වසරේ මුල් මාස අටේදී ඇඟලුම් අපනයනයේ සියයට 7.48ක වර්ධනයක්
මේ වසරේ අගෝස්තු මාසයේ දී මෙරට ඇඟලුම් අපනයනයේ ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 479.14ක් ලෙස සටහන්ව තිබෙන බවත්, එය පෙර වසරේ අගෝස්තු මාසයේ ආදායම හා සැසඳීමේදී සියයට 1.33ක අඩුවීමක් බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.
ඔවුන් පෙන්වා දෙන ආකාරයට පෙර වසරේ අගෝස්තු මාසය හා සැසඳීමේදී එක්සත් ජනපදයට කළ ඇඟලුම් අපනයනයේ වටිනාකම සියයට 0.92 කින් ඉහළ ගොස් ඇති අතර, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වෙත කළ ඇගලුම් අපනයනවල වටිනාකම සියයට 4.83 කින් සහ සියයට 2.6 කින් පහත වැටී තිබේ.
කෙසේ වෙතත් මේ වසරේ මුල් මාස අටේදී ඇඟලුම් අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවද එම සංසදය පෙන්වා දෙයි. ඒ අනුව එම කාලසීමාවේ දී එම ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 3.39ක් වන අතර එය පෙර වසරේ එම කාලසීමාවේදී රැස් කරගත් ඩොලර් බිලියන 3.16 සැසඳීමේදී සියයට 7.48ක වර්ධනයකි.
මෙම ආදායම් වර්ධනය සඳහා යුරෝපා සංගමයෙන් (බ්‍රිතාන්‍ය හැර) ලැබුණු ඇඟලුම් ඉල්ලුමේ පෙන්නුම් කළ කැපී පෙනෙන සියයට 14.66ක වර්ධනය හේතු වී තිබේ. එසේම එක්සත් ජනපදය වෙතින් සියයට 2.58ක සහ එක්සත් රාජධානියෙන් සියයට 4.54ක වර්ධනයක් මෙන්ම වෙනත් වෙළෙඳපොළෙන් සියයට 9.45ක ඉල්ලුමක්ද ලැබී තිබේ.