Visa සහ HNB එක්ව ලොව පළමුවරට Visa Accept ශ්‍රී ලංකාවේදී හඳුන්වා දෙයි


භානුක අමරසිංහ 


Visa සමාගම හැටන් නැෂනල් බැංකුව (HNB) සමගින් එක්ව Visa Accept  විසඳුම ශ්‍රී ලංකාවට හඳුන්වාදීම ඊයේ (23දා) කොළඹදී සිදු විය. ඒ අනුව ගෝලීය වශයෙන් මෙම විසඳුම හඳුන්වාදුන් පළමු අවස්ථාව ලෙසින්ද මෙය සැලකෙයි. Visa හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකාරිණී අවන්ති කොළඹගේ සහ හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ දමිත් පල්ලෙවත්ත යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබුණි.
විශේෂයෙන්ම රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමේ රජයේ උත්සාහයට ලබා දෙන දායකත්වයක් ලෙස මෙලෙස Visa Accept  ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව  Visa  පවසයි. එහිදී ආර්ථිකයේ මූලික පදනම වන ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් ඩිජිටල් ගනුදෙනුවලින් සවිබල ගැන්වීම මෙම හඳුන්වාදීමේ අරමුණ වී තිබේ.
“Visa Accept  විසඳුම හරහා ඩිජිටල් වාණිජ පද්ධතිවලින් බැහැරව සිටින ක්ෂුද්‍ර සහ සුළු පරිමාණ ව්‍යවසායකයන් ඩිජිටල් පරිසර පද්ධතියට බාධාවකින් තොරව සම්බන්ධ කිරිමෙන් මූල්‍ය අන්තර්ග්‍රහණය ප්‍රවර්ධනය කරනවා. එහිදී විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායිකාවන්ට සහ නිවෙස් පාදක කරගත් ව්‍යාපාර පුළුල් කරගැනීම සඳහා ආරක්ෂිත සහ පහසු මාර්ගයක් විවර කර දෙනවා.“ යනුවෙන් Visa පවසයි.
මෙම Visa Accept  විසඳුම භාවිත කිරීම මගින් වෙළෙඳ ගිණුමක් විවෘත කිරිම සඳහා මෙන්ම කාඩ් පත් ගෙවීම් සඳහා අවශ්‍ය මිල අධික POS යන්ත්‍ර මිලදී ගැනීම නිසා ඇති වන බාධා ඉවත් වන බව HNB බැංකුව පවසයි. ඒ අනුව ඕනෑම Visa debit හෝ Visa prepaid  කාඩ්පත් හිමියකුට, තම ජංගම දුරකතනය පමණක් භාවිත කරමින් HNB හි ජංගම බැංකුකරණ යෙදවුම හරහා තම ගිණුම ක්ෂණිකව විකිණුම් පැතිකඩක් බවට පත් කරගැනීමට හැකියාව ලැබෙන බවත් බැංකුව සඳහන් කරයි. ඒ අනුව ගනුදෙනුකරුවන්ට ජංගම දුරකතනයක් හරහා Tap to phone හෝ Pay by link  ඔස්සේ ගෙවීම් කළ හැකිය.

ඡායාරූපය - ඉන්දික හඳුවල