- සියයට 13 ක වර්ධනයක්
- ආනයන හා අපනයන පාලන බලපත්‍ර 17,010 නිකුත් කරලා
- වැඩිම බලපත්‍ර ගණනක් නිකුත් කර ඇත්තේ ජංගම දුරකතන, සන්නිවේදන උපකරණ හා වෙනත් අයිතම සඳහා
- අඩුම ආනයන හා අපනයන පාලන බලපත්‍ර ගණනක් නිකුත් කර ඇත්තේ භාවිත කරන ලද මෝටර් රථ හා වාහන අමතර කොටස් කාණ්ඩයට
- ඖෂධ හා වෛද්‍ය උපකරණ සඳහා ආනයන හා අපනයන පාලන බලපත්‍ර 1,583 ක්
- රසායනික ද්‍රව්‍ය, පොහොර, පළිබෝධනාශක, කාර්මික අමුද්‍රව්‍ය ආනයනය හා අපනයනයට බලපත්‍ර 4,881ක්
විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය වසරේදී ආනයන හා අපනයන පාලන බලපත්‍ර 17,010 නිකුත් කර තිබෙන බවත් ඉන් රුපියල් බිලියන 3.76 අදායමක ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව උපයා තිබෙන බවත් එහි පසුගිය වසරේ කාර්ය සාධන වාර්තාවේ දැක්වේ.
කාර්ය සාධන වාර්තාවට අනුව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ 2023 වසරේ ආදායම රුපියල් බිලියන 3.30 ක් වන අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේ ආදායම සියයට 13 ප්‍රතිශතයකින් වර්ධනය වී ඇත. පසුගිය වසරේ කාර්ය සාධන වාර්තාවට අනුව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ආදායම පසුගිය වසර 4 පුරාවට අඛණ්ඩව වර්ධනය වී තිබේ.
පසුගිය වසරේ නිකුත් කර ඇති ආනයන හා අපනයන පාලන බලපත්‍ර 17,010 අතරින් වැඩිම බලපත්‍ර ගණනක් නිකුත් කර ඇත්තේ ජංගම දුරකතන, සන්නිවේදන උපකරණ හා වෙනත් අයිතම සඳහාය. එම කාණ්ඩය සඳහා පසුගිය වසරේදී ආනයන හා අපනයන පාලන බලපත්‍ර 6,136 ක් නිකුත් කර ඇත. පසුගිය වසරේ අඩුම ආනයන හා අපනයන පාලන බලපත්‍ර ගණනක් නිකුත් කර ඇත්තේ භාවිත කරනලද මෝටර් රථ හා වාහන අමතර කොටස් කාණ්ඩයට වන අතර බලපත්‍ර 640 ක් එම කාණ්ඩය සඳහා නිකුත් කර ඇත.
මීට අමතරව ඖෂධ හා වෛද්‍ය උපකරණ සඳහා ආනයන හා අපනයන පාලන බලපත්‍ර 1,583 ක්, රසායනික ද්‍රව්‍ය, පොහොර, පළිබෝධනාශක, කාර්මික අමුද්‍රව්‍ය ආනයනය හා අපනයනයට බලපත්‍ර 4,881ක්, සතුන්, සත්ව නිෂ්පාදන හා විවිධ ආනයන සඳහා බලපත්‍ර 3,770ක් පසුගිය වසරේදී ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
ඖෂධ හා වෛද්‍ය උපකරණ සඳහා නිකුත් කර ඇති මුළු ආනයන හා අපනයන පාලන බලපත්‍ර ප්‍රමාණය 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේ යම් අඩුවීමක් සිදුව ඇති බවත් පසුගිය වසරේදී ආයතනයන් 3 ක් සඳහා නව සමූහ ආනයන බලපත්‍ර තුනක් නිකුත් කර ඇති බවත් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ගෝලීය ආර්ථික අර්බුද හා බැඳුණු දේශීය විනිමය අර්බුදය මුළු බලපත්‍ර ප්‍රමාණය පහළ යාමට හේතුවී තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
රසායනික ද්‍රව්‍ය, පොහොර, පළිබෝධනාශක සහ කාර්මික ද්‍රව්‍ය ආනයනය හා අපනයනයට සමස්තයක් ලෙස ලබාදී ඇති මුළු බලපත්‍ර සංඛ්‍යාව පසුගිය වසර තුනේදී ක්‍රමිකව වර්ධනය වී ඇතැයි ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තු කාර්ය සාධන වාර්තාවේ දැක්වේ.
මෙරට ආර්ථික වර්ධනය හා විනිමය වෙළෙඳපොළ ස්ථාවරත්වය හේතුවෙන් එම කාණ්ඩයට අයත් පූර්වජ රසායනික ද්‍රව්‍ය, පෙට්‍රෝලියම් ආශ්‍රිත නිෂ්පාදන, අනෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය රසායනික, වෙනත් අමුද්‍රව්‍ය ආනයනය සඳහා නිකුත් කළ බලපත්‍ර සහ ලෝහ සුන්බුන් අපනයනය සඳහා නිකුත් කළ බලපත්‍ර සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බවද එහි සඳහන් වේ.
මෙරට 2022 වසරේ සිට දුරස්ථ අධ්‍යාපන රටාවට වැඩි වශයෙන් යොමුවීම හේතුවෙන් භාවිත කළ හා නව ජංගම දුරකතන ආනයනය කිරීම සඳහා ලබාදී ඇති බලපත්‍ර ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.
සතුන්, සත්ව නිෂ්පාදන හා විවිධ ආනයන යටතේ පසුගිය වසරේදී ලබාදී ඇති බලපත්‍ර සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවද ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.
පසුගිය වසරේ මැයි 22 වැනිදා ගත් අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව පසුගිය වසරේ ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා, ආනයන බලපත්‍ර ලබාදීමට අනුමැතිය ලබාදී තිබූ බවත් ඒ සඳහා ආනයන බලපත්‍ර 2222 ක් පසුගිය වසරේ නිකුත් කර ඇති බවත් 2023 වසරට සාපේක්ෂව එය ඉහළ අගයක් බවත් එම වාර්තාවේ දැක්වේ.
ඊට අමතරව දේශීය පරිභෝජනය සඳහා ලෙලි කජු මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරිමට බලපත්‍ර ලබා දී ඇති අතර එය ද 2023 වර්ෂයට සාපේක්ෂව වැඩි අගයක් ගෙන තිබේ.
තේ කොළ ආනයනය සඳහා ද පසුගිය වසරේ බලපත්‍ර 687ක් ලබා දී ඇති අතර එය ද 2023 වර්ෂයට සාපේක්ෂව වර්ධනයක් බව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සිය කාර්යය සාධන වාර්තාව මගින් පෙන්වා දී ඇත.