ආර්ථිකයේ අනතුරු සංඥා - ඉදිරි ගමන


පසුගිය සති කිහිපය තුළ විනිමය වෙළෙඳපොළේ ඇති වූ අවස්ථාවරභාව හේතුවෙන් රුපියල සැලකිය යුතු ලෙස උච්චාවචනය වූ අතර, එහි ප්‍රතිඵලය ලෙස ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමක් වාර්තා වේ. මෙම තත්වය සම්බන්ධයෙන් මහ බැංකුව සහ රජය පෙන්වා දුන්නේ මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ගැටලු‍වක් නොවන බවත්, කලාපයේ අනෙකුත් ආර්ථික ද මෙවැනිම පීඩනවලට මුහුණ දී සිටින බවත්ය. මැදපෙරදිග කලාපයේ ඇති දේශපාලන අස්ථාවරතා, බොරතෙල් මිල වැඩි වීම සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ අස්ථාවරභාවය යන කරුණු මේ තත්වයට බලපාන ප්‍රධාන හේතු ලෙස ඔවුහු සඳහන් කරති. විනිමය වෙළෙඳපොළේ ඇති වූ අස්ථාවරත්වයට බලපාන මූලික හේතු කුමක් වුවද, විනිමය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් සඳහා ඉල්ලු‍ම ඉහළ යාමත්, සැපයුම යම් සීමාවකට ලක්වීමත් හේතුවෙන් රුපියල මත පීඩනයක් ඇති වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දැඩි ලෙස අවප්‍රමාණය වීමක් සිදුවෙමින් පවතී. 

එය ජනතාව අතර යම් නොසන්සුන්තාවක්ද නිර්මාණය විමට හේතු වී ඇත. ආර්ථික අර්බුද සමයේ රුපියලේ අගය දැඩි ලෙස අවප්‍රමාණය වූ අත්දැකීම හේතුවෙන් මෙම නව තත්වය පිළිබඳ සමාජය තුළ විවිධ අදහස් හා විග්‍රහ මතුවිය. ඇතැම් දේශපාලන නිරීක්ෂකයෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර, ඇතැම් පාර්ශ්ව මහ බැංකුවට ලබාදී ඇති ස්වාධීනත්වය පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවට ද යෝජනා කළහ. කෙසේ වෙතත්, වෙළෙඳපොළේ ඇති වූ පීඩනය පාලනය කිරීම සඳහා මහ බැංකුව සහ රජය කඩිනම් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති නමුත් රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රවණතාව තවදුරටත් නිරීක්ෂණය කළ හැක. 
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගෙන තිබෙන විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ පස්වැනි සහ හයවැනි සමාලෝචන විධායක සභාව විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට අදාළ ණය වාරික මේ වන විටත් භාණ්ඩාගාරයට බැර වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන ලබන වර්ෂයේදී අවසන් වීමට නියමිත අතර, ඉන් අනතුරුව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව වැඩසටහනකට එළඹිය යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට දේශපාලනඥයන් මෙන්ම ආර්ථික විශ්ලේෂකයන් අතර ද යම් සංවාදයක් පවතී. ඒ අනුව, ශ්‍රී මහ බැංකුව සහ රජය ක්‍රියාත්මක කළ නව ආර්ථික ප්‍රතිපත්ති රටේ ස්ථාවරත්වයට හා වෙළෙඳපොළ විශ්වාසය යළි ගොඩනැගීමට දායක වන ආකාරය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියේදී නව වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුද යන්නද මෙම ලිපියෙන් කෙටියෙන් විග්‍රහ කෙරේ.

විනිමය වෙළෙඳපොළ සහ මහ බැංකුවේ භූමිකාව 

විදේශ විනිමය වෙළෙඳපොළේ මෑතදී ඇති වූ අස්ථාවර තත්වය ආර්ථික විශ්ලේෂකයන්, ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර පුළුල් අවධානයට ලක් වෙමින් පවතී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ කාලෝචිත මැදිහත්වීම් හේතුවෙන් එම අස්ථාවරත්වය මේ වන විට යම් මට්ටමකින් පාලනය කර ගැනීමට හැකි වී තිබේ. එහෙත් රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රවණතාව තවදුරටත් වෙළෙඳපොළෙන් ගම්‍ය වේ. තරගකාරී විවෘත ආර්ථිකයක විනිමය වෙළෙඳපොළ ඉල්ලු‍ම හා සැපයුම මත ක්‍රියාත්මක වන බැවින් කෙටි කාලීන අස්ථාවරතා ඇති විය හැකිය. එහෙත් එවැනි අවස්ථාවලදී නියාමන හා අධීක්ෂණ ආයතන ඉක්මන් හා නිවැරදි තීරණ ගැනීම අත්‍යවශ්‍ය වේ. සුළු ප්‍රමාදයක් හෝ වැරදි සංඥා නිවැරදිව හඳුනා නොගැනීමක් පවා ආර්ථිකයේ විශාල අස්ථාවරත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින්, පසුගිය සතියේ සිදුවීම් මාලාව ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වැදගත් පාඩමක් කියාදෙන බව පැහැදිලිය. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳවද විවිධ මත පළවී ඇත. ඇතැම් දේශපාලන නියෝජිතයන් සහ විශ්ලේෂකයන් මහ බැංකුවට ලබාදී ඇති ස්වාධීනත්වය නැවත සලකා බැලිය යුතු බවට යෝජනා කර තිබේ. 

එහෙත් එම මතය ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව දීර්ඝකාලීන දෘෂ්ටිකෝණයෙන් සලකා බලන විට කිසිසේත් අනුමත කළ නොහැකිය. මහ බැංකුවේ ස්වාධීනත්වය මගින් මූල්‍ය ප්‍රතිපත්ති දේශපාලන බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක වීමට හැකිවීම ආර්ථික විශ්වාසය පවත්වා ගැනීමට ඉතා වැදගත් වේ. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල දේශපාලන අරමුණු ඉලක්ක කරගනිමින් ප්‍රතිපත්ති භාවිත කර කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමේ අවදානම ඉහළය. එවැනි තත්වයකදී මහ බැංකුවේ ස්වාධීනත්වය නොමැති වුවහොත් උද්ධමනය, විනිමය අස්ථාවරත්වය සහ මූල්‍ය විශ්වාසය කඩා වැටීම වැනි ගැටලු‍ උත්සන්න විය හැකිය. එබැවින් මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ආර්ථික කළමනාකරණයේ මූලික කොන්දේසියක් ලෙස සැලකිය යුතුය. 

විදේශ විනිමය වෙළෙඳපොළේ මේ වනවිට හඳුනාගත හැකි ප්‍රවණතාව හුදෙක් තාවකාලික තත්වයක් ද, නැතහොත් දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවේ ඩොලර් ඉල්ලු‍ම සහ සැපයුම අතර ඇති අසමතුලිතතාව මත විනිමය අනුපාතිකය තම සමතුලිතතාව සොයා යමින් සිටිනවාද යන්න පිළිබඳව විමසා බැලිය යුතු මූලික සහ අවධානයට ලක් කළ යුතු කරුණකි. විනිමය වෙළෙඳපොළේ ඇතිවූ අස්ථාවරත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හදිසි හා සුවිශේෂී මැදිහත්වීම් සිදු කිරීම ප්‍රශංසනීය තත්වයකි. එසේ වුවද, මෙවැනි අස්ථාවරතා ක්‍රමිකව හඳුනාගැනීම සඳහා වඩා ශක්තිමත් යාන්ත්‍රණයක් තිබිය යුතු බවට වන සාධාරණ තර්කයක් ඉදිරිපත් කළ හැකිය. 

විශේෂයෙන්ම, වෙළෙඳපොළ අස්ථාවරතාව පාලනය කිරීමට මහ බැංකුව සතුව ප්‍රමාණවත් ප්‍රතිපත්ති උපකරණ තිබුණද, ඒවා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වුවහොත් වෙළෙඳපොළේ පීඩනය තවදුරටත් වැඩිවිය හැක. එබැවින් මෙවැනි තත්ව පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් තවදුරටත් ගැඹුරු විමර්ශනයක් කළ යුතුය. මෙම අස්ථාවරතාවය පාලනය කිරීම සඳහා මහ බැංකුව ක්ෂණික පියවර කිහිපයක් ගෙන ඇත. විශේෂයෙන් ඇතැම් වාහන ආනයන තීරු බදු මත වන සියයට 50ක අධිභාරයක් පැනවීමෙන් මාස කිහිපයකට ආනයන සීමා කරමින් ඩොලර් ඉල්ලු‍ම අඩු කිරීමට උත්සාහ කර ඇත. එහෙත් ආර්ථික විද්‍යාත්මකව බලන විට, තෝරාගත් එක් අංශයක් පමණක් ඉලක්ක කර ආනයන සීමා කිරීම විනිමය වෙළෙඳපොළේ සමස්ත ඩොලර් ඉල්ලු‍ම පාලනය කිරීමට සෑම විටම ප්‍රමාණවත් නොවේ.

 ඊට අමතරව, රන් ණය සහ වාහන ණය සඳහා සීමා දැඩි කිරීම වැනි පියවර ගෙන ඇත. එසේ වුවද, ඉල්ලු‍ම පාලනය සඳහා මෙවැනි ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නොවන බැවින් මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ නංවා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළ පොලී අනුපාතික ඉහළ යාම හරහා, ආයෝජන හා පාරිභෝගික ණය ඉල්ලු‍ම සීමා වීමට සහ ආනයන සඳහා ණය භාවිතය අඩුවීමට හේතුවේ. මෙම පියවර කෙටි කාලීනව පාරිභෝගිකයන් හා ව්‍යාපාර සඳහා යම් පීඩනයක් ඇති කළ හැකි වුවද, දිගු කාලීනව රුපියලේ අගය ස්ථායී කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනය සඳහා වැදගත් පදනමක් සකස් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සැපයුමේ මූලාශ්‍ර වන්නේ අපනයන ආදායම්, සංචාරක කර්මාන්තය සහ විදේශ ශ්‍රමික ප්‍රේෂණයයි. එහෙත් මෙම මූලාශ්‍ර කිහිපයකට පමණක් ආර්ථිකය රඳා පැවතීම තිරසාර නොවන බැවින් නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණය කිරීම අවශ්‍ය වේ. එසේ නොවීම නිසා විනිමය වෙළෙඳපොළේ පවතින අස්ථාවරතාව දිගුකාලීන ගැටලු‍වක් විය හැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා තුළින් ඇතිවිය හැකි ප්‍රධානම ප්‍රතිඵලය වන්නේ ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය ශක්තිමත් වීමයි. එහෙත් ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා එම එකඟතා පමණක් ප්‍රමාණවත් නොවේ. 

ඒ තුළ ආර්ථික වර්ධනයට ප්‍රබල දායකත්වයක් ලබා දෙන අංශ සෘජුවම නියෝජනය නොවේ. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගනු ලබන මෙවැනි එකඟතා හරහා ආර්ථිකය ස්ථාවර කිරීම සිදු වන අතරම, රාජ්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථිකය ප්‍රසාරණය කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගන්නා එකඟතා පමණක් මගින් ශක්තිමත් හා තිරසාර ආර්ථිකයක් නිර්මාණය කිරීම අපහසු වන බව මතක තබා ගත යුතුය.

IMF සමාලෝචනයෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමන

විනිමය වෙළෙඳපොළේ ඇතිවූ අස්ථාවරතාව යම් තරමකට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක වීම සමගම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පස්වැනි සහ හයවැනි සමාලෝචන එහි විධායක සභාව විසින්ම අනුමත කොට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 695 කට ආසන්න ණය වාරික නිදහස් කර ඇත. මෙය ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව තවදුරටත් විශ්වාසය තබන බවට වැදගත් සංඥාවක් ලෙස සැලකිය හැකිය. 

 පස්වැනි සහ හයවැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැයි මාසයේ අවසානයේදී ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය සහ ඉදිරි වසර කිහිපය තුළ ආර්ථික කාර්ය සාධනය පිළිබඳ පුරෝකථන කිහිපයක්ද ඉදිරිපත් කර ඇත. විශේෂයෙන්ම විදේශ විනිමය සංචිත ගොඩනැගීමේ ක්‍රියාවලිය යහපත් මට්ටමක පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයෙහි පුරෝකථන අනුව, 2025 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.8ක් පමණ වූ විදේශ සංචිතය, 2028 වසර වන විට ක්‍රමිකව ඉහළ යාම හරහා තවදුරටත් ශක්තිමත් විය හැකි බව සඳහන් වේ. මෙය ඉතා ධනාත්මක සංඥාවක් ලෙස සැලකිය හැකිය. මෙම සංචිත වර්ධනයෙන් විනිමය වෙළෙඳපොළේ රුපියලේ ස්ථාවරතාව පවත්වා ගැනීමට සහ ශ්‍රී ලංකා ආර්ථික කාර්යසාධනය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය ශක්තිමත් කිරීමටද දායක වේ. 

එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් මූල්‍ය ඉලක්ක සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන් බොහෝ දුරට සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බවද වාර්තාවෙන් පිළිගැනේ. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ ධනාත්මක ඇගයීමක් ලෙස සැලකිය හැකිය. කෙසේවෙතත්, ආර්ථික කාර්යසාධනය සම්බන්ධයෙන් අවදානම්කාරී තත්ව කිහිපයක්ද මෙම වාර්තාවෙන් පෙන්වා දේ. විශේෂයෙන්ම මැදපෙරදිග යුද්ධය සහ ශ්‍රී ලංකාවට බලපා ඇති දිට්වා සුළිකුණාටුව වැනි කාලගුණික අර්බුද ආර්ථිකයට අමතර පීඩනයක් එල්ල කර ඇති බව සඳහන් වේ. එසේම තෙල් මිල ඉහළ යාම සහ සංචාරක ආදායම් අඩුවීම හේතුවෙන් 2026 වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන මට්ටම සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වි ඇති බවට පුරෝකථනය කරයි. 

ඒ අනුව, ආර්ථික වර්ධනය සියයට 3 දක්වා මන්දගාමී විය හැකි බවද සඳහන් වේ. මෙවැනි තත්ව, ආර්ථිකය ප්‍රසාරණය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාව තැබූ අපේක්ෂාවලට යම් අභියෝගයක් එල්ල කරයි. මෙම තත්වය තුළ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රතිපත්තිමය නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. එම නිර්දේශ අතර බදු ආදායම් වැඩි කිරීම සහ බදු පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. එසේම, මූල්‍ය ප්‍රතිපත්තිය මූලිකව මිල ස්ථාවරතාව ඉලක්ක කරගත යුතු බවද ඔවුහු පෙන්වා දෙති. ඊට අමතරව, විනිමය අනුපාතය වඩාත් නම්‍යශීලී ලෙස පවත්වා ගැනීම සහ විදේශ විනිමය වෙළෙඳපොළේ සමතුලිතතාව ශක්තිමත් කිරීමද වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

 2027 වසරේ සිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික ශේෂයක් අත්පත් කර ගැනීමේ ඉලක්කය කරා යාමද අත්‍යවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති. මෙම ප්‍රතිපත්ති මගින් ආර්ථිකය කම්පන තත්වයට මුහුණ දිය හැකි, වඩාත් ස්ථාවර සහ තිරසාර ආකාරයකට පත් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි. 

තවද, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, මූල්‍ය විනය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය ආදායම වැඩි කිරීමද අත්‍යවශ්‍ය කරුණු ලෙස හඳුනාගෙන ඇත. වියදම් කළමනාකරණය ශක්තිමත් කිරීම, නාස්තිය හා දූෂණය අවම කිරීම ද නිර්දේශ අතර වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාරභාවය තවමත් පවතින්නේ ඉහළ අවදානමකය. එබැවින්, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව පවතින ඉහළ ණය අනුපාතය ක්‍රමයෙන් පහත හෙළීමට පියවර ගත යුතුය. 

මේ වන විට එය දළ දේශීය නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස සියයට අනූ පහක් දක්වා පහළ මට්ටමට ගෙන ඒමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. එහෙත් මෙම වාර්තාවට අනුව, 2028 වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ඩොලර් බිලියන 1.5ක් පමණ ණය ලෙස ලබා ගැනීමට සිදුවේ. රටේ ණය ශ්‍රේණිගත කිරීම පහළ මට්ටමක පවතින බැවින්, මෙවැනි ණය ලබා ගැනීමට ඉහළ පොලී අනුපාත ගෙවීමට සිදුවීම නොවැළැක්විය හැකියි. එසේම එය අභියෝගාත්මක තත්වයක් ඇති කරයි. එබැවින් විදේශ ණය තිරසාරභාව ශක්තිමත් කිරීමට ආර්ථික වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. එසේ නොවී ඉදිරියේදී දේශීය හෝ ගෝලීය ආර්ථික කම්පනයක් ඇති වුවහොත්, රට නැවතත් අර්බුදයකට යාමේ දැඩි අවදානමක් පවතී. 

IMF වැඩසටහනෙන් පසු ආර්ථිකයේ අනාගතය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් විස්තීර්ණ ණය වැඩසටහන 2027 වසරේදී අවසන් වීමට නියමිතය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්වාධීන හා නිසි ප්‍රතිපත්තිමය කළමනාකරණයක් මත ඉදිරියට යා යුතු බව බහුතරයකගේ අපේක්ෂාවයි. මෙවන් පසුබිමක ඉදිරියටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගීතාව තවදුරටත් පවත්වා ගත යුතුද නැද්ද යන්න පිළිබඳව දේශපාලනඥයන් සහ ආර්ථික විශ්ලේෂකයන් අතර විවිධ මත පවතී. 

එක් පාර්ශ්වයක් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අඛණ්ඩව කටයුතු කිරීමෙන් ආර්ථික ස්ථාවරත්වය සහ වෙළෙඳපොළ විශ්වාසය ශක්තිමත් වන බවයි. අනෙක් පාර්ශ්වය එය බාහිර බලපෑමක් ලෙස සලකා, එවැනි සහයෝගීතා අවසන් කළ යුතු බව තර්ක කරති. 

එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම පමණක් ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සඳහා විකල්ප ප්‍රතිපත්ති වෙත යොමු වීම අත්‍යවශ්‍ය බවද සාකච්ඡාවට බඳුන් වන කරුණකි. මෙම වැඩසටහන හරහා බදු ඉහළ නැංවීමෙන් ආර්ථිකයට යම් ස්ථාවරත්වයක් ලබා දීමට උත්සාහ කර ඇත. ඉහළ බදු ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මෙන්ම වෘත්තිකයෝද දැඩි පීඩනයකට ලක්ව සිටිති. එමගින් ආර්ථිකය යම් මට්ටමක ස්ථාවරත්වයක් ලබා ගෙන ඇතත්, එහි තිරසාරභාවය පිළිබඳව ගැටලු‍කාරී තත්වයක් පවතී. ඕනෑම රටකට ආර්ථික නිදහස යනු අත්‍යවශ්‍ය සාධකයකි. රටේ ජනතාවගේ අපේක්ෂා පරිදි ආර්ථිකය මෙහෙයවීමටත්, එහි ප්‍රතිලාභ පොදු මහජනතාව වෙත ළඟා කරවන යාන්ත්‍රණයක් සකස් කිරීමටත් අවස්ථාව ලැබෙන්නේ එම නිදහස පැවතුණහොත් පමණි. 

එම සන්දර්භය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සමග ඇති කරගන්නා මෙවැනි එකඟතා, රටක ආර්ථික නිදහස කෙරෙහි යම් බලපෑමක් ඇති කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත්, සීමිත සම්පත් සහිත සහ දේශපාලනීකරණය වූ සංවර්ධනය වෙමින් පවතින රටකට ජාත්‍යන්තර ආයතන සමග පවතින සබඳතා සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සමග ඇති කරගන්නා එකඟතා හුදෙක් ‘කොන්දේසි’ ලෙස පමණක් නොව, ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ලෙස නිවැරදිව අවබෝධ කර ගැනීමයි. 

කෙසේ වුව ද, මෙහිදී එක් මූලික කරුණක් අවධාරණය කළ යුතුය. ඇතැම් පාර්ශ්ව පටු දේශපාලන වාසි තකා හෝ නොදැනුවත්කම නිසා, මෙම විස්තීර්ණ ණය පහසුකම යටතේ ලැබෙන ඩොලර් මුදල පමණක් හුවා දක්වමින්, එය සාමාන්‍ය ණයක් ලබා ගැනීමක් ලෙස සරල කිරීමට උත්සාහ කරති. එහෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවල වඩාත්ම වැදගත් කරුණ වන්නේ රටට ලැබෙන ඩොලර් නොවේ. එම වැඩසටහන හරහා ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතා, ඩොලර්වලට වඩා බෙහෙවින් ඉහළ වටිනාකමක් ශ්‍රී ලංකාවට අත්කර දෙයි. 

දශක ගණනාවක් තිස්සේ රටේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් විය. කෙසේ වෙතත්, මෙම විස්තීර්ණ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය විනය පවත්වා ගැනීම අනිවාර්ය කොන්දේසියක් වී ඇති අතර, ඊට අනුගත වීම හැර වෙනත් විකල්පයක් පසුගිය කාලය පුරා දේශපාලන අධිකාරියට තිබුණේ නැත. ශ්‍රී ලංකාවේ පසුගිය අත්දැකීම් ද මෙයට කදිම සාක්ෂියකි. 

වර්තමාන රජය ද බලයට පත්වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතා පිළිබඳ විවිධ විවේචනාත්මක මත දැරුව ද, බලයට පත්වීමෙන් පසු එම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය. මෙයින් පැහැදිලි වන්නේ ආර්ථික ස්ථාවරත්වය උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන් සතු ප්‍රායෝගික වැදගත්කමයි. එසේම, ඉදිරියේදී ද ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ හරහා මූල්‍ය පහසුකම් ලබා ගැනීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය තත්වයක් බවට පත්වනු ඇත. එවැනි පසුබිමක ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් වේ. 

විශේෂයෙන් ණය වැඩසටහනකට සීමා නොවී, අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා සහයෝගීතාව පුළුල් කළ හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ අනුව ඉදිරියට යාම අවශ්‍ය වේ. අවසාන වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතා දේශපාලන වාසි තකා භාවිත නොකර, ආර්ථික ස්ථාවරත්වය සහ තිරසාර වර්ධනය උදෙසා වන දිගුකාලීන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ලෙස සැලකීම අත්‍යවශ්‍ය වේ. ජනතාව ද කෙටි කාලීන සහනාධාර ප්‍රතිලාභ මෙන්ම, ඒවායේ දිගුකාලීන ආර්ථික පිරිවැය පිළිබඳව ද යම් අවබෝධයෙන් සිටිය යුතුය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ බාහිර කම්පනවලට සාර්ථකව මුහුණ දිය හැකි මට්ටමකට පත්කර ගැනීම මෙතෙක් සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගෙන නොමැති බව පැහැදිලිය. 

එසේම මෙහිදී අවධාරණය කළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ, ආර්ථික කාර්ය සාධනය මත පදනම්ව තිරසාර ආර්ථික සංවර්ධනයක් සහ ශක්තිමත් ආර්ථික පද්ධතියක් ගොඩනැගීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති එකඟතා මගින් පමණක් සාක්ෂාත් කරගත නොහැකි බවයි. ඒ සඳහා රජය විසින් නිසි සැලසුම් සහිතව ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම, යෝග්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ, ශ්‍රම වෙළෙඳපොළ හා ඉඩම් ප්‍රතිපත්ති වැනි ක්ෂේත්‍රවල අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ.

එබැවින් මෙය හුදෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහනකින් පමණක් සම්පූර්ණ කළ හැකි ක්‍රියාවලියක් නොවන බවද අවධාරණය කළ යුතුය. එබැවින්, ඉදිරි වසර දහය තුළ සැලසුම්ගත සහ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති වුවහොත්, සුළු බාහිර කම්පනයකදී වුවද 2022 වසරේදී මුහුණ දුන් ආකාරයේ බරපතළ ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව නැවතත් ඇද වැටීම වැළැක්විය නොහැකි වනු ඇත.