අපි හිතන මට්ටමට බිස්නස් එකක් තාම ගොඩනැගිලා නැහැ


කලක පටන් බොහෝ පාරිභෝගිකයන් පිටකොටුවට පැමිණියේ රෙදිපිළි මිලදී ගැනීමටය. එහෙත් පසුකාලීනව එම තත්වය පසුබැස ගියේ නුගේගොඩ, වත්තල, කිරිබත්ගොඩ, පමුණුව හා ප්‍රාදේශීය වශයෙන් නිමි ඇඳුම් කඩ විවෘතවීමත් සමගය. එය කෙසේ වුවද තවමත් පිටකොටුවේ රෙදිපිළි වෙළෙඳාමට අගුල් දැමීමට හැකියාවක් ලැබී නැත. ඊට හේතු වී ඇත්තේ විවිධ ප්‍රදේශවලින් කොළඹ නගරයේ රැකියාවට පැමිණි පිරිස් ගම්දනව් වෙත යෑමට මත්තෙන් පිටකොටුව බස් නැවතුමට, එසේත් නැත්නම් කොටුව ඉස්ටේෂමට පැමිණීම නිසා නැදෑ හිතමිතුරන්ට අතේ ඇති මුදලට ඇඳුමක් මිලදී ගැනීමට හැකි වෙළෙඳපොළක් පිටකොටුවේ නිර්මාණය වී තිබීම නිසාවෙනි.
පිටකොටුවේ රෙදිපිළි වෙ‍ළෙඳාමේ දී තොග සහ සිල්ලර ලෙස පැහැදිලි බෙදීමක් තිබුණ ද රෙදිපිළි සිල්ලර වෙළෙඳාම වෙනත් නගරවලට බෙදී ගියත් තවමත් රෙදිපිළි තොග වෙළෙඳාම ඇත්තේ පිටකොටුවේ දෙවැනි හා තෙවැනි හරස් වීදිවලය.  
මේ දිනවල පිටකොටුව වෙළෙඳ නගරයේ වෙළෙඳාමේ තතු සොයා බැලීමට පිටකොටුවට ගිය ගමනේ දී අප ගොඩවැදුනේ දෙවැනි හරස් වීදියේ BENZER වෙළෙඳ ආයතනය වෙතටයි. එහි ව්‍යාපාරික මොහොමඩ් රිෆ්කාන් මේ දිනවල වෙළෙඳාම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.


මේ දිනවල බිස්නස් කොහොමද?
ගිය වසරට සාපේක්ෂව ගත්තොත් මේ වසරේ බිස්නස්වල වැඩිවීමක් තියෙනවා. රෙදිපිළි වෙළෙඳාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරනවා. එහෙත් අපි හිතන මට්ටමට බිස්නස් එකක් තාම ගොඩනැගිලා නැහැ. ඉදිරියේ දී බිස්නස්වල වැඩිවීමක් වෙයි කියලා හිතනවා.


බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
අපි වසර දෙකක කාලයක සිට මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. වෙළෙඳ සහයකයෝ හත්දෙනෙක් අප ආයතනයේ සේවය කරනවා. පිටරටින් ආනයනය කරන ලද අමුද්‍රව්‍ය තමයි අප ආයතනයේ තියෙන්නේ. තොග සහ සිල්ලර කියන දෙයංශයෙන්ම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා.
ගිය වසරත් එක්ක ගත්තහම අමු රෙදිවල මිල ගිය වසරට සාපේක්ෂව අඩුවීමක් තියෙනවා. පසුගිය වසරවල රුපියල් 500 ට  600 ට ගත්තු අමුරෙදි අද වෙද්දි අලෙවි කරන්නේ රුපියල් 300- 350 අතර මිල ගණන් යටතේ.
පාරිභෝගිකයෝ අතේ මුදල් තියෙනවා ද කියන සාධකයත් එක්ක තමයි බිස්නස් එක රඳා පැවැත්ම සිදුවන්නේ. පසුගිය වසරවල වගේ කන්න විතරයි පාරිභෝගිකයෝ අතේ සල්ලි තියෙන්නේ කියන කාරණයෙන් එහාට ගිහින් අද වෙද්දී පාරිභෝගිකයෝ අමතර මුදලක් යොදවලා අමුද්‍රව්‍ය මිලදී ගන්න උනන්දුවක් පෙන්නුම් කරනවා.
බිස්නස්වල දැන් දැන්  වර්ධනයක් තියෙනවා. ඉදිරියේ දී මේ තත්වයේ හොඳ මට්ටමක් නිර්මාණය වෙයි කියා පෙනෙන නිසා ඉදිරියේ දී එන නත්තල් සීසන් එක සහ නව වසර ඉලක්ක කරගනිමින් වෙළෙඳපොළට නව අමුද්‍රව්‍ය තොග මේ වන විට නිකුත් කරලා තියෙන්නේ.


මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා