SVAT අහෝසියෙන් දරුණු හා දුරදිග යන ප්‍රතිවිපාක - කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය


රටපුරා සිටින රබර් කර්මාන්තයේ නියැලෙන්නන්ට මූල්‍යමය වශයෙන් සැලකිය යුතු හානියක්

රබර් කර්මාන්තකරුවන්ට රුපියල් බිලියන ගණනක් වැට් බදු ලෙස කලින් ගෙවීමට සිදුවන තත්වයක්

අමු රබර් මිලදී ගැනීම ප්‍රමාද වී රබර් කිරි මිලද පහළ වැටීමේ අවදානමක්

රැකියා අවස්ථා නැතිවී රබර් ආර්ථිකයේ පිටකොන්ද විනාශ වීමේ අවදානමක්


විමුක්ති එස්. රුද්‍රිගු


සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය (SVAT) අනිද්දා (01) සිට අහෝසි කිරීමට රජය ගත් තීරණය දරුණු හා දුරදිග යන ප්‍රතිවිපාක ගෙනදෙනු ඇතැයි කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය පසුගියදා අනතුරු ඇඟවූවේය.

පරීක්ෂා කළ සහ දැනට මෙහෙයුම් තත්වයේ පවතින නැවත ගෙවීමේ ක්‍රමවේදයක් නොමැතිව එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීමෙන් රටපුරා සිටින රබර් කර්මාන්තයේ නියැලෙන්නන්ට ඉන් මූල්‍යමය වශයෙන් සැලකිය යුතු හානියක් සිදු කරනු ඇතැයි කොළඹ රබර් වෙෙළඳුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ රබර් අංශය දස දහස් ගණනක් කුඩා රබර් වතු හිමියන්ට සහාය වන බවත්, සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීමෙන් රබර් කර්මාන්තකරුවන්ට රුපියල් බිලියන ගණනක් වැට් බදු ලෙස ගෙවීමට සිදුවනු ඇති බවත් කොළඹ රබර් වෙෙළඳුන්ගේ සංගමය පැවැසුවේය.

එමගින් අමු රබර් මිලදී ගැනීම ප්‍රමාද වනු ඇති බවත්, ඒ හේතුවෙන් රබර් කිරි මිලද පහළ වැටෙනු ඇති බවත් එම සංගමය ප්‍රකාශ කළේය.

රබර් කර්මාන්තකරුවන්ට රුපියල් බිලියන ගණනක් වැට් බදු ලෙස ගෙවීම දරාගත නොහැකි බවත්, එසේ වුවහොත් එය බොහෝ කර්මාන්තකරුවන්ගේ අවසානය වනු ඇති බවත් කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය පැවැසුවේය. රබර් කර්මාන්තය දශක ගණනාවක් තිස්සේ ලබාගත් ප්‍රගතිය ඉන් අපතේ යනු ඇති බවත්, එමගින් රැකියා අවස්ථා නැතිවී රබර් ආර්ථිකයේ පිටකොන්ද විනාශ වී යනු ඇති බවත් එම සංගමය ප්‍රකාශ කළේය.

කුඩා රබර් කර්මාන්තකරුවන්ගේ ජීවනෝපායට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ශක්‍යතාවයට, අපනයන තරඟකාරිත්වයට සහ මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට අත්‍යාවශ්‍ය විදේශ විනිමය ගලා ඒම්වලට පරීක්ෂා කළ, දැනට මෙහෙයුම් තත්වයේ පවතින නැවත ගෙවීමේ ක්‍රමවේදයක් නොමැතිව එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීමෙන් දැඩි තර්ජනයක් එල්ලවනු ඇතැයි කොළඹ රබර් වෙෙළඳුන්ගේ සංගමය එම නිවේදනය මගින් අනතුරු ඇඟවූවේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දින 45ක් ඇතුළත වැට් බදු ආපසු ගෙවීමට පොරොන්දු වී ඇතත්, නැවත ගෙවීමේ පද්ධතියේ සූදානම පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් තම සංගමයට නොමැති බව කොළඹ රබර් වෙෙළඳුන්ගේ සංගමය පැවැසුවේය. බොහෝ රබර් කර්මාන්තකරුවන්ට දින 45 ක කාලයක් මුදල් හිරකර තැබීමට නොහැකි බවද එම සංගමය ප්‍රකාශ කළේය.