- කොළඹ තේ වෙන්දේසියේ සතිපතා අලෙවිය කිලෝ මිලියන 5ත් 6ත් අතර අගයක් ගනී
- තේ අලෙවියට එකතු වන VAT බද්ද මාසයකට රුපියල් බිලියන 4ක්
- ගැනුම්කරුවාට පැටවිය නොහැකි VAT බද්දේ බර පැටවෙන්නේ තේ නිෂ්පාදකයාටයි
- තේ වෙන්දේසියේ තේ කිලෝවක මිල රුපියල් 20කින් අඩුවීමේ අවදානමක්
- මේ හරහා දරුණු බලපෑම 480,000ක් පමණ වන කුඩා තේ නිෂ්පාදකයන්ට
- 2015-2025 කාලසීමාව සඳහා තේ අපනයන සමාගම් වෙත IRD මගින් ආපසු ගෙවිය යුතුව ඇති VAT බද්දේ වටිනාකම රුපියල් බිලියන 1.3 ක්
භානුක අමරසිංහ
තේ කර්මාන්තයට පනවා ඇති අගය මත එකතු කළ බදු (VAT) සහ ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට ඉවත් කෙරෙන අත්හිටවූ බදු (SVT) සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් කර්මාන්තය හරහා මුදල් ගලා ඒමේ ගැටලු මතුවීමේ අවදානමක් පවතින බව තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) සඳහන් කරයි.
ඒ අනුව තේ සඳහා ලබා දෙන මිල ගණන් අඩුවීමත් සමගින්ම එය දේශීය තේ කර්මාන්තයේ සැපයුම් දාම වෙත දැඩි ලෙස බලපානු ඇතැයි ද එම සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (29) නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කළේය.
“කොළඹදී පැවැත්වෙන තේ වෙන්දේසියේදී සෑම සතියකදීම තේ කිලෝ මිලියන 5ත් 6ත් අතර සාමාන්‍යයක් අලෙවි වෙනවා. අද වනවිට පවතින තේ වෙන්දේසියේ පවතින මිලේ සාමාන්‍ය අනුව මෙම තේ අලෙවිය වෙත එකතුවන සියයට 18ක VAT බද්දේ වටිනාකම මාසයකට රුපියල් බිලියන 4ක් පමණ වෙනවා. එහෙත් ගෝලීය තේ කර්මාන්තයේ පවතින තරගකාරීත්වයත් සමගින්, අඩු ආන්තික සහිතව මෙහෙයුම් සිදු කරන බොහෝ තේ අපනයන සමාගම් වෙත මෙය බලපානවා. ඔවුන්ට තමන්ගේ අමතර මුදල් ගලා ඒමේ අවශ්‍යතා වෙනුවෙන් බැංකු හරහා ණය ගැනීම් වෙත යොමුවීමට සිදු වෙනවා.”
ඒ අනුව මෙලෙස ලබාගන්නා අමතර බැංකු ණයෙහි වටිනාකම මාසයකට රුපියල් මිලියන 480ක් පමණ වනු ඇති බවත්, එය වසරකදී රුපියල් මිලියන 5,760ක් පමණ වනු ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.
“ගෝලීය තරගකාරී තේ වෙළෙඳපොළ තුළ මේ VAT බර විදේශීය ගැනුම්කරුවන් වෙත පැටවීමට නොහැකියි. ඒ නිසා එය පැටවෙන්නේ සැපයුම් දාමය වෙතයි. ඒ හරහා තේ වෙන්දේසි මිල ගණන් වෙත එය ඍණාත්මක බලපෑමක් එල්ල වෙනවා.” සංගමය සඳහන් කරයි.
ඒ අනුව තේ වෙන්දේසියේ තේ කිලෝග්‍රෑමයක් සඳහා මිල රුපියල් 20ක පමණ අගයකින් පහත වැටෙනු ඇතැයි එම සංගමය මගින් ඇස්තමේන්තු කර තිබේ. මෙය තේ නිෂ්පාදන සමාගම්වල ආදායම් වෙත බලපෑම් එල්ල කරනු ඇති බවත්, විශේෂයෙන්ම 480,000 කට අධික පිරිසක් සිටින කුඩා ප්‍රමාණයේ තේ වගාකරන්නන් වෙත එය දැඩිව බලපානු ඇති බවත් සංගමයේ අදහස වී තිබේ.
කෙසේ වෙතත් මෙලෙස ඔක්තෝබර් 01 වැනිදා සිට SVAT ඉවත් කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය වෙත සිය සංගමය ගරු කරන බවත් ඔවුහු පවසති. එහෙත් ඊට විකල්පයක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇති අවදානම පාදක කරගත් දින 45ක් ඇතුළත VAT ආපසු ගෙවීමේ යාන්ත්‍රණයේ පවතින පැහැදිලිතාව සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් තේ අපනයනකරුවන්ගේ සංගමය අවධාරණය කරයි.
“අපි දන්නා තරමින් මෙහිදී අඩු සහ මැදි අවදානම් සහිත සමාගම් ලෙස වර්ග කෙරෙන අපනයන සමාගම් පමණක් මෙම දින 45 ක් තුළ VAT බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදයට සුදුසුකම් ලබනවා. තේ අපනයනකරුවන්ගේ සංගමය විදියට අපි අවස්ථා කිහිපයකදීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත කරුණු දක්වමින් ඔවුන්ගේ නියමු ව්‍යාපෘතියක් වෙත තේ අපනයන සමාගම් 10ත් 15ත් අතර සංඛ්‍යාවක් ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලා සිටියා. එහෙත් මේ දක්වා එම යෝජිත ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධය ලබා ගැනීමේ අවස්ථාවක් ලබා දීලා නැහැ.” යනුවෙන් ද එම සංගමය චෝදනා කරයි.
මෙම ක්‍රමවේදය අනුව සියයට 50කට වැඩි අපනයන ප්‍රමාණයක් සහිත සමාගම් පමණක් සෑම මාසයක් අවසානයේදීම මෙම VAT ආපසු ගෙවීම සඳහා සුදුසුකම් ලබයි. එහෙත් තාක්ෂණිකව බැලූ විට අපනයනකරුවකු වෙත එම VAT බදු නැවත හිමිවීම, අදාළ බදු ගෙවීම සිදු කර දින 75-90ත් අතර කාලයක් ගත වන බවත් සඳහන් වෙයි.
“මේ විදියට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් අදාළ කාලසීමාව තුළදී ආපසු ගෙවන VAT බදු ලෙස රඳවා තබාගන්නා මුදල රුපියල් බිලියන 10-12 ත් අතර මුදලක් ගන්නවා. ඒ අනුව මෙය තේ අපනයන සමාගම්වල මූල්‍ය තත්වය වෙත බලපෑම් එල්ල කරනවා.”
එසේම 2015-2025 කාලසීමාව සඳහා තේ අපනයන සමාගම් වෙත ආපසු ගෙවිය යුතුව ඇති VAT බද්දේ වටිනාකම රුපියල් බිලියන 1.3 ක් පමණ වන බවත්, ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත දින 45ක් තුළදී VAT බදු ආපසු ගෙවීමක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බවත් තේ අපනයනකරුවෝ පෙන්වා දෙති.
“අද වනවිට සතිපතා තේ වෙන්දේසියට සම්බන්ධ තේ අපනයන සමාගම් 200කට වැඩි සංඛ්‍යාවක් මගින් ඉතාමත් තරගකාරී ඉල්ලුම් පරිසරයක් පවත්වාගෙන යමින් තේ නිෂ්පාදකයන් වෙත ලබාදිය හැකි හොඳම මිලක් සඳහා කටයුතු කරනවා. මෙම ඉල්ලුම් පරිසරය හේතුවෙන් කෙන්යානු සහ ඉන්දියානු තේ හා සැසඳීමේදී ශ්‍රී ලංකා තේ කිලෝග්‍රෑමයක් සඳහා උපරිමව ඩොලර් 1.00ත් 1.50ත් අතර මිලක් හිමි වෙනවා.”
මේ අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන අතරින් සියයට 93ක්ම අපනයනය කරන එකම නිෂ්පාදනය තේ ලෙස හඳුන්වා දෙන එම සංගමය, දේශීයව අලෙවි කෙරෙන්නේ තේ නිෂ්පාදනයෙන් සියයට 7ක් පමණක් බවත් මතක් කර දෙයි. එසේම 2023 වසරේ සිට ඉන්දියාව සහ කෙන්යාව තේ අපනයනයෙන් VAT බද්ද ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
ඒ අනුව මෙම VAT බදු ආපසු ගෙවීම දින 45 කින් නොව මාසයක කාලයකින් සිදු කිරීමට කටයුතු කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ඒ හරහා කර්මාන්තයට එල්ලවන අහිතකර බලපෑම අඩුවනු ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ. එසේම මෙම කර්මාන්තය VAT බදු අය කිරීමෙන් ඉවත් කිරීමට නොහැකි නම් තේ අලෙවිය සඳහා ඩිජිටල් යාන්ත්‍රණයක් හඳුන්වා දෙන ලෙස ද ඔවුහු යෝජනා කර සිටිති.