැඩි දෙනා මරුමුවට පත්කොට ඊශ්‍රායල් වැසියන් 250කට වඩා ප්‍රාණ ඇපයට ගත් ප්‍රහාර නිසා තම ජනයා පචණ්ඩත්වයට හා අනාරක්ෂිතභාවයට ගොදුරු වීමෙන් ඊශ්‍රායලය නිසි අත්දැකීම් ලබා නැත. ලෝකය බලා සිටියදී ඒ අතර ප්‍රචණ්ඩ ක්‍රියා අඛණ්ඩව සිදු වේ. ඒවා දෙස ඊශ්‍රායලය හා එක්සත් ජනපද මිලිටරි හා ආර්ථික බලය උදාසීන හෝ අකර්මණ්‍ය ලෙස බලා සිටින්නා සේය.

1948 එක්සත් ජාතින් ඔවුනට වෙන්කොට බෙදූ භූමි ප්‍රමාණයෙන් සියයට හැත්තෑ අටකට වැඩි කොටසක් අහිමි කරගැනීමටත්, අද දක්වා නැවත නොඑන්නට හත් ලක්ෂයක් පලස්තීනියානුවන් වාසභූමිවලින් නෙරපා හැරගන්නටත් පලස්තීනුවන් කැමැති වන්නේ නැත. පලස්තීන ජනයා 60,000කට අධික සංඛ්‍යාවක් මියගිය, මිලියන දෙකකට උන්හිටි තැන් අහිමි වූ යුද්ධය නැවත ඇති වනවාට ද පලස්තීනුවන් කැමැති වන්නේ නැත.

එක්සත් ජාතින්ගේ සාමාජිකත්වයෙන් හතරෙන් තුනක් පලස්තීන රාජ්‍යය පිළිගත්ත ද, ඊශ්‍රායලයට සහාය දෙන ඇ.එ. ජනපදයට, එ. ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල නිෂේධ බලය හිමිව තිබෙන තුරා මෙම තත්වයෙන් ඔබ්බට නොයන බව පෙනී යයි. එම නිසා පලස්තීනුවන්ගේ රාජ්‍යා වර්තමානයේ රාජ්‍යයක් ලෙස මුළුමනින් පිළිගැනීමට ලක්කිරීම ප්‍රාතිහාර්යයකින් මිස සිදු නොවන්නේය.

ගැටුම උදෙසා දෙපාර්ශ්වයටම ගෞරවය හිමි වන විසඳුමකට යොමු වීම උගහට යයි කීම ද අතිශය ඌන ප්‍රකාශනයකි.

පැසවා ඇති තුවාලයක් බඳු වූ මෙම අර්බුදය ගැඹුරට විහිදී පැතිර පවතී. පුරාණ ඉතිහාසය ද අඛණ්ඩව තුවාලය පාරද්දී සදාකල් පවත්නා අව්‍යාජ විසඳුමක් සොයා ගැනීම ද ප්‍රාතිහාර්යයකින්ම සිදු විය යුතුය. 

තමන් අතර සිටින අන්තගාමි මූලයන්, මෙම ගැටුමේ ඓතිහාසික සන්දර්භය පිළි නොගැනීම නිසා සදාතනිකව ගෙන යාම පිණිස දිරිමත් කිරීම පලස්තීනුවන් විසින් නොකළ යුතුය. එසේම රාජ්‍යයක් ලෙස පැවැතීමට ඊශ්‍රායලයට ඇති අයිතිය හා ඊශ්‍රායල් ජනයා භීතියට පත්කොට තබා ගැනීමට ද එම අන්තගාමින් දිරිමත් නොකළ යුතුය. ඒ හා සමානවම ඊශ්‍රායල් ජනතාව ද පලස්තීනුවන්ගේ පලස්තීනයට ඇති ඓතිහාසික අයිතියත්, ඊශ්‍රායලයේ දිශානතිය මෙහෙයවීමට, සමාන පුරවැසියන් ලෙස (පලස්තීනුවන්ට) ඔවුන්ට ආරක්ෂිතව ජීවත් වීමට ඇති අයිතියත්, ඔවුන්ගේ ගරුත්වයත් පිළි නොගෙන සිටීමටත් තමන්ගේ නායකයන්ට ඉඩ නොදිය යුතු වේ. 

ඊශ්‍රායලයේ බලය ප්‍රධාන වශයෙන් දේශපාලන වශයෙන් හා මිලිටරිමය මිත්‍ර සන්ධාන එක්සත් ජනපදය සමග පවත්වාගන්නා, එක්සත් ජනපදයේ මහා බලය භාවිත කරමින් සිටිනා ධනවත්, බලයත් යුදෙව්වන්ට පින් සිදුවන්නට සමස්ත පලස්තීන භූමි ප්‍රදේශයම ඊශ්‍රායලයේ දේශය යයි කියන අයිතිය රිසි සේ පිළිගෙන සහයෝගය දෙන්නටත්, අනෙක් අතට පලස්තීනුවන්ට තම අරමුණ කරා යන්නට අව්‍යාජ සහයෝගයක් පිරිනමන්නට අරාබි ජාතින්ට නොහැකියාවක් ඇතැයි පිළිගැනීමට ලක් කරන්නටත් සමත් වී ඇත. මෙම තත්වය ලෝකයා බලා සිටියදී තම අවසාන විසඳුම ආක්‍රමණය ලෙස ගෙන ක්‍රියා කරන ඊශ්‍රායලයට කටයුතු පසු කොට ඇත. එහිදී පලස්තීනුවන්ට යමිතමින්ගේ විරෝධය පා නැතිව ඇත්තේ ඊශ්‍රායලයේ ප්‍රචණ්ඩතා මන්දගාමි කිරීමට පමණකි. දැන් ඊශ්‍රායලය අනුගතව ඇති දිශාව, පලස්තීනුවන්ගේ ආත්මගරුත්වය නොසලකා හැර ඒක පාර්ශ්වික යුදෙව් ජයග්‍රහණය පමණක් අත්කරගන්නා විසඳුමකි. මධ්‍යම කාලයේදී හෝ දීර්ඝ කාලයේදී මෙය විසඳුමක් වන්නේ නැත. ඒක පාර්ශ්වික වූ විසඳුමක් ඔස්සේ ඊශ්‍රායලයේ දීර්ඝ කාලීන ආරක්ෂාව හෝ පලස්තීනුවන්ගේ ගරුත්වය හෝ අයිති සුරැකෙන්නේ නැත. ආචාර්ය මිලර් සහ ජෝඩි රුඩොරත් කියන්නා සේ අව්‍යාජ දීර්ඝ කාලීන විසඳුමකට දෙපාර්ශ්වයේ සම්මුතියක් අවශ්‍ය වේ. එහිදී විසඳුමක් ලෙස, අනාගතය වෙත බැල්මක් හෙළිය යුතු විනා විසඳුමට මාර්ගයක් ලෙස නිරන්තරව පැසවා උඩුදුවන ලද ඉතිහාසයට යොමු විය යුතු නොවේ. ඊශ්‍රායලයේ අනාරක්ෂිත බව හුදෙක් එහිම අනාරක්ෂිත බව නොව එය මෑතකදී ලෙබනනයේ සහ ඉරානයේ දිස්වූවා සේ කලාපයේ ද අනාරක්ෂිත බවකි.

වෛරය සහ පිළිගැනීමේ චේතනාව මත වූ විසඳුම ඇතුළුව සෑම දේම නිත්‍ය නොවන්නා සේම ඒක පාර්ශ්වික විසඳුමක් සහිත පවතින තත්වය ද වෙනස් වන්නේය. පරාජය ලද පලස්තීනුවෝ අළු ගසා දමා නැගිටින්නට ඉඩ තිබේ. මේ අවස්ථාවේ සහයෝගය නොදුන් අය පසුව දෙන සහයෝගයකින් එසේ සිදු වන්නට ඉඩ තිබේ. එවැනි තත්වයක් සාදරයෙන් පිළිගත යුතු නොවන තත්වයක් වනුයේ, එය ඊශ්‍රායලයට වඩාත් අනාරක්ෂිතවූත්, පලස්තීනුවන් වඩාත් පීඩාවට පත්වන්නාවූත් තත්වයක් විය හැකි බැවිනි.

විසඳුමක් ලෙස ෆෙඩරල් මාදිලියක්?

ඉතිහාසය වෙත පමණක් අවධානය යොමු කරන උදවියට සිතාගත නොහැකි වුව ද අනාගත සංකල්පීය විසඳුමක හැකියාව, තනි රාජ්‍යයක, එනම් සමූහ ඒකාබද්ධ රාජ්‍යයක තිබිය හැකිය. එහිදී ඊශ්‍රායලය හා පලස්තීනය අර්ධ ස්වාධීන ප්‍රදේශ ලෙස, ඊශ්‍රායල් හා පලස්තීනුවන් අතර සම සේ බෙදී යන ෆෙඩරල් පාර්ලිමේන්තුවකින් එය සමන්විත විය හැකිය. ඊශ්‍රායලුන්ට හා පලස්තීනුවන්ට තමන්ගේ ජයග්‍රහණ මත පදනම්ව, එක් එක් ප්‍රදේශවලින් මන්ත්‍රීවරු ඡන්දයෙන් එක්කරගැනීමේ හැකියාව එහිදී ලැබේ.  ආරක්ෂණ, විදේශ කටයුතු හා වෙනත් අමාත්‍යාංශ විෂයයන් මධ්‍යගතව කළමනාකරණය කළ යුතු වේ. ෆෙඩරල් රාජ්‍ය වෙත ඒවායේ වගකීම පැවැරිය හැකිය. ඒ අතර සෞඛ්‍ය, අධ්‍යාපන වැනි විෂයන් ප්‍රදේශය වශයෙන් විමධ්‍යගත කළ හැකිය. සම්මුතියේ කොන්දේසි ලෙස ඇතැම් ඊශ්‍රායල ජනාවාස ප්‍රදේශ පලස්තීනුවන් විසින් පිළිගැනීමත්, ඇතැම් ප්‍රදේශවලින් ඊශ්‍රායල්වරුන් ඉවත්ව පලස්තීනුවන්ට භාර දීමත් කිරීම අවශ්‍ය වේ. නව ඊශ්‍රායල් ජනාවාස ඇරැඹීම දෙපාර්ශ්වයේ එකඟතාවෙන් සිදු විය යුතුය. ඊශ්‍රායල් ජනාවාස පිහිටි ඇතැම් ප්‍රදේශ පලස්තීනුවන්ට භාර දීම මතභේදයට තුඩු දිය හැකි වුව ද, ප්‍රජාවන් දෙක අතර දීර්ඝ කාලීන සාමයක් උදෙසා ඒ සඳහා කටයුතු පිළියෙළ කළ යුතුය.

මෙම ස්වභාවයේ මොඩලයකින් පලස්තීනුවන් හා ඊශ්‍රායල්වරුන් ඇති බොහෝ ගැටලු හා අභියෝග ඉවසා සෑහීමකට පත්විය යුතු වේ. දෙපාර්ශ්වයේම ඉතිහාසය විසින් පටවා ඇති බර ප්‍රධාන අභියෝගයක් බවට පත් විය හැකිය. කෙසේ වුව ද, සැම දෙනාට සැම දෙයක් සම්බන්ධයෙන් සිදුවන වෙනස සහ අනිත්‍ය බව නොවැළැක්විය හැකිය යන්න සැලකූ විට, අතීතයට නොව අනාගතය දෙස බලනා විසඳුමක් ගැන සිතීම අසීරු වුව ද එය ඉතා වටනේය.