Triumph නිෂ්පාදන ලංකාව හැර යයි?


භානුක අමරසිංහ 

දශක ගණනක් පුරා මෙරට වඩාත් ජනප්‍රිය කාන්තා යටඇඳුම් සන්නාමයක් වූ Triumph නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම නවත්වා ඇතැයි වාර්තා වෙයි. අද වනවිට මෙරට අලෙවි සැල් කිහිපයකම ඇත්තේ දැනට වසර කිහිපයකට පෙරාතුව මෙරටට ආනයනය කරන ලද  Triumph නිෂ්පාදන බව එම අලෙවිසැල්වලින් කළ විමසීමකදී  සඳහන් කෙරිණි.  

ජාත්‍යන්තර සන්නාමයක් වන Triumph නිෂ්පාදන ඉන්දියාවේ Triumph International India  සමාගම හරහා මෙරටට ආනයනය කෙරිණි. කෙසේ වෙතත් රජය පැනවූ සීමා හේතුවෙන් සිය ව්‍යාපාරික මෙහෙයුම් නැවැත්වීමට  සිදුව තිබෙන බව Triumph  හි මෙරට නියෝජිතයා වූ  Triumph International Lanka සමාගම 2021 වසරේ දී පවසා තිබුණි.
අද වනවිට මෙම නියෝජිත සමාගමද ක්‍රියාත්මක නොවන අතර, ඊට සම්බන්ධ සේවකයකු LankadeepaFT  වෙත අදහස් දැක්වීමක් කරමින්, දැනට මාස හයකට පමණ පෙරාතුව ඉන්දියානු සමාගම ගත් තීරණයකට අනුව ශ්‍රී ලංකාව තුළ Triumph ව්‍යාපාරය අත්හිටුවීමට තීරණය කළ බව පවසා සිටියේය.  

එහිදී මෙරට සේවය කළ සේවකයන්ට වන්දි ගෙවීමක්ද සිදු කර තිබේ. එසේම Triumph International Lanka  සමගින් කටයුතු කළ බොහෝ අලෙවි නියෝජිතවරුන්ද මේ වනවිට වෙනත් කාන්තා යට ඇඳුම් සන්නාම සමගින් එක්ව සිටින බවත් පැවසෙයි.  

මේ අතර ශ්‍රී ලංකාවේ Triumph සමාගම මෙම වසරේ පෙබරවාරි මාසයේදී බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවැත්වූ දැවැන්ත තොග අවසන් කිරීමේ අලෙවි සැලකදීද ගැටලු‍කාරී තත්වයක් මතු වූ බව මාධ්‍ය වාර්තා සඳහන් කෙරිණි.