එය කරන්නේ කෙසේද ?

අඩ සියවසක් පුරා අප රටට අවශ්‍ය කරන විදේශ විනිමය ප්‍රමාණවත් තරම් නොලැබීමේ (Current-account weakness) ගැටලුව පෙන්නුම් කරන්නේ, මෙය හුදෙක් එක් අර්බුදයක් කළමනාකරණය කිරීමේ ප්‍රශ්නයක් පමණක් නොවන බවයි. අපගේ සුපුරුදු විදේශ විනිමය උපයන මාර්ග ආරක්ෂා කර ගනිමින් ඒවා වර්ධනය කරන අතරම, රටේ ඩොලර් සංචිතයට සැබෑ ලෙසම මුදල් එකතු කරන නව මාර්ග ක්‍රමානුකූලව විවෘත කළ යුතුව ඇත.
රටට ලැබෙන සහ රටින් පිටවන විදේශ විනිමය පරතරය (Current account) පිළිබඳව නැවතත් කතාබහක් ඇතිවී තිබේ. 2023, 2024 සහ 2025 යන වසරවලදී අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඩොලර් ලැබී අතිරික්තයක් (Surplus) වාර්තා වුවද, 2026 වසරේ මුල් භාගය වන විට අපට නැවතත් ඩොලර් මිලියන 245 ක පමණ හිඟයකට (Deficit) මුහුණ දීමට සිදුවී ඇත. මෙයින් 2022 අර්බුදයෙන් පසු අප අත්කරගත් ප්‍රගතිය ආපසු හැරවීමක් සිදු නොවේ. එහෙත් මින් එක් පැරණි ප්‍රශ්නයක් නැවත මතු කරයි. එනම්, අපේ රටේ ඩොලර් සංචිතය මෙතරම් පහසුවෙන් නැවතත් අවදානමකට ලක්වන්නේ ඇයි?
මා මේ ප්‍රශ්නය අසන්නේ ආර්ථික විද්‍යාඥයකු ලෙස නොව, දශක හතරක් පුරා රටට ඩොලර් උපයා දුන් අපනයනකරුවකු සහ ආනයනික අමුද්‍රව්‍ය සඳහා ඩොලර්වලින් ගෙවීම් කරන නිෂ්පාදකයකු වශයෙනි. මගේ අත්දැකීම් අනුව බලන කල, මෙම දිගු කාලීන අතීත ආර්ථික රටාව නොසලකා හැරිය යුතු නැති බව ඉතා පැහැදිලිය.
දශක ගණනාවක් තිස්සේ අපි ණය, ඩොලර් සංචිත, රුපියලේ අගය (Exchange rates) , ආනයන සීමා කිරීම්, අපනයන දිරිගැන්වීම්, සංචාරක කර්මාන්තය, විදේශ ආයෝජන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන් වෙනම මාතෘකා ලෙස සාකච්ඡා කර ඇත්තෙමු. එහෙත් මේ සියල්ලටම යටින් දිගින් දිගටම පවතින එක් මූලික දුර්වලතාවක් ඇත. එනම්, අපගේ නිෂ්පාදන සහ සේවා හරහා උපයා ගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් අපේ ආර්ථිකයට නිරන්තරයෙන්ම අවශ්‍ය වී තිබීමයි.
ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික දුෂ්කරතා සඳහා එකම හේතුව රටේ ඩොලර් ගිණුමේ (Current account) හිඟය බව නොවේ. අනාගතයේදී රටට ආදායම් ගෙන දෙන හොඳ ආයෝජන සඳහා මෙලෙස ඩොලර් වියදම් කරන්නේ නම්, එවැනි හිඟයක් පැවතීම සාධාරණ වේ. එසේම රජයේ මූල්‍ය කළමනාකරණයේ සහ පාලනයේ ඇති වූ අසාර්ථකත්ව සියල්ල මේ පිටින් පමණක් යැවිය යුතුද නොවේ.
එහෙත් අඩ සියවසක් පුරා අපට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපට උපයා ගැනීමට නොහැකි වීමේ මෙම අඛණ්ඩ රටාව, සාමාන්‍ය කළමනාකරණයකට වඩා වැඩි අවධානයක් දිනාගත යුත්තකි.
නොසලකා හැරිය නොහැකි අඛණ්ඩ රටාව
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාස දත්තවලට අනුව 1975 සිට 2025 දක්වා වසර 51 තුළ වසර 47කදීම ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා ගැනීමට නොහැකි වී ඇත (Current-account deficit). අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඩොලර් ලැබී ඇත්තේ 1977, 2023, 2024 සහ 2025 යන වසරවලදී පමණි.
1980 ගණන්වල මුල් භාගයේ පැවති දැවැන්ත ඩොලර් හිඟය හුදෙක් එක් ප්‍රතිපත්තියක වරදක් පමණක් නොවේ. 1977න් පසු විවෘත ආර්ථිකයත් සමග ආනයන ඉහළ යාම, දැවැන්ත රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම මීට බලපෑවේය. 1980 දී මෙම ඩොලර් පරතරය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 16.4 දක්වා ළඟා වූ අතර, එය 1981 සහ 1982 වසරවලදී ද ඉතා ඉහළ මට්ටමක පැවතුණි.
ඒ නිසා මේ ගැටලුව දෙස එක් වසරකට පමණක් සීමා වී බැලීමෙන් ඵලක් නැත. වඩාත් වැදගත් කාරණය වන්නේ, එම අසාමාන්‍ය තත්වය පහව ගිය පසුවද, විවිධ ආණ්ඩු, විවිධ සංවර්ධන උපායමාර්ග සහ විවිධ ගෝලීය තත්ව යටතේ පවා අපේ රටට දිගින් දිගටම අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් උපයා ගැනීමට නොහැකි වීමයි.
‘මේ වසරේ ඩොලර් හිඟය පියවා ගැනීමට අප මුදල් (ණය) සොයා ගන්නේ කෙසේද?‘ යන්න පමණක් ඇසීම වෙනුවට, ‘පරම්පරා ගණනාවක් පුරා ප්‍රමාණවත් තරම් ශක්තිමත් ඩොලර් උපයන මාර්ග නිර්මාණය කර ගැනීමට අපට නොහැකි වී ඇත්තේ ඇයි?‘ යන්න අප විමසිය යුතුය.
ණයට ගෙන හිඟය පියවීම යනු ප්‍රශ්නයට විසඳුම නොවේ
විවිධ කාලවලදී විවිධ ස්වරූපයෙන් ණය සහ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වූ නිසා ශ්‍රී ලංකාවට දිගින් දිගටම ඇති වූ ඩොලර් හිඟය සමග ජීවත් වීමට හැකි විය. සහනදායී ණය, විදේශ ආයෝජන සහ පසුව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB / International Sovereign Bonds) මේ සියල්ල අපේ ඩොලර් අඩුව පියවා ගැනීමට යොදා ගන්නා ලදී.
මෙලෙස මුදල් ගලා ඒම නරක දෙයක් නොවේ. ඒවායින් බොහොමයක් හරහා වටිනා යටිතල පහසුකම් සහ සංවර්ධන කටයුතු සිදු විය. එහෙත් ගැටලුව ආරම්භ වන්නේ, මහන්සි වී ඩොලර් උපයනවාට වඩා ණයට ඩොලර් ගැනීම පහසු වූ විට සහ රට තමන්ගේම ඩොලර් ඉපැයීමේ හැකියාව දියුණු කිරීම නතර කළ විටය.
මෙලෙස ඩොලර් හිඟය ණයට ගෙන පියවා ගනිමින් රටකට වසර ගණනාවක් දිවීමට හැකි වුවද, ණය දෙන අය ණය දීම නැවැත්වූ විට හෝ අපේ ඩොලර් සංචිත සිඳී ගිය විට, මෙම දුර්වලතාවම මහා අර්බුදයක් බවට පත් වේ.
2022 අර්බුදයෙන් අපට කියා දුන් පාඩම
ශ්‍රී ලංකාවේ 2022 ආර්ථික අර්බුදයට හේතු ගණනාවක් තිබුණි. රජයේ බදු අඩු කිරීම්, කොරෝනා වසංගතය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටීම, ලෝක වෙළෙඳපොළේ බඩු මිල ඉහළ යාම, රුපියලේ අගය පාලනය කිරීම සහ ගෙවාගත නොහැකි ණය බර යන සියල්ල මෙයට බලපෑවේය.
එහෙත් අප සතුව තිබූ භාවිත කළ හැකි ඩොලර් සංචිතය සම්පූර්ණයෙන්ම අවසන් වීම සහ පිටරටින් ණය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙය ක්ෂණික ජාතික හදිසි තත්වයක් බවට පත් විය. අත්‍යවශ්‍ය බඩු ගෙන්වීමට සහ ණය ගෙවීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමට අපට නොහැකි විය. ගෙවුම් ශේෂ වාර්තාවක (Balance of payments) ගැන කියවීමට බොහෝ කලකට පෙර, සාමාන්‍ය ජනතාවට ඉන්ධන පෝලිම්වලදී, ගෑස් හිඟයේදී සහ ෆාමසිවල බෙහෙත් නැති වූ විට මෙම ඩොලර් අර්බුදය හොඳින් දැනුණි.
මින් අප උගත යුතු පාඩම වන්නේ අප කිසිදාක නැවත අපේ ඩොලර් සංචිත පාලනයෙන් ගිලිහී යාමට ඉඩ නොදිය යුතු බව පමණක් නොවේ. මෙහි ඇති ගැඹුරු පාඩම නම්, රටට ඩොලර් ගෙන ඒම සඳහා අප මීට වඩා විශාල, විවිධාංගීකරණය වූ සහ ශක්තිමත් ක්‍රමවේදයක් (Capacity to generate foreign currency) ගොඩනැගිය යුතු බවයි.
මෑත කාලීන ඩොලර් අතිරික්තය ප්‍රගතියක් වුවද, ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳී නැත
අර්බුදයෙන් පසු නැවතත් අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඩොලර් රටට ගෙන්වා ගැනීමට හැකි වීම (Current-account surplus) විශාල ජයග්‍රහණයකි. මහ බැංකුව ඇස්තමේන්තු කරන පරිදි 2025 දී ඩොලර් බිලියන 1.7 ක පමණ අතිරික්තයක් අපේක්ෂා කෙරේ. විදෙස්ගත ශ්‍රමිකයන් එවන මුදල් (Remittances) මීට විශාල සහනයක් විය.
කෙසේ වෙතත්, 2026 වසරේ මුල් භාගයේදී ඩොලර් මිලියන 245 ක පමණ හිඟයක් වාර්තා විය. විදෙස් ප්‍රේෂණ හොඳ මට්ටමක පැවතුණද, මැදපෙරදිග යුද්ධය නිසා ඉන්ධන ගෙන්වීමේ වියදම ඉහළ යාම, වාහන ගෙන්වීමට අවසර දීමෙන් පසු වැය වූ මුදල සහ සංචාරක ආදායම තරමක් අඩුවීම යන සියල්ල එකතු වීම, අපේ ඩොලර් ගිණුමේ ශේෂය කණපිට හැරවීමට ප්‍රමාණවත් විය. ඒ ගැන මදක් නතර වී සිතා බැලීම වටී. ලෝකයේ එක් යුද්ධයක් සහ එක් වසරක සාමාන්‍ය වාහන ගෙන්වීමක්, වසර තුනක අපේ අතිරික්තය ආපසු හැරවීමට ප්‍රමාණවත් විය. මෙයින් පෙන්නුම් කරන්නේ අපේ රටේ ඩොලර් උපයන පදනම තවමත් කොතරම් දුර්වලද යන්නයි.
මෙහි අදහස ශ්‍රී ලංකාව නැවතත් අර්බුදයකට පැමිණ ඇති බව නොවේ. අතිරික්තය සහිත වසර කිහිපයක් යනු වර්ධනයක හොඳ ලකුණක් වුවද, එය අපේ මූලික ඩොලර් ඉපැයීමේ ව්‍යුහය සාර්ථකව වෙනස් වී ඇති බවට ප්‍රමාණවත් සාක්ෂියක් නොවේ.
ණය තවමත් ගෙවිය යුතුව ඇත
අනාගතයේදී අප උපයන ඩොලර් වලින් විශාල ප්‍රමාණයක් අප ගත් ණය ගෙවීමට (Debt-service) වෙන් කළ යුතුව ඇත. මහ බැංකු දත්තවලට අනුව 2025 දී මුළු විදෙස් ණය වාරික සහ පොලී ගෙවීම් දළ වශයෙන් ඩොලර් බිලියන 5.1 ක් පමණ වේ. IMF ඇස්තමේන්තුවලට අනුව 2032 දක්වා වසරකට ඩොලර් බිලියන 3.9 සිට 5.5 දක්වා මුදලක් ණය ගෙවීමට අවශ්‍ය වේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් (Debt restructuring) මෙම ණය බර ගෙවීමේ කාලය තරමක් පහසු කර ඇත. එහෙත් එම ණය ගෙවීමට නම් අප අනිවාර්යයෙන්ම ඩොලර් ඉපයිය යුතුමයි.
පැරණි ක්‍රමය බිඳ වැටෙන්නේ මෙතැනදීය. දශක ගණනාවක් තිස්සේ, ණය ගෙවීමට කාලය පැමිණි විට අප කළේ නැවතත් ණය ගැනීමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වූයේ මේ පුරුද්ද නැවැත්වීමට වන අතර, ණය දෙන ආයතන පෙර පරිදිම නැවත ණය ගැනීමට අපට ඉඩ දෙන්නේ නැත. වසරකට ණය ගෙවීමට අවශ්‍ය ඩොලර් බිලියන හතරක් හෝ පහක් මුදල, රටේ ඉන්ධන, ඖෂධ, ආහාර සහ කර්මාන්ත වලට අවශ්‍ය දේ ගෙන්වීමට වැයවන මුදලට අමතරව අප වසරින් වසර මහන්සි වී උපයා ගත යුතුය. ණය ගෙවීම සඳහා නැවත ණය ගැනීම සැලසුමක් නොවේ. එය අප 2022 බංකොලොත්භාවය වෙත ගෙන ගිය මාර්ගයයි.
සුපුරුදු ආදායම් මාර්ග පමණක් ප්‍රමාණවත්ද?
ශ්‍රී ලංකාව සිය සුපුරුදු ඩොලර් උපයන මාර්ග වන භාණ්ඩ අපනයනය, සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණ (IT) සේවා, විදේශ ආයෝජන සහ විදෙස්ගත ශ්‍රමිකයන් එවන මුදල් මත අඛණ්ඩව වැඩ කළ යුතුය. මේවා අපේ ජාතික ශක්තීන් වන අතර, ඒවා තවදුරටත් දියුණු කිරීමට බොහෝ ඉඩකඩ ඇත.
එහෙත් ප්‍රශ්නය වන්නේ, ශ්‍රී ලංකාවේ මීළඟ සංවර්ධන අදියර සඳහා අවශ්‍ය වන දැවැන්ත ඩොලර් ප්‍රමාණය ඉපයීමට මෙම සුපුරුදු මාර්ග මත පමණක් යැපීම ප්‍රමාණවත් වේද යන්නයි.
ඇත්ත වශයෙන්ම රට තුළ ඉතිරි වන ඩොලර් ප්‍රමාණය මැන බලන්න
තීරණ ගැනීමේදී අපට අලුත් ක්‍රමයක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් අප කතා කරන්නේ අපනයනවලින් ලැබෙන සම්පූර්ණ ආදායම (Gross export earnings) හෝ ආයෝජනයක මතුපිටින් පෙනෙන ඩොලර් වටිනාකම ගැනයි. එම සංඛ්‍යා වැදගත් වුවද, යම් ව්‍යාපාරයක් අවසානයේ ශ්‍රී ලංකාවට ඇත්තටම ඩොලර් කොපමණ ප්‍රමාණයක් ඉතිරි කරන්නේද යන්න ඉන් කියවෙන්නේ නැත.
එබැවින්, රජයේ ප්‍රතිපත්ති හදන අය යම් ව්‍යාපාරයක ශුද්ධ විදේශ විනිමය දායකත්වය (Net Foreign Currency Contribution - NFCC) පරීක්ෂා කළ යුතුය. එනම් යම් නිෂ්පාදනයක් සඳහා පිටරටින් ගෙන්වන අමුද්‍රව්‍යවලට වැයවන ඩොලර් ප්‍රමාණය අඩු කළ පසු, ඇත්ත වශයෙන්ම රටට ඉතිරි වන ඩොලර් ප්‍රමාණයයි.
සරල උදාහරණයකින් මෙය පැහැදිලි කළ හැක. ඩොලර් මිලියනයක් වටිනා ඇඟලුම් (Garments) අපනයනයක් සඳහා, පිටරටින් ගෙන්වන රෙදි සහ අමතර උපාංග වෙනුවෙන් ඩොලර් ලක්ෂ පහක් පමණ වියදම් විය හැකිය. එහෙත් එම වටිනාකමම ඇති මෘදුකාංග (Software) අපනයනයක් සඳහා එතරම් මුදලක් පිටරටට ඇදී යන්නේ නැත. අපනයන වාර්තාවල මෙම දෙකම ඩොලර් මිලියනයක් ලෙස පෙනුණද, රටේ ඩොලර් සංචිතයට ඒවා දක්වන සැබෑ දායකත්වය බෙහෙවින් වෙනස්ය.
මෙලෙස සිතීමට පුරුදු වීම හරහා, හුදෙක් ලොකු ඉලක්කම් පෙන්වනවාට වඩා ඇත්තටම රටට ඩොලර් ඉතිරි කරන ව්‍යාපාර වලට ප්‍රමුඛතාව දීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.
විදේශ විනිමය ඉපැයීමේ ජාතික ක්‍රියාවලිය වේගවත් කිරීමේ යාන්ත්‍රණයක් (A National FX Pathway Accelerator)
අලුතින් ඩොලර් උපයන මාර්ග අඛණ්ඩව සොයාගැනීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුත්තේ කවුරුන්ද? අපට දැනටමත් මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), , අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආයෝජන මණ්ඩලය (BOI) වැනි ආයතන ඇත. අපට අවශ්‍ය වන්නේ තවත් අලුත් අමාත්‍යාංශයක් හෝ කාර්යාලයක් නොවේ. අපට අවශ්‍ය වන්නේ මෙම සියලු ආයතන එකට එක්වී ඉක්මනින් තීරණ ගන්නා යාන්ත්‍රණයක් (Accelerator) හඳුන්වා දීමයි.
එහි කාර්යභාරය ඉතා ප්‍රායෝගික විය යුතුය: එනම්, ඩොලර් උපයන හෝ ඩොලර් ඉතිරි කරන නව අවස්ථා හඳුනා ගැනීම, ඒවායින් රටට ඉතිරි වන සැබෑ විදේශ විනිමය ප්‍රමාණය (NFCC) තක්සේරු කිරීම, ඒවාට ඇති නීතිමය සහ යටිතල පහසුකම් බාධක ඉවත් කිරීම, සහ ව්‍යාපෘති හා පහසුකම් සැලසීම ඉක්මනින් ක්‍රියාත්මක කිරීමයි.
මෙහිදී වඩාත් වැදගත් වන්නේ, මෙම ක්‍රමය සාමාන්‍ය ජනතාවගේ සහ ව්‍යාපාරිකයන්ගේ නව අදහස් සඳහා විවෘත විය යුතු වීමයි. නව විදේශ විනිමය උපයන මාර්ග ගැන හොඳ අදහස් රජයේ නිලධාරීන්ට මෙන්ම ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, පර්යේෂකයන්, විශ්වවිද්‍යාල සිසුන් සහ සාමාන්‍ය පුරවැසියන් සතුව තිබිය හැක. වටිනා ජාතික අදහස් විනිශ්චය කළ යුත්තේ ඒ තුළින් රටට ලැබෙන ප්‍රයෝජනය මත මිස, අදහස ගෙන එන පුද්ගලයාගේ නිලය හෝ තනතුර මත නොවේ.
ඩොලර් කළමනාකරණය කිරීමෙන් ඔබ්බට ගොස් අලුතින් ඩොලර් ඉපයීම
ලැබෙන ඩොලර් ටික කළමනාකරණය කළ යුත්තේ කෙසේද යන්න ශ්‍රී ලංකාව හොඳින් දනී. ණය තිරසාරභාවය, මුදල් අරපිරිමැස්මෙන් භාවිත කිරීම ගැන දැන් හැමෝම කතා කරති. එහෙත් අපගේ අවසාන ඉලක්කය විය යුත්තේ කළමනාකරණය පමණක් නොවේ.
දශක ගණනාවක් තිස්සේ ඩොලර් හිඟයකින් පීඩා විඳි රටකට, අලුතින් ඩොලර් ඉපයීම සඳහා ශක්තිමත් ජාතික වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වේ.
අප අසන ප්‍රශ්නය වෙනස් කිරීමට කාලය එළඹ ඇත. ශ්‍රී ලංකාවට ඊළඟට අවශ්‍ය ඩොලර් ටික ණයට ගන්නේ කෙසේදැයි පමණක් අසනවා වෙනුවට, අප කොපමණ නව ව්‍යාපාර හරහා රටට ඩොලර් ගෙන එන්නේදැයි වැඩි වැඩියෙන් ඇසිය යුතුය.
පසුගිය වසර පනස් එකෙන් හතළිස් හතක්ම, ශ්‍රී ලංකාව කළේ ඩොලර් හිඟයට ස්ථිර විසඳුමක් නොසොයා එය යන්තම් කළමනාකරණය කරමින්, විදේශ විනිමය ණයට ගෙන ඉදිරියට යාමයි. මීළඟ පරම්පරාව අප විනිශ්චය කරනු ඇත්තේ එකම එක දෙයක් මතයි. එනම්, අප දිගටම ලැබෙන ඩොලර් ටික කළමනාකරණය කරමින් හා ණය ගනිමින් පමණක් සිටියාද නැතහොත් අවසානයේදී අලුතින් ඩොලර් උපයා ගැනීමට ඉගෙන ගත්තාද යන්නයි.
(මෙම ලිපියේ කතුවරයා වන වරලත් ඉංජිනේරු ලලිත් කහටපිටිය CEng FIMechE FIET (UK) CEng FIE (SL), අපනයනය ඉලක්ක කරගත් විද්‍යුත් ඉංජිනේරු උපකරණ නිෂ්පාදකයකු මෙන්ම ජනාධිපති අපනයන සම්මාන ලාභියකු වන KTK සමාගම් සමූහයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමයේ විධායක කමිටුවේද සේවය කරයි. මෙහි පළවන්නේ ඔහුගේ පෞද්ගලික අදහස්ය.)

