අධ්‍යාපනය: ප්‍රායෝගික ඉදිරි දැක්මක අවශ්‍යතාව


සාරා කන්දෙගොඩ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අලලා සැලකිය යුතු අර්බුදයක් මතු වී තිබේ. ක්‍රමවේද වෙනස්කරන යෝජනා ඉදිරිපත්වන සෑම අවස්ථාවකම ගැටලු ඇතිවේ. පසුගිය දශක ගණනාව තුළ උත්සාහ කරන ලද එහෙත් සාක්ෂාත් කරගත නොහැකි වූ ප්‍රතිසංස්කරණ අතර අධ්‍යාපනය ද ඇත.

නිදහස්  අධ්‍යාපනය ඒ සඳහා වන රජයේ මැදිහත්වීම වෙනුවට නිදහසේ අධ්‍යාපනය ලබන ක්‍රමවේද ඇති කළ යුතුවේ. මූලික අධ්‍යාපනය අවසන් කරන දරුවන් එතැනින් ඉදිරියට ඉගෙනගත යුතු විෂය ගැන තීරණය කරනු ඇත. විෂයන් සකස් කරන ආණ්ඩුව ඒවා උගන්වන අතර අවසානයේ දී අවස්ථා අහිමිවන දරුවන්ට රජයේ රැකියා හැර වෙනත් මාර්ගයක් නැත. ආර්ථික ප්‍රවණතාවලට ගැළපෙන අධ්‍යාපනයක් ලැබීම සඳහා නිදහසක් අවශ්‍ය කෙරේ.

ප්‍රතිසංස්කරණ යෝජනා සම්බන්ධයෙන් මෙම ලිපියෙන් සාකච්ඡා නොකෙරේ. විෂය ප්‍රමාණ හෝ ඉතිහාසය අවශ්‍ය ද නැත් ද යන කාරණය විද්වතුන්ගේ සාකච්ඡා අවසානයේ දී තීරණයක් ගැනෙනු ඇත. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේද සම්බන්ධ මුලික ගැටලු තිබිය දී අවශේෂ කාරණා ගැන දැවැන්ත තර්ක ඉදිරිපත් කිරීම පලක් නැත. රජයේ මැදිහත්වීමෙන් පවත්වන පාසල් අංශය හා පෞද්ගලික අංශයේ සහභාගීත්වය යන පැති සලකා බැලීමෙන් පසුව පවා තුරන් කළ යුතු ක්‍රම විෂමතා හඳුනාගත හැකිවේ.

පැලැස්තර විසඳුම්වලින් රටට ලැබෙන අවාසි

රජයේ පාසල් සැලකිය යුතු ප්‍රමාණයක් වැසී යමින් තිබේ. නාගරික තෝරාගත් පාසල් පද්ධතිවලට ඇතුළුවීම සඳහා තියුණු තරගකාරීත්වයක් ඇත. ජනප්‍රිය පාසල්වලට ඇතුළත්වීම සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් තිබේ. පහළ බාලාංශයේ සිට ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වේ. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත්වීම සඳහා වෙනම සලකා බැලිය හැකි දැවැන්ත ටියුෂන් ආකෘතියක් ඇත. පසුගිය පෙබරවාරි මාසයේ වාහන ආනයනයට ඉඩ දීමෙන් පසු ගෙන්වන ලද වාහනවලින් මිල අධිකම වාහන වැඩිප්‍රමාණයක් උපකාරක පන්ති ගුරුවරුන් විසින් මිල දී ගෙන ඇති  බව ව්‍යාපාරික තොරතුරු අනාවරණය කරයි. පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව, පන්ති පවත්වන පැය ගණන හෝ උගන්වන ක්‍රමවේද ගැන පැහැදිලි නිර්නායක රහිත ටියුෂන් අධ්‍යාපනය සමාජය තුළට කාවැදී ඇති තරම හා එහි දැවැන්ත ආර්ථිකය එයින් වටහා ගත හැකිවේ.

විශ්ව විද්‍යාලයකට ඇතුළුවීම අරමුණු කරගෙන, පවතින අතිශය තියුණු රටාව අවබෝධ කරගත යුතුය. පෞද්ගලික අධ්‍යාපනයට එරෙහි මානසිකත්වයක් රට තුළ නොමැත. පෞද්ගලික උපකාරක පන්ති සංඛ්‍යාව හා එයට සහභාගීවන පිරිස ද විදේශීය විශ්ව විද්‍යාලවලට ඇතුළු වී ඉගෙනගැනීමට දැක්වෙන උනන්දුව ද එය තහවුරු කරයි. උසස් අධ්‍යාපනය හැදෑරීමට උනන්දුවක් දක්වන පිරිස බහුලය. එම අවශ්‍යතා සපුරාලිය හැකි සම්පත් නැත. රජයේ විශ්ව විද්‍යාල පද්ධතියේ උපාධිය ලබාගැනීමෙන් පසු ඵලදායී වෘත්තියක නියැලීමේ හැකියාව සහිත උපාධිධරයන් බිහි නොවීම ද ගැටලුවකි. රජයේ විශ්ව විද්‍යාලවල උපාධිධාරීහු අතරින් බහුතරයක් රැකියා ලබාදෙන ලෙස බලකරන විරෝධතාවල නිරතය. නියාමනයකින් තොර අධ්‍යාපන ආයතන පමණක් නොව අධික පිරිවැය සහිත විදේශීය අධ්‍යාපනය සඳහා ඇති දොරටු විවෘත වීම ද අහිතකර තත්වය බව සඳහන් කළ යුතුය.
මෙම මුලික ආකෘතිය පිළිගත් ක්‍රමයකට ඇතුළු කිරීම වෙනුවට අනෙක් උපායක් ඔස්සේ කරන කැළඹීම රටට හෝ ආර්ථිකයට පලක් නැත. මූලික අධ්‍යාපනය සඳහා පුළුල් අවස්ථා, ද්විතියික අධ්‍යාපනය වෙනුවෙන් පහසුකම් සහ තෘතීය අධ්‍යාපනය සඳහා විවෘත අවස්ථා ගොඩනැගීම හැර අනෙක් කාරණා මෙහි දී වැදගත් නැත.

සපුරාලනු නොලැබූ සැපයුම් අසමතුලිතතාව

2010 දී 125,284 ක් ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාලයට ඇතුළු වීම පිණිස අවශ්‍ය සුදුසුකම් සපුරා ගත්හ. එහෙත් මෙරට විශ්ව විද්‍යාලවලට ඇතුළුවීමේ අවස්ථාව ලැබුණේ එයින් 21,547 නොඑසේනම් සියයට 17.20 කට පමණි. වෙනත් ආකාරයකින් කිවහොත් සුදුසුකම් ලත් ශිෂ්‍යයන්ගෙන් සියයට 83 ක් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් වීමේ අවස්ථාව අහිමිවිය. 2021 වසරේ දී විශ්ව විද්‍යාල සුදුසුකම ලබා ඇති පිරිස 119,058 ක් වන අතර එම පිරිසෙන් සියයට 22.58 කට පමණක් ඇතුළු විය හැකි වී ඇත. වසර දහයකට පසු පවා සියයට හැත්තෑ අටක ප්‍රතිශතයකට දොරටු වැසෙන උසස් අධ්‍යාපන ක්‍රමවේදය රටට ගැළපෙන එකක් නොවේ. පාසල් කාලය වෙනස් කිරීම හෝ විෂයන් ගැන සාකච්ඡා කිරීමට වඩා පුළුල් අභ්‍යන්තරයක් මෙම බරපතළ  අසමතුලිතතාව තුළ තිබේ.

සෑම වසරකම උපාධිය සඳහා සුදුසුකම් ලබන ලක්ෂයකට අධික සංඛ්‍යාවකට නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ විසඳුමක්  නැත. උසස් පෙළ සමත් නොවන නමුත් පුරවැසියන් වශයෙන් අනාගතය සාක්ෂාත් කරගන්නට වෑයම් කරන තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ද අවස්ථාව ලබා දීමෙහි ලා ප්‍රමාණවත් ආයෝජනයකට වත්කම් රජය සතුව නොමැත.

වේගයෙන් වෙනස්වන ශ්‍රම වෙළෙඳපොළ පිළිබඳව මෙන් ම එයට සරිලන සේ අධ්‍යාපනය සකස් කිරීමෙන් රටට අත් කරගත හැකි වාසි පිළිබඳව ද නොතැකීම ද මෙහි අනෙක් පැත්තකි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඵලදායී නොවූ රැකියාවලට උපාධිධරයන් පත්කරන්නට පසුගිය ආණ්ඩුවලට සිදු වූයේය. එයින් සිදු වූයේ මූල්‍ය සම්පත් මෙන්ම මානව සම්පත් ද අපතේ යෑමය. මේ අනුව සීමිත බලන කල සීමිත උපාධිධරයන් පිරිසක් බිහිකිරීමත් ඔවුන්ට රජයේ රැකියා ලබා දීමත් පිණිස රාජ්‍ය ධනය වැය කරමින් තිබේ. අධ්‍යාපනය වෙනුවෙන් දරන පිරිවැයට සරිලන ප්‍රතිලාභ ආර්ථිකයට ලැබෙන්නේ නැත. 

ඉගෙන ගන්නා රාමුව තීරණය කිරීම වෙනුවට ඉගෙන ගත යුතු දේ තීරණය කිරීමට හැකි සමාජ වටපිටාවක් නිර්මාණය කළ යුතුය. සමාජයේ පහත මාලයට බැස දරුවන් ඉගෙන ගන්නා ආකාරය සොයාබැලීම වැදගත්ය. අතිරේක පන්ති, එම ක්‍රියාවලිය සඳහා වැය කරන මුදල, රාජකාරිය හා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය පසෙක තබා දරුවන් එහා මෙහා ගෙන යන මවුපියන්ගේ කාර්යභාරය සහ අධ්‍යාපන රටාව සමග වෙනස්ම මගක් ගෙන ඇති දරුවන්ගේ ආහාර රටා හෝ පෝෂණය ගැනත් හිතන්නට හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට වැඩදායකය.

අධ්‍යාපනය සඳහා දරුවන් නොදන්නා රටවලට

විදේශ විශ්ව විද්‍යාල සමඟ සහයෝගීව උපාධි ප්‍රදානය කරන දේශීය පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් රට තුළ තිබේ. ඉගෙන ගැනීම අරමුණු කරගෙන ඇතැම් ශිෂ්‍යයන් විදේශ රටවල් වෙත නික්ම යන ප්‍රමාණය ද විශාලය. ශ්‍රී ලංකාවේ තරම් දියුණු මට්ටමේ අධ්‍යාපන පහසුකම් රහිත බංග්ලාදේශය, නේපාලය, පකිස්තානය සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ  වෙත පවා අධ්‍යාපනය සඳහා ශිෂ්‍යයෝ පිටත්ව යන බව සඳහන් කළ හැකිය. තවත් ඇතැම්හු මෙරට තුළ දී පහසුවෙන් ලබාගත හැකිව පවත්නා වෛද්‍ය, ඉංජිනේරු වැනි අංශ මෙන්ම ව්‍යාපාර හා කෘෂිකර්මය වැනි විෂයන් හැදෑරීම පිණිස ද චීන, රුසියා සහ ජපන් වැනි විදේශීය භාෂා ඉගෙන ගනිති. මේ හේතුව නිසා ශිෂ්‍යයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට ද අනවශ්‍ය වියදමක් මෙන්ම කාලයක් ද කැප කරන්නට සිදුව තිබේ. එය අද මෙරට මධ්‍යම පාන්තික පවුල් මුහුණ පා ඇති විශේෂිත ගැටලුවකි.

ධනවත් යැයි සම්මත සමාජ කොට්ඨාසය පමණක් විදේශීය තෘතීය අධ්‍යාපනය සඳහා දරුවන් යොමු කරන්නේ නොවේ. විදේශීය අධ්‍යාපනයෙන් දරුවන්ගේ ජීවන මට්ටම ඉහළ නංවාලීමේ බලාපොරොත්තුව ඇති මධ්‍යම පාන්තික පවුල් ද එහි ලා නැඹුරු වෙති. ඔවුන්ගේ වත්කම් විකිණීමෙහි පමණක් නොව විශාල වශයෙන් ණය ගැනීමෙන් ද මෙම කාර්ය සාක්ෂාත් කර ගැනීමට වෑයම් කරති. උසස් අධ්‍යාපනයෙන් පසු පමණක් නොව සාමාන්‍ය පෙළ සමත්ව අනතරුව කරන පදනම් පාඨමාලාවකින් පසු පවා විදේශ අධ්‍යාපනයට වෑයම් කිරීම සාමාන්‍ය තත්වයක් බවට පත්වන ලකුණු පෙනේ. මේ හේතුව නිසා අනවශ්‍ය වියදමක් දැරීමට මෙම පවුල්වලට සිදු වෙයි.

පාඨමාලා ගාස්තු ගෙවමින්, පිටරටක නතර වී සිටීම පිණිස දැරෙන විදේශ විනිමය රටින් බැහැර වීම ද පවතින අධ්‍යාපන විෂමතාවල එක කොටසකි. අධ්‍යාපන අවස්ථා වැඩි කිරීම සහ පුද්ගලික අධ්‍යාපනයට සාධාරණ ලෙස ඉඩදීමෙන් විදේශ විනිමය ඉතිරි කරගැනීමේ හැකියාව ලැබේ. අමතරව මෙරට විදේශ ගතවන දරුවන්ගෙන් බහුතරයක් ආපසු පැමිණෙන්නේ නැත. රටට අවශ්‍යම බුද්ධිමත් සහ මහත් වෑයමකින් යමක් කරන්නට උත්සාහ දරන පිරිස රටට අහිමිවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විෂය ධාරා සම්බන්ධ තීරණ ගැනීමෙන් පමණක් බුද්ධිගලනයේ නූතන, සංකීර්ණ ස්වභාවයට සැපැයිය හැකි විසඳුම කුමක්ද? 

ඉගෙන ගත යුතු විෂය සහ ආණ්ඩුවට පාඩමක්

අධ්‍යාපන ප්‍රතිසංස්සකරණවල දී සලකා බැලිය යුතු සංස්කෘතික වටපිටාවක් ද ඇත. තරුණ පිරිස් විදේශීය රටවල තෘතීය අධ්‍යාපනය සඳහා යාමෙන් නිර්මාණය වන්නා වූ සමාජ සංකීර්ණතා ද ආණ්ඩුව සලකා බැලිය යුතුය. ඉගෙන ගැනීමට යන පිරිස් දරුවන් විදේශයන් හි පදිංචිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මධ්‍යම පන්තියේ පවුලක ස්වභාවය වෙනස් වේ. වියපත් මවුපියන් අපේක්ෂා කරන පිළිසරණ අහිමිවේ. එය තුළින් පවුල් සංස්ථාවක සමාජ වටිනාකම් පළුදු වී යයි. ආපසු මෙරටට පැමිණෙන ඇතැම් පිරිස් පවා සමාජ වටිනාකම් හා සංස්කෘතික බැඳීම් පිළිබඳව වැඩිදුර තකන්නේ නැති පිරිසක් බවට පත්වෙති. ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව හැසිරෙන ආකාරය එයට සාක්ෂියකි.

යල් පැන ගිය මතවාද මත පදනම්ව ක්‍රියා කිරීම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නොගැළපෙන ප්‍රතිසංස්කරණ කිසිසේත් නොකළ යුත්තකි. අධ්‍යාපන වෙනස්කම් සමග අරමුණු හා ඉලක්ක ප්‍රකාශයට පත් විය යුතුව තිබේ. ජාත්‍යන්තර වශයෙන් තරගකාරී විය යුතු ආර්ථිකයකට අවශ්‍යතා මත පදනම්ව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසිය යුතුය. පසුගිය දශකය තුළ අධ්‍යාපනය ලබන අංශ හා ඉගෙන ගන්නා ක්‍රමවේදවල විශාල වෙනස්කම් සිදු වී තිබේ. තාක්ෂණය සඳහා නැඹුරු වී ඇති  බව පෙනේ. ඇතැම් විෂයන් ඉගැන්විය යුතු නැති අතර ඒවා අහෝසිවන බව පුරෝකථනය වී ඇත. අනෙක් අතට සියලුම දේ ඉගෙන ගැනීම අනවශ්‍යය. අන්තර් ජාලය හා සෙවුම් යන්ත්‍ර මගින් මගහැරුණු ඇතැම් අධ්‍යාපන කොටස් නැවත නැවතත් අධ්‍යයනය කළ හැකි පරිදි පදනමක් වී තිබේ. අධ්‍යාපනය නිදහස්ව ලබා ගැනීමට හැකි වටපිටාවක් තුළ තරගකාරී ව පවත්වාගෙන යන ප්‍රතිපත්ති අවශ්‍යය. සුදුසු පරිදි විෂයමාලා සංශෝධනය කිරීමත් සියලු විශ්ව විද්‍යාල නියාමනය කර රටට වැඩදායක අන්දමින් පවත්වාගෙන යාමට අවශ්‍ය බලගතු නීති සම්පාදනය රජයේ වගකීමකි. එහෙත් ඒවා සංශෝධනයට කලින් හිඩැස් ගැන සාකච්ඡාවක් තිබිය යුතුය. දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් විදේශීය විශ්ව විද්‍යාල සමග බද්ධ වී ක්‍රියාකර නිරීක්ෂණ සපයාගත යුතුව තිබේ.

ඉගෙන ගන්නා රාමුව තීරණය කිරීම වෙනුවට ඉගෙන ගත යුතු දේ තීරණය කිරීමට හැකි සමාජ වටපිටාවක් නිර්මාණය කළ යුතුය. සමාජයේ පහත මාලයට බැස දරුවන් ඉගෙන ගන්නා ආකාරය සොයාබැලීම වැදගත්ය. අතිරේක පන්ති, එම ක්‍රියාවලිය සඳහා වැය කරන මුදල, රාජකාරිය හා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය පසෙක තබා දරුවන් එහා මෙහා ගෙන යන මවුපියන් ගේ කාර්ය භාරය සහ අධ්‍යාපන රටාව සමග වෙනස්ම මගක් ගෙන ඇති දරුවන්ගේ ආහාර රටා හෝ පෝෂණය ගැනත් හිතන්නට හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට වැඩදායකය.