LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ


Lanka Network Operators Groupහි 9 වැනි වාර්ෂික සමුළුව (LKNOG9)  ජූලි 21 කොළඹ ගාලු‍මුවදොර හෝටලයේදී විශේෂඥයන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත ප්‍රමුඛයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කලාපයට අදාළ අන්තර්ජාල යටිතල පහසුකම්, ජාල මෙහෙයුම් සහ නව තාක්ෂණික සංවර්ධන කටයුතු පිළිබඳ​ව ගැඹුරු අවබෝධයක් සැපයීමට අවස්ථාව හිමි විය.
ප්‍රධාන දේශනය පැවැත්වූ කීර්තිමත් ව්‍යවසායකයකු වනBhasha  ප්‍රධාන විධායක නිලධාරී ධනික පෙරේරා ශක්තිමත් අන්තර්ජාල යටිතල පහසුකම් මගින් කෘත්‍රිම බුද්ධියට (AI) සහාය දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සවිස්තරාත්මකව අදහස් දැක්වූයේය. LEARN මහාචාර්ය රොෂාන් ර​ගෙල් ජාල ඉංජිනේරු කටයුතු සඳහා සැලසුම් කිරීම සහ බාධක හඳුනා ගැනීමේදී උත්පාදක කෘත්‍රිම බුද්ධිය (Gen AI) භාවිත කළ හැකි ආකාරය පැහැදිලි කළේය. යුරෝපීය ජාල සම්බන්ධීකරණ ආයතනයේ RIPE NCC නියෝජිත ලියා හෙස්ටිනා බෝල්ටික් මුහුදේ සිදු වූ කේබල් හානිවලින් පසු අන්තර්ජාලය කෙලෙස කාර්යක්ෂමව නැවත යථාතත්වයට පත් කළේද, හදිසි තත්වලට ජාලවලින් කෙලෙස ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තිබේද යන්න සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කළාය. APNIC ෆෙලන් “The Internet by the Numbers - Sri Lanka Edition”  යන මැයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ක්ෂේත්‍රයට අදාළ දත්ත රැසක් ඉදිරිපත් කළේය.Dialog Axiata  හි ශාලික හාල්පන්දෙණියගේ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව තුළ 5G  තාක්ෂණය දියත් කර ඇති ආකාරය සහ ඩිජිටල් පරිවර්තනයක් කිරීමට එය සතු හැකියාව පිළිබඳ තොරතුරු ඇතුළත් විය. SLT-Mobitel හි ආර්. පී. ඩී. සී. කෞෂල්‍ය මෙරට ප්‍රමුඛතම අන්තර්ජාල හුවමාරුව වන  COLOCIX හි උපායමාර්ගික වැදගත්කම විස්තර කළේය.
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ එම්. එම්. සහීර් හුසේන් පරිගණක ජාල තත්ව පරික්ෂා  පිළිබඳව ඉදිරිපත් කිරීමක් කළ අතරSLTහි දුමිඳු කරුණානායක සයිබර් ආරක්ෂණ උපාය මාර්ගවල කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූයේය. OREL IT හි සුබෝධ කුමාර සහ තරිඳු මීපේගම Cloud-Based පරිගණක පද්ධති DDoS ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමේ ක්‍රමවේද පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදු කළහ. Flexoptix  හි ටෂී ෆන්ට්ෂෝ ඔප්ටිකල් ෆයිබර් තාක්ෂණය පිළිබඳව සිදු කළ ඉදිරිපත් කිරීම ඕනෑම අයකුට අවබෝධ කර ගත හැකි ලෙස සකසා තිබිණි.Superloop හි දක්ෂිණ හෙට්ටිආරච්චි වේගය සහ කාර්යක්ෂමභාවය ඉහළ නංවමින් MPLS  තාක්ෂණය වැඩි දියුණු කිරීමට Segment Routing  යොදා ගත හැකි ආකාරය පිළිබඳව දැනුවත් කළේය. තරුණ සහ කුසලතාවලින් හෙබි ඉංජිනේරුවෝ 11 දෙනෙකුට සහභාගීත්වය සදහා ශිෂ්‍යත්ව පිරිනමන ලදහ. ඒ සඳහා මූල්‍ය දායකත්වය දැක්වූ  Flexoptix  ආයතනය වෙනුවෙන් එ​හි René Fichtmüller  ඊට අදාළ හඳුන්වා දීම සිදු කළේය.ප්‍රධාන සමුළුවෙන් අනතුරුව ජාල ස්වයංක්‍රියකරණය, Network Virtualization, අන්තර්ජාල නාමකරණ සදහා වූ KINDNS උපදේශක රාමුව සහ උත්පාදක කෘත්‍රිම බුද්ධිය වැනි අංශවලට අදාළ වැඩමුළුද සංවිධානය කර තිබිණි. ඒ සඳහා 100කට වැඩි පිරිසක් සහභාගී වූහ. මේ තුළින් නව්‍යකරණය පෝෂණය කිරීමටත්, මෙරට අනාගත පරපුර බල ගැන්වීමටත්, දේශීය සහ කලාපීය මෙහෙයුම් අභියෝග ජය ගැනීම සඳහා දායක වීමටත් හැකි විය.