Melwa වෙතින් අග්නිදිග විශ්ව විද්‍යාලයට විද්‍යාගාර උපකරණ පරිත්‍යාගයක්



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමාගම අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට විද්‍යාගාර උපාංග කට්ටලයක් පරිත්‍යාග කරයි. ඉංජිනේරු අධ්‍යාපනය සහ ප්‍රයෝගික පුහුණුව වඩාත් ශක්තිමත් කිරීම එම ව්‍යාපෘතියේ අරමුණයි. පසුගියදා භාර දුන් එම උපාංග කට්ටලයට Bar Bending යන්ත්‍රයක් (මිලිමීටර් 8-40), කිරුම් තරාදි තුනක්, Vernier Caliper යන්ත්‍ර 6ක් (මිලිමීටර් 150-300) සහ Steel Tape පහක් (මීටර් 5) ඇතුළත් වේ. සිවිල් ඉංජිනේරු අංශය වෙත අදාළ උපාංග භාර දීමේ අවස්ථාවට අංශ ප්‍රධානී කථිකාචාර්යවරුන්, තාක්ෂණික කාර්ය මණ්ඩලය, Melwa සමාගමේ නැගෙනහිර පළාත් නියෝජිතයන් සහ අනෙකුත් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

විශ්ව විද්‍යාල නිලධාරීන් සඳහන් කළේ අදාළ උපාංග සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉතා වැදගත් බවයි. එම උපාංග භාවිතයෙන් සිවිල් ඉංජිනේරුකරණයට අදාළ ප්‍රයෝගික දැනුම ලැබීමට හැකි වනු ඇති බව ඔවුහු සඳහන් කළහ. Melwa සමාගම සඳහන් කළේ එම වැඩසටහන උසස් අධ්‍යාපන සහ වෘත්තීය සංවර්ධන ක්ෂේත්‍ර ඉලක්ක කර ගත් ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිවලින් එකක් බවයි. ඉදිරියේදීත් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සමග මෙවැනි වැඩසටහන් හරහා සම්බන්ධ වෙමින් පන්ති කාමර ඉගැන්වීම් සහ කර්මාන්ත අවශ්‍යතා අතර ඇති හිඩැස පිරවීමට බලාපොරොත්තු වන බවද Melwa සමාගම පැවසීය. 

2002 දී ආරම්භ වූ Melwa සමාගම වර්තමානයේදී අංශ රැසක් පුරා විහිදී යන සේ ව්‍යාපාර කටයුතු පුළුල් කර තිබේ. මෙරට විශාලම වානේ නිෂ්පාදකයා වන ඔවුන් රී බාර්, ෆ්ලැට් අයන්, ඈන්ගල් අයන්, වයර් රොඩ්, ගැල්වනයිස් කළ හොලෝ සහ පයිප්ප, පර්ලින්, වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්, ටවර් බෝල්ට්, තඹ කම්බි ඇතුළු බොහෝ දෑ නිෂ්පාදනය කරයි. පුරා ඉදි කිරීම් සහ වෙනත් ඒ ආශ්‍රිත කර්මාන්ත අවශ්‍යතා සඳහා එම නිෂ්පාදන යොදා ගැනේ. නිෂ්පාදන කටයුතුවලට අමතරව එම සමාගම වෙල්ඩින් ක්ෂේත්‍රයේ ප්‍රමිති සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීමේ වැඩසටහන් රැසක් දියත් කර ඇත. වෙල්ඩින් ශිල්පීන්ට ජාතික වෘත්තීය පුහුණු අධිකාරියෙන් NVQ වෘත්තීය සුදුසුකම ලැබීමට අනුග්‍රහය දැක්වීම, ආරක්‍ෂිත උපාංග සැපයීම සහ ගැල්වනයිස් කළ යකඩ පයිප්ප, බොක්ස් බාර් හා අනෙකුත් උපාංග නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳව වැඩමුළු පැවැත්වීම ඒ අතරින් කිහිපයකි.