අර්බුදයක් යළි ඇති නොවීමට මුල්‍ය විනය අත්‍යවශ්‍යයි - IMF වාර්තාවෙන් අනතුරු ඇඟවීමක්


ශ්‍රී ලංකාවේ ඇති වූ සිදුවීම් ලොව අනෙකුත් නැගී එන වෙළෙඳපොළවලට පාඩමක්
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පමණක් දිගුකාලීන ස්ථාවරත්වයක් සුරක්ෂිත නොකරන බවට අදහසක් 
විනයගරුක රාජ්‍ය ආයෝජන වැඩසටහනක්, විනිවිද පෙනෙන ප්‍රසම්පාදනයක් සහ නව ණය ගැනීම් පිළිබඳ දැඩි පිරිවැය-අවදානම් විශ්ලේෂණයක් අවශ්‍යයි 
කල් පවතින වෙළෙඳපොළ ප්‍රවේශය නැවත ලබා ගැනීමට මූල්‍ය විනය පවත්වා ගත යුතු බව අවධාරණය කරයි


ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ වීමට ආසන්නව පැවතියත්, රට නැවතත් අර්බුදයකට පත් වීම වැළැක්වීමට මූල්‍ය විනය, ශක්තිමත් ආයතන සහ පරෙස්සම්සහගත ණය කළමනාකරණය යන කරුණු අත්‍යවශ්‍ය බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සැප්තැම්බර් මාසයට අදාළව නිකුත් කළ වාර්තාවක් මගින් අනතුරු අඟවා තිබේ. 
මෙම වාර්තාව “ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගතරකණය - සංකීර්ණ ක්‍රියාවලියකින් ලබා ගත හැකි පාඩම්“ ලෙස නම් කර තිබේ. 
මෙහිදී විශේෂයෙන්ම රටේ ජාත්‍යන්තර බැඳුම්කර පසු - ප්‍රතිසංස්කරණ මටට්මට පත්ව තිබෙන බවත්, ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් ස්වෛරීත්ව ණය මට්ටම් ලිහිල් කර තිබෙන බවත් එය පවසයි.  
මේ සමගම 2025 මාර්තු මාසය වනවිට භාණ්ඩාගාර බිල්පත් ඵලදාව සියයට 8.5ක මට්ටමකට අඩුව තිබෙන බවත්, රජයද ප්‍රතිමූල්‍යකරණ අවදානම් අවම කරමින්, වැඩි ණය ගැනීමක් සඳහා දිගුකාලීන       භාණ්ඩාගාර බැඳුම්කර වෙත වැඩි වශයෙන් යොමුව තිබෙන බවත් වාර්තාව පෙන්වා දෙයි. 
ඒ අනුව මෙම ණය මෙහෙයුම් දේශීය අතිරික්තය ලිහිල් කර ඇති අතර, ඒ සමගම බැංකු අර්බුදයක්ද වළක්වාලමින් පෞද්ගලික ණය නැවත වර්ධනය වීමට පටන් ගෙන තිබෙන බවත් එහි සඳහන්ව තිබේ. 
කෙසේ වෙතත් ණය අර්බුදයට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කිරීමට නම් ණය කළමනාකරණ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට සැලකිය යුතු උත්සාහයන් අවශ්‍යයි”‍ යනුවෙන් එම අරමුදල මෙහිදී අනතුරු අඟවා සිටියි. 
මේ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් දිගුකාලීන ස්ථාවරත්වයක් සුරක්ෂිත නොකරන බව මෙම වාර්තාවෙන් අවධාරණය කර තිබේ. ”‍වර්තමාන විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය අතරතුර සහ ඉන්පසුව අඛණ්ඩව විචක්ෂණශීලී මූල්‍ය හා සාර්ව ප්‍රතිපත්ති සහ ශක්තිමත් ආයතන අවශ්‍ය ‍වෙනවා. එය මඟහැර යාමට ඉඩක් නැහැ.’ යනුවෙන් එහි සඳහන් වෙයි. 
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත් වැදගත් අවස්ථා ලෙස පිළිගන්නා නමුත් තවදුරටත් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින බව පවසයි. ඒ අනුව විනයගරුක රාජ්‍ය ආයෝජන වැඩසටහනක්, විනිවිද පෙනෙන ප්‍රසම්පාදනයක් සහ නව ණය ගැනීම් පිළිබඳ දැඩි පිරිවැය-අවදානම් විශ්ලේෂණයක් ඊට ඇතුළත්ය. ‘ඕනෑම නව ණය ගිවිසුමක් අත්සන් කිරීමට පෙර සම්පූර්ණ පිරිවැය- අවදානම් විශ්ලේෂණයක් කිරීම තිරසාරභාවය ආරක්ෂා කිරීමට අනුකූලව ණය සේවාව සකස් කිරීමට බලධාරීන්ට උපකාරී වේවි.”‍ එහි සඳහන්ව තිබේ. 
මේ අතර ශ්‍රී ලංකාව මුහුණ දුන් ණය අර්බුදයට හේතුව දුර්වල රාජ්‍ය මූල්‍ය සහ බාහිර කම්පන බවද වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම 2019 වන විට, ශ්‍රී ලංකාවේ බදු ආදායම නැගී එන වෙළෙඳපොළවල් අතර අවම මට්ටමකට පහත වැටී තිබුණි.