මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් වයස් සීමාව සම්බන්ධ සුවිශේෂී වෙනසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මෙතෙක් ජීවිත රක්ෂණ ලබා ගැනීමට නොහැකි වූ ලාංකිකයන් විශාල පිරිසකට එම අවස්ථාව උදා වනු ඇත. මෙය ජනතාවට ඔවුන්ගේ ජීවිතය පුරාම මූල්‍යමය රැකවරණය ලබාදීම සඳහා Janashakthi Life ගත් වැදගත් හා කාලීන පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.
මෙම වෙනසෙන් Janashakthi Life මෙරට ප්‍රථම වරට ජීවිත රක්ෂණ ලබාගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු 65 - 70 සිට අවුරුදු 80 දක්වා දීර්ඝ කර ඇත. මීට අමතරව මෙම රක්ෂණය මගින් වයස අවුරුදු 90 දක්වා ජීවිත ආවරණයක් සමග කල්පිරීමේ ප්‍රතිලාභ හිමි වේ. මෙය මෙරට දීර්ඝ කාලීන මූල්‍යමය රැකවරණය සහ මූල්‍ය සේවා අඛණ්ඩතාව සම්බන්ධ සුවිශේෂී සන්ධිස්ථානයකි.
මෙම පුරෝගාමී හඳුන්වාදීම සිදුකර ඇත්තේ ලංකාවේ නවතම ජන විද්‍යාත්මක තත්වය සැලකිල්ලට ගනිමිනි. මේ වන විට ලාංකීය ජනතාවගේ අපේක්ෂිත ආයු කාලය දීර්ඝ වෙමින් පවතින අතර රටේ වියපත් ජනගහනය ඉහළ යමින් පවතී. මෙම පිරිසට මූල්‍ය සුරක්ෂිතතාව, ආත්ම ගරුත්වය සහ ජීවන ස්ථාවරත්වය සහිතව ජීවිතයේ සැඳෑ සමය ගත කිරීමට අවස්ථාව සලසා දීමේ අවශ්‍යතාව මේ වන විට දැඩි ලෙස මතු වී තිබේ. Janashakthi Life විසින් මෙලෙස වයස් සීමාව සංශෝධනය කර ඇත්තේ එම අවශ්‍යතාව සපුරාලීමේ අරමුණිනි.
“ජනතාවගේ අපේක්ෂිත ආයු කාලය ඉහළ යාමත් සමගම සමාජයේ ඇති වී තිබෙන සැබෑ තත්වයනට අනුව හැඩගැසීමට රක්ෂණ ක්ෂේත්‍රය නොපමාව කටයුතු කළ යුතු වනවා. Janashakthi Life හි අපගේ අරමුණ වන්නේ, ජීවිතයේ වටිනාම දෑ සඳහා රැකවරණය දෙන හවුල්කරුවකු ලෙස කටයුතු කරන අතරම සදාචාරාත්මකව සහ විනිවිදභාවයෙන් යුතුව ගනුදෙනුකරුවන්ගේ ජීවන තත්වය නගා සිටුවමින් ඔවුන්ගේ සිහින බලගැන්වීමයි. මේ වන විට අප නවතම හඳුන්වාදීම් රැසක් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට දායාද කර තිබෙනවා. COVID ආවරණය, AIDS ආවරණය සහ හමුදා ආවරණය ආදිය ඊට උදාහරණ ලෙස දැක්වීමට පුළුවන්. මෙය ජනතාවගේ සැබෑ සහ වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන රක්ෂණ සැලසුම් හඳුන්වා දීම සඳහා අප ගන්නා උත්සාහයට මනා සාක්ෂියක්.” Janashakthi Life හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසීය.
“මෙම නවතම හඳුන්වා දීම ගනුදෙනුකරුවන්ට දීර්ඝ කාලීන රැකවරණයක් සැලසීම, ඔවුන්ට වඩාත් පහසුවෙන් රක්ෂණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සහ අර්ථවත් රැකවරණයක් සහතික කිරීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කරනවා. රක්ෂණ ලබා ගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු 80 දක්වාත්, ජීවිත ආවරණය හා කල්පිරීමේ ප්‍රතිලාභ හිමිවීම අවුරුදු 90 දක්වාත් දීර්ඝ කිරීමෙන් අප මේ උත්සාහ කරන්නේ, ජනතාවට රැකවරණයක් අවශ්‍යම කාලසීමාවක ඔවුන්ට නිසි මූල්‍ය රැකවරණයක් හිමිවන බව සහතික කිරීමටයි.” රවී ලියනගේ මහතා වැඩිදුරටත් පැවසීය.

