LOLC ෆිනෑන්ස් ශක්තිමත් වර්ධනය සමග වෙළෙඳපොළ නායකත්වය තහවුරු කරයි


සමස්ත ණය කළඹ රුපියල් බිලියන 423 ඉක්මවයි
■මුළු වත්කම් රුපියල් බිලියන 559 දක්වා ළඟා වෙයි
■බදුවලට පසු ලාබය රුපියල් බිලියන 27 ඉක්මවයි
LOLC සමුහයේ ප්‍රධානතම මූල්‍ය සමාගම සහ ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLC  ෆිනෑන්ස් පීඑල්සී, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරිත්වයක් වාර්තා කර තිබේ. ඊට ශක්තිමත් ණය වර්ධනය, ශක්තිමත් ප්‍රත්‍යාවර්තී ආදායම්, වැඩිදියුණු වූ වත්කම් ගුණාත්මකභාවය සහ නියාමන අවශ්‍යතා ඉක්මවන ප්‍රාග්ධන සංචිතයකින් සහය ලැබී ඇත.
සමාගම වර්තමාන මුල්‍ය වසර සඳහා පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 25 කට සාපේක්ෂව රුපියල් බිලියන 27.4 ක බදුවලට පසු ලාබයක් වාර්තා කළ අතර, එය ආසන්න වශයෙන් සියයට 9 ක වර්ධනයක් නියෝජනය කරයි. එහෙත් මතුපිටින් දිස්වන මට්ටමේ මෙම සංසන්දනය සමාගමේ මූලික කාර්ය සාධනයේ වැඩිදියුණු වීම මුළුමනින් පිළිඹිබු නොකරයි.


පෙර වසරේ ලාබයට ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධ අගය අඩුවීමේ ප්‍රතිසාධන හරහා එක්වර ලැබුණු සැලකිය යුතු ලාබ ඇතුළත් වූ අතර, ඒවා ගිණුම්ගත කිරීමෙන් ඉවත් කිරීමේ අලාභයෙන් අර්ධ වශයෙන් අඩු විය. ශුද්ධ පදනම මත සැලකූ විට මෙම එක්වරක් පමණක් ලැබෙන අයිතම පෙර වසරේ ප්‍රතිඵලයට ආසන්න වශයෙන් රුපියල් බිලියන 4 ක් එක් කර තිබේ. ඒ අනුව සැකසීමෙන් අනතුරුව, පෙර වසරේ මූලික ලාබ පදනම රුපියල් බිලියන 21 ට ආසන්න වෙයි. එම සකස් කළ පදනමට සාපේක්ෂව, වත්මන් වසරේ රුපියල් බිලියන 27 ක ලාබය සියයට 30 කට ආසන්න මූලික ලාබ වර්ධනයක් පෙන්නුම් කරයි.
මෙය සංඛ්‍යාත්මක ජයග්‍රහණ පසුපස ඇති වඩා වැදගත් පණිවුඩය වන්නේ LOLC ෆිනෑන්ස් ලාබදායීතාව රැකගැනීම පමණක් නොව, යථා තත්වයට පත්වන ආර්ථික පරිසරයක එය සැලකිය යුතු ලෙස වර්ධනය කරලීමයි. ඒ සමගම සමාගම සිය නිරන්තර ආදායම් පදනම සැලකිය යුතු ලෙස පුළුල් කරමින්  ශේෂ පත්‍රය වර්ධනය කළ අතර, ප්‍රධාන ණය ගුණාත්මක දර්ශක වැඩිදියුණු කළේය.
මෙම වැඩිදියුණු වීමට මූලික ආදායම ප්‍රධාන වශයෙන් හේතුවිය. පොලී ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 79 දක්වා ඉහළ ගිය අතර, ණය කලඹ ශක්තිමත් ලෙස ව්‍යාප්ත වීම ඊට සහයක් විය. පොලී වියදම් මන්දගාමී ලෙස ඉහළ ගොස් රුපියල් බිලියන 29 කට ආසන්න වෙද්දී , ශුද්ධ පොලී ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 50 දක්වා වර්ධනය විය. ණය කළඹ ව්‍යාප්ත කරන අතරම අරමුදල් පිරිවැය පාලනය කිරීමට සමාගම සතු හැකියාව මෙමගින් පෙන්නුම් කෙරේ.
ඉහළ ව්‍යාපාරික පරිමාණ සහ පුළුල් පාරිභෝගික ක්‍රියාකාරකම් පිළිබිඹු කරමින් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායමද රුපියල් බිලියන 3 දක්වා වැඩි විය. පෙර වසරේ ලැබුණු ස්වෛරීත්ව බැඳුම්කර හා සම්බන්ධ විශාල ලාබ නොමැතිව වුවද. සමස්ත මෙහෙයුම් ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 56 දක්වා වර්ධනය වී තිබේ. මෙම වෙනස එක්වර හිමිවන ලාබවලින්, නිරන්තර මෙහෙයුම් ආදායම වෙත පැහැදිලි පරිවර්තනයක් පෙන්වයි. එය ලාබ ගුණාත්මකභාවය අතින් ධනාත්මක ප්‍රවණතාවකි.
ශේෂ පත්‍රයේ වර්ධනයද සමාන වැදගත්කමකින් යුක්ත වේ. වසර තුළ මුළු වත්කම් ආසන්න වශයෙන් රුපියල් බිලියන 129 කින් වර්ධනය වී 2026 මාර්තු 31 වන විට රුපියල් බිලියන 559 කට ආසන්න විය. මෙම ව්‍යාප්තියේ ප්‍රධාන සාධකය වූයේ ණය කළඹයි. මුළු ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 305 සිට රුපියල් බිලියන 423 දක්වා වැඩි වූ අතර, එය ආසන්න වශයෙන් සියයට 39 ක වර්ධනයක් පිළිඹිබු කරයි.
මෙම වර්ධන මට්ටම එහි පුළුල් පරිමාණය නිසා පමණක් නොව, විවිධ කාණ්ඩ හරහා පැතිරී තිබීම නිසාද වැදගත් වේ. ලීසිං, රන් ණය, ස්පීඩ් ඩ්‍රාෆ්ට්, විකල්ප මූල්‍ය, පුද්ගලික ණය සහ කාලීන ණය වැනි ප්‍රධාන ණය අංශ හරහා මෙම වර්ධනය වාර්තා විය. ණය සඳහාවූ පාරිභෝගික ඉල්ලු‍ම එකම අංශයකට කේන්ද්‍රගත නොවී පුළුල් ලෙස යථා තත්වයට පත්වීමක් මෙමගින් පෙන්නුම් කරයි.
ඉතිහාසගතවම  LOLC ෆිනෑන්ස් හි මූලික මෙහෙයුම් කාණ්ඩයක් වන ලීසිං, තවදුරටත් ණය කළඹට  වැදගත් දායකත්වයක් දක්වයි. රන් ණය ද ශක්තිමත් වර්ධනයක් වාර්තා කළ අතර, කෙටි කාලීන ආරක්ෂිත ණය සඳහා ඉල්ලු‍ම ඊට සහයක් විය. විකල්ප මූල්‍ය, පුද්ගලික ණය සහ කාලීන ණය වර්ධනය සමාගමේ පාරිභෝගික පදනමේ පුළුල් බව සහ විවිධ වෙළෙඳපොළ කොටස් වෙත සේවා සැලසීමේ  හැකියාව පිළිබිඹු කරයි.
LOLC ෆිනෑන්ස් බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI)  අතර ප්‍රධාන ණය ක්ෂේත්‍රවල නායකත්වය පෙන්නුම් කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) මූල්‍ය, ක්ෂුද්‍ර සහ පුද්ගලික මූල්‍ය, කෘෂිකාර්මික මූල්‍ය, ඉස්ලාමීය මූල්‍ය සහ ෆැක්ටරින් හි විශාලතම මූල්‍ය සැපයුම්කරු LOLC ෆිනෑන්ස් සමාගමයි. සමාගමට කර්මාන්තයේ වත්කම් සහ ණය පදනමෙන් මෙන්ම තැන්පතු පදනමෙන්ද ආසන්න වශයෙන් සියයට 20 ක වෙළෙඳපොළ කොටසක් හිමිව තිබේ. විවිධාංගීකරණය වූ නිෂ්පාදන වේදිකාවක් සහ විශාල පරිමාණ අරමුදල් පදනමක් මගින් සහාය ලබන සමාගම ක්ෂේත්‍රයේ වැදගත් ස්ථානයක් නිරූපණය කරයි.
අරමුදල් වර්ධනයද ශේෂ පත්‍රයේ ව්‍යාප්තියට සමාන්තරව සිදු විය. පාරිභෝගික තැන්පතු ආසන්න වශයෙන් රුපියල් බිලියන 226 සිට රුපියල් බිලියන 272 දක්වා වැඩි විය. මෙය සමාගමේ පාරිභෝගික තැන්පතු පදනමේ ශක්තිය සහ විශාල පරිමාණයෙන් අරමුදල් රැස් කිරීමේ හැකියාව පිළිබිඹු කරයි.
ලබාගත් ණය මුදල්ද සැලකිය යුතු ලෙස වැඩි වී රුපියල් බිලියන 98 කට ළඟාවිය. මෙය වර්ධනය වන ණය ඉල්ලු‍ම සපුරාලීම සඳහා ආයතනික සහ තොග අරමුදල් වඩාත් සක්‍රිය ලෙස භාවිතා කිරීම පිළිබිඹු කරයි.
2026 මාර්තු 31 වන විට මුළු ප්‍රාග්ධනය ආසන්න වශයෙන් රුපියල් බිලියන 155 ක් ලෙස සටහන් විය. එමගින් බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ LOLC ෆිනෑන්ස් හි තරඟකාරී විශේෂත්වය සනිටුහන් කරයි. සමාගම වසර තුළ විශාල කොටස් ප්‍රතිමිලදී ගැනීමක් සිදු කර කොටස් හිමියන්ට ප්‍රාග්ධනය ආපසු ලබා දුන්නේ ශක්තිමත් ප්‍රාග්ධන සංචිතයක් තවදුරටත් පවත්වා ගනිමිනි.
වත්කම් ගුණාත්මකභාවයද වසර තුළදී  වැඩිදියුණු විය. ශුද්ධ අක්‍රීය ණය අනුපාතය පෙර වසරේ පැවති සියයට 4.81 ට සාපේක්ෂව ආසන්න වශයෙන් සියයට 3.24 දක්වා පහත වැටුණි. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ ණය කළඹ සියයට 39 කින් වර්ධනය වූ පසුබිමක අත්කර ගැනීම නිසයි. 
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය සමාගමේ මූල්‍ය ස්වරූපයේ ශක්තිමත්ම අංගයක් ලෙස තවදුරටත් පවතී. LOLC ෆිනෑන්ස් සමාගම පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සියයට 23 ක පමණ මට්ටමකින් වාර්තා කළ අතර, එම අනුපාත දෙකම අදාළ නියාමන අවම අවශ්‍යතා සැලකිය යුතු ලෙස ඉක්මවා තිබුණි. තැන්පතු වගකීම්වලට සාපේක්ෂ ප්‍රාග්ධන අරමුදල් අනුපාතය සියයට 42 ක පමණ මට්ටමක පැවති අතර, එය ද අවම වශයෙන් නියමිත  සියයට 10 ක අවශ්‍යතාවට වඩා බෙහෙවින් ඉහළ අගයක් විය.
ඒ අනුව, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය මතුපිටින් පෙනෙන ප්‍රමාණාත්මක ලාභයට වඩා බෙහෙවින් ශක්තිමත් කාර්යසාධනයක් පිළිගන්වයි. බදුවලට පසු ලාබය රුපියල් බිලියන 25ක පමණ මට්ටමක සිට රුපියල් බිලියන 27ක පමණ මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, පෙර වසරේ රාජ්‍ය ණයකර ආශ්‍රිත එක්වරක් පමණක් ඇති වූ ලාබ බලපෑම ඉවත් කර සලකා බැලූ විට, මූලික ලාබදායීත්වය සියයට 30  කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වී ඇත. එමෙන්ම, සමස්ත වත්කම් රුපියල් බිලියන 559ක පමණ මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති අතර, දළ ණය කළඹ රුපියල් බිලියන 423 ඉක්මවා ගොස් ඇත. තැන්පතු රුපියල් බිලියන 272ක පමණ මට්ටමක් දක්වා වර්ධනය වී ඇති අතර, වත්කම් ගුණාත්මකභාවය වැඩිදියුණු වී තිබේ. ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව නියාමන අවශ්‍යතා ඉක්මවා ඉතා හොඳ මට්ටමක පවත්වාගෙන යාමට සමාගම සමත් වී ඇත.