Suzuki රථ වාහනවලට දීර්ඝකාලීන වගකීම් සහතිකයක් හඳුන්වා දීමට AMW සහ Orient Insurance අත්වැල් බැඳ ගනී



ශ්‍රී ලංකාවේ Suzuki රථ වාහන හිමිකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන වගකීම් සහතිකයක්  හඳුන්වා දෙමින්, අලෙවියෙන් පසු සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට Associated Motorways (AMW) සමාගම Orient Insurance සමාගම සමග උපායමාර්ගික සහයෝගීතාවකට එළැඹ තිබේ.

අවබෝධතා ගිවිසුමක් මගින් නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම සහයෝගීතාව AMW සමාගම වෙතින් Suzuki රථ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට දීර්ඝ කළ වගකීම් සහතිකයක ප්‍රතිලාභ භුක්ති විඳීමට අවස්ථාව සලසයි. ඒ අනුව, 2026 මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙතෙක් පැවති වසර 3 ක හෝ කිලෝමීටර් 100,000 ක නිෂ්පාදකයාගේ සම්මත වගකීම් කාලය වසර 5 ක් හෝ කිලෝමීටර් 150,000 ක් දක්වා දීර්ඝ කෙරෙන අතර එමගින් පාරිභෝගිකයන්ට දිගුකාලීන හිමිකාරිත්වය පිළිබඳ විශ්වාසයක් ද හිමි වේ.

මෙම නව පියවර හේතුවෙන් පාරිභෝගික අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීමට සහ Suzuki සන්නාමය වෙනුවෙන් පවතින විශ්වාසය ශක්තිමත් කිරීමට දෙපාර්ශවයේම පවතින පොදු කැපවීම මනාව පිළිබිඹු වේ. මෝටර් රථ බෙදාහැරීමේ සහ අලෙවියෙන් පසු සේවා සැපයීමේ AMW සමාගම සතු ප්‍රවීණත්වයත්, අවදානම් කළමනාකරණය සහ රක්ෂණ විසඳුම් සම්බන්ධයෙන් Orient Insurance සතු හැකියාව සහ පළපුරුද්දත් එකතු කරමින් වඩාත් පුළුල් වූ සහ සුරක්ෂිත රථ වාහන හිමිකාරිත්වයක් වෙළෙඳපොළට හඳුන්වා දීමට මෙම සහයෝගීතාවෙන් අවස්ථාව උදාකර දෙයි. 

AMW සමාගම සහ Orient Insurance යන සමාගම් දෙකම ගෝලීය වශයෙන් විවිධාංගීකරණය වූ  Al-Futtaim සමූහ ව්‍යාපාරයට අයත් වේ. එමගින් මෝටර් රථ සහ මූල්‍ය සේවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරමින් ලාංකීය පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමකින් යුතු සේවා සැපයීමට එම සමාගම්වලට හැකියාව ලැබී ඇත.

මෙම ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාව සඳහා AMW  සමාගම වෙනුවෙන් කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ්, විකුණුම් අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා, අලෙවියෙන් පසු සේවා අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න, සැලසුම් සහ නිෂ්පාදන සාමාන්‍යාධිකාරී සහන් ජයවර්ණ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් සහභාගී වූහ. Orient Insurance සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තනුජ් එඩ්වඩ් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම දීර්ඝකාලීන වගකීම් වැඩසටහන මගින් Suzuki මනස රථ වාහන කෙරෙහි පාරිභෝගිකයන් තුළ පවතින විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, වර්ධනය වෙමින් පවතින තරගකාරී වෙළෙඳපොළක් තුළ සුවිශේෂී වූ සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ප්‍රවාහන විසඳුම් ලබාදීම සඳහා AMW සමාගම අනුගමනය කරන පුළුල් උපායමාර්ගික වැඩපිළිවෙළට ද මෙයින් විශාල සහයෝගයක් ලැබේ.