ඉන්දියාවේ NSE ජාත්‍යන්තර හුවමාරුවේ බැඳුම්කරයක් ලැයිස්තුගත කළ පළමු විදේශීය සමාගම DFCC


DFCC බැංකුව ඉන්දියාවේ ගුජරාට් ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ නගරයේ (GIFT නගරය) පිහිටි ජාතික කොටස් හුවමාරුවේ - ජාත්‍යන්තර හුවමාරුවේ (NSE IX) බැඳුම්කර ලැයිස්තුගත කළ පළමු විදේශීය සමාගම බවට පත්ව ඇත. එය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළවල සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර තිරසර මූල්‍ය ක්ෂේත්‍රයේ කලාපීය ප්‍රමුඛයකු ලෙස DFCC බැංකුවේ පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරයි.
ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ නිකුත්කර පසුව ලක්සම්බර්ග් කොටස් වෙළෙදපොළේ ද්විත්ව ලැයිස්තුගත කරන ලද මෙම ලැයිස්තුගත කිරීම DFCC බැංකුවේ හරිත බැඳුම්කරය සඳහා උපායමාර්ගික බහු ලැයිස්තුගත කිරීමේ ගමන්මග සම්පූර්ණ කරයි. NSE IX හි නවතම ලැයිස්තුගත කිරීම ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළවල් වෙනුවෙන් වන බැංකුවේ ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කරන අතර පුළුල් කළ හැකි, දේශසීමා හරහා තිරසර මූල්‍යකරණය සඳහා එහි කැපවීම පෙන්නුම් කරයි.
කොටස් හුවමාරුව තුළ සීනුව නාද කිරීමේ උත්සවය වශයෙන් හඳුන්වනු ලබන මෙහි සමාරම්භක අවස්ථාව 2025 ජුනි 9 වැනි දින GIFT City හි Grand Mercure  හිදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාත්‍යන්තර මූල්‍ය සේවා මධ්‍යස්ථාන අධිකාරියේ (IFSCA ) සභාපති කේ. රාජරාමන් මහතා සහභාගී වූ අතර, ජාතික කොටස් හුවමාරුවේ (NSE) කුත් සම්භාවනීය අමුත්තන් සහ GIFT City හි පිහිටි බැංකු ප්‍රධානීන් සහභාගී විය. DFCC බැංකුව නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා භාණ්ඩාගාර, ආයෝජන සහ තොග බැංකුකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රින්ස් පෙරේරා යන මහත්වරු සහභාගී වූහ. 
“මෙම ලැයිස්තුගත කිරීම සන්ධිස්ථානයක් පමණක් නොවේ. විශ්වාසනීය අනාගත ඉදිරි දැක්මක් සහිත මුල්‍යකරණයක් තුළින් කලාපය සමග සම්බන්ධවීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින සූදානම පෙන්නුම්කරන සාධකයකි” යනුවෙන් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සඳහන් කළේය. NSE IX හි ලැයිස්තුගත කිරීමක් සිදුකළ පළමු විදේශීය සමාගම බවට පත්වීමෙන්, DFCC බැංකුව නැගී එන ආර්ථිකයන්හි ඇති ආයතනවලට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව තිරසර ප්‍රාග්ධනය ව්‍යුහගතකර පුළුල් කළ හැකි ආකාරය පෙන්නුම් කරයි.