ව්‍යාපාරික ප්‍රජාව තුළ පසුගිය මැයි මාසයේදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් තිබූ සුබවාදී අදහස් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් පහව ගොස් ඇති බවත් නැවතත් ජූනි මාසයේදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව දරන අදහස් වෙනස් වී ඇති බවත් මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපරික සඟරාවක් වන එල්.එම්.ඩී ජූලි සංස්කරණය පවසයි.
එල්.එම්.ඩී සඟරාව පෙන්වා දෙන්නේ ජූනි මාසයේ පළමු වැනි සතියේදී සිදුකළ ව්‍යාපාර විශ්වාසනීය දර්ශක සමීක්ෂණයේදී මෙරට ආර්ථිකය ඉදිරි මාස 12 ක කාලයේදී ආර්ථිකයේ ප්‍රගතියක් පෙන්නුම් කරනු ඇති බව සුබවාදී අදහස් පළකළ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවයි.
පසුගිය මැයි මාසයේදී ඉදිරි මාස 12 දී මෙරට ආර්ථිකයේ ප්‍රගතියක් පෙන්නුම් කරනු ඇති බවට සුබවාදී අදහස් පළකළ ප්‍රතිශතය සියයට 76 ක් වී ඇති බවත් එය ජූනි මාසයේදී සියයට 56 දක්වා සියයට 20 ක සැලකිය යුතු ප්‍රතිශතයකින් පහළ වැටී තිබෙන බවත් එල්.එම්.ඩී සඟරාව පෙන්වා දුන්නේය.
මෙරට ආර්ථිකය වර්තමානයේ පවතින මට්ටමේම ඉදිරි මාස 12දී නොවෙනස්ව පවතිනු ඇතැයි විශ්වාස කරන පිරිස ජූනි සමීක්ෂණයේදී සියයට 37 දක්වා වර්ධනය වී තිබෙන බවත් මැයි මසට සාපේක්ෂව එය සියයට 20 ක පමණ වර්ධනයක් බවත් එල්.එම්.ඩී සඟරාව ප්‍රකාශ කළේය. එසේම සියයට 7 ක ප්‍රතිශතයක් ඉදිරි මාස 12 ක කාලයේදී ආර්ථිකය නරක අතට හැරෙනු ඇතැයි විශ්වාස කරන බවද එම සඟරාව පැවැසුවේය.
කෙසේ නමුත් ඉදිරි මාස 12දී සිය විකුණුම් පරිමාව ඉහළ යනු ඇති බවට සුබවාදී අදහස් පළකරන අලෙවි නිලධාරීන් පිරිස සියයට 83 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව සියයට 9 ක වර්ධනයක් බවත් එම සඟරාව පෙන්වා දුන්නේය. මාර්තු මාසයේ සිට මාස තුනක අඛණ්ඩ පහළ යෑමකට පසුව පසුගිය ජුනි මාසයේදී සිය විකුණුම් පරිමාව පිළිබඳව අලෙවි නිලධාරීන් දරන සුබවාදී අදහස් මෙලෙස ඉහළ ගොස් තිබෙන බවද එල්.එම්.ඩී සඟරාව ප්‍රකාශ කළේය.
එසේම සියයට 16 ක් සිය විකුණුම් පරිමාව නොවෙනස්ව පවතිනු ඇතැයි විශ්වාස කරන බවත් එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව සියයට 8 ක පහළ
යාමක් බවත් එම සඟරාව පෙන්වා දුන්නේය. එසේම සහභාගීවූ අයගෙන් සියයට 69 ක ප්‍රතිශතයක් පසුගිය මාසවලදී සිය විකුණුම් පරිමාව ඉහළ ගිය බවට ප්‍රකාශ කළ බවත් එය මැයි මාසයට සාපේක්ෂව සියයට 3 ක ඉහළ යාමක් බවත් එල්.එම්.ඩී සඟරාව ප්‍රකාශ කළේය.