ඉදිකිරීම් කටයුතු හෙමින් වර්ධනය වෙයි


විමුක්ති එස් රුද්‍රිගු

ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය පසුගිය ජූනි මාසයේදී දර්ශකාංක 58.6 ක් වාර්තා කර තිබෙන බවත් එය අඩු වේගයකින් ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

ව්‍යාපෘතිවල සිදුවූ ධනාත්මක වර්ධනය මෙන්ම ස්ථාවර මිල මට්ටම් තුළින් පෙන්නුම් කළ පරිදි, ඉදිකිරීම් කර්මාන්ත කටයුතු සඳහා පවතින හිතකර වාතාවරණය එම කටයුතු තවදුරටත් වර්ධනය වීමට හේතුවී තිබෙන මහ බැංකුව ප්‍රකාශ කළේය.

පසුගිය ජූනි මාසයේදී නව ඇණවුම් දර්ශකය තවදුරටත් ඉහළ ගොස් ඇති බවත් එහිදී විශේෂයන් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යෑමක් වාර්තා වී තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. මීට අමතරව තාවකාලිකව අත්හිටුවා තිබූ ව්‍යාපෘති කීපයක්ම නැවත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා පටන්ගෙන ඇතැයිද මහ බැංකුව ප්‍රකාශ කළේය.

තවද ඉදිකිරීම් කටයුතු පෙන්නුම් කළ අඛණ්ඩ වර්ධනයත් සමග සේවා නියුක්ති දර්ශකය පසුගිය ජූනි මාසයේදී දර්ශකාංක 51.4 ක් බවත් එය පහත වැටීමක සිට ඉහළ යමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. තොග මිලදී ගැනීම් පසුගිය ජූනි මාසයේදී දර්ශකාංක 57.1 වාර්තා කර තිබෙන බවත් එය වැඩි වේගයකින් ඉහළ යාමක් බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය.