Belluna සමාගම, Granbell Hotels & Resorts ජාලයේ 20 වැනි වසර සනිටුහන් කරයි


ටෝකියෝ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ජපානයේ Belluna Co. Ltd. සමාගම, සිය කලාපීය කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කරන Belluna Lanka සමාගම හරහා දකුණු ආසියාව පුරා සිය ආගන්තුක සත්කාරක සහ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කටයුතු අඛණ්ඩව ව්‍යාප්ත කරමින් සිටියි. 2026 වසරේදී Granbell Hotels & Resorts සන්නාමයට වසර 20ක් පිරීම, Belluna සමාගමේ ජාත්‍යන්තර ආගන්තුක සත්කාරක ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය ජපන් සංස්කෘතික සත්කාරක මූලධර්ම මත පදනම් වූ ඔවුන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරික එකතුවෙහි අඛණ්ඩ වර්ධනය පිළිබිඹු කරන්නකි.
මෙම සන්නාමය යටතේ ආරම්භ කළ ප්‍රථම හෝටලය වන කාමර 105කින් සමන්විතShibuya Granbell Hotel  ටෝකියෝ නුවරදී විවෘත වූ අතර, එය විවිධ සංචාරක ගමනාන්ත රැසක් කරා විහිදුණු වත්මන් හෝටල් ජාලයේ ශක්තිමත් පදනම බවට පත් විය. ගෙවුණු වසර කිහිපය පුරා, මිනිස් ජීවිත සාරවත් කිරීම, ආකර්ෂණීය සැලසුම්වලින් යුත් අවකාශ නිර්මාණය කිරීම සහ දිගුකාලීන මෙහෙයුම් ස්ථාවරත්වය යන උදාර සංකල්ප පෙරදැරිව මෙම සන්නාමය සිය ව්‍යාප්තිය තහවුරු කර ඇත. අද වන විට Belluna සමාගම ජපානය පුරා හෝටල් පරිශ්‍ර 32ක් සාර්ථකව පවත්වාගෙන යන අතර, Hokkaido කලාපය පුරා කාමර 2,600කට අධික සංඛ්‍යාවක් සමගින් එරට විශාලතම ආගන්තුක සත්කාරක ධාරිතාවකට හිමිකම් කියන ප්‍රධානතම සමාගමක් බවට ද පත්ව සිටියි.  
Granbell Hotel Colomboසහ ගාලු‍ පුරවරයේ පිහිටි Le Grand Galle හෝටලය හරහා Belluna  සමාගම ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් සනිටුහන් කර ඇත. විශේෂයෙන්ම Granbell Hotel Colombo, ජපන් වාස්තු විද්‍යාත්මක මූලධර්මවලට අනුකූලව අවම අලංකරණ ශෛලියකින් යුතුව නිර්මාණය කරන ලද, ජපානයෙන් බැහැරව ලොව විවෘත වූ පළමු Granbell හෝටලය වීම සුවිශේෂී වේ. මීට අමතරව, ඉදිරියේදී ඇල්ල ප්‍රදේශයේ  ඉදිකිරීමට නියමිත නව Granbell හෝටල් ව්‍යාපෘතිය හරහා සමාගම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සිය ආයෝජන තවදුරටත් පුළුල් කරමින් සිටියි.
ශ්‍රී ලංකාව තුළ සිදුකරන මෙවැනි ආයෝජන මගින් Belluna  සමාගම රටේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට අඛණ්ඩව විශාල දායකත්වයක් සපයයි. ආගන්තුක සත්කාරක, දේපළ වෙළෙඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ සංවර්ධන කටයුතු රැසක් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම සමූහ ව්‍යාපාරය, මෙරටට පැමිණෙන සංචාරකයන්ට, ප්‍රාදේශීය ප්‍රජාවට මෙන්ම සමස්ත ආර්ථිකයටම වටිනාකමක් එකතු කරමින් ශ්‍රී ලංකාව සමග පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කරයි.