AI මීළඟ ප්‍රධාන පොරොන්දුව: භාවිතයට පෙර අසමානතා ගැටලුවලට පිළියම් යොදමු


ගෝලීය ආර්ථිකයේ සමෘද්ධිමත්භාවය සහ නවීනත්වය උදෙසා සාර්ථකත්වයේ මීළඟ මහා ප්‍රතිඥාව ලෙස කෘත්‍රිම බුද්ධිය හෙවත් AI  ඉහළින් ප්‍රශංසාවට භාජන වී තිබේ. අද වන විට මෙම පෙරළිකාර තාක්ෂණය ඔස්සේ මානව ක්‍රියාකාරකම්වල සෑම ක්ෂේත්‍රයක්ම පාහේ ශීඝ්‍රයෙන් නැවත හැඩගස්වමින් පවතී. අධ්‍යාපනයේදී කෘත්‍රිම බුද්ධිය අන්තර් ක්‍රියාකාරී සහකරුවකු ලෙස ක්‍රියාකරමින් තනි තනි ශිෂ්‍යයාගේ අවශ්‍යතා උදෙසා පාඩම් හැඩගස්වමින් ඉගෙනුම වඩාත් අන්තර් ක්‍රියාකාරී කටයුත්තක් බවටත් පත් කර තිබේ. 
සෞඛ්‍යාරක්ෂණ කටයුතුවලදී වෛද්‍යවරුන්ට සංකීර්ණ වෛද්‍ය විද්‍යාත්මක දත්ත එයින් විශ්ලේෂණය කර පෙර කවරදාකටත් වඩා අති නිවැරදිව සහ වඩාත් ඉක්මනින් රෝග විනිශ්චය කර ගැනීමට ඒවා උපකාරී වෙයි. රාජ්‍ය සේවා වඩාත් විධිමත් කිරීමට ආණ්ඩු ඒවා භාවිත කරන අතර, සැපයුම් දාම ප්‍රශස්ත කිරීමටත්, වෙළෙඳපොළ ප්‍රවණතා පුරෝකථනය කර ගැනීමටත්, එදිනෙදා කාර්යයන් ස්වයංක්‍රීයකරණය කර ගැනීමටත් ව්‍යාපාර හා කළමනාකරණ කණ්ඩායම් ඒවා මත විශ්වාසය තබති.
තත්පර කිහිපයක් තුළ  අති  දැවැන්ත දත්ත ප්‍රමාණයක් සැකසුම් කිරීම මගින්, උද්වේගකරවූත් නොනිමි හැකියාවෙන් පිරුණාවූත්  අනාගතයකට ද්වාර  විවර කරමින් මානව කාර්යසාධනය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සෑහෙන තරමින් වර්ධනය කරනු ලබයි.
කෙසේ වුවද මෙකී මා හැඟි ප්‍රතිඥාවලට යටින් අපට නොසලකා හැරිය නොහැකි බැරෑරුම් අභියෝගයක් රැඳී පවතී. කෘත්‍රිම බුද්ධියෙන් අනන්ත ඵල ප්‍රයෝජන පිරිනැමුවද එයින්, ”‍AI  භේදය ”‍ යනුවෙන් හැඳින්විය හැකි  තීරණාත්මක දෝෂයක්ද ගෙන එනු ලබයි. ඇතැම් පුද්ගලයන්, ඇතැම් කොම්පැනි  සහ ඇතැම් රටවලට මෙම ප්‍රබල උපකරණයේ ඵල ප්‍රයෝජන පහසුවෙන් ලබා ගත හැකි තත්වයක් උදා වෙද්දි වෙනත් බොහෝ අය එයින් මුළුමනින්ම බැහැර කරවීම මෙම පදයෙන් අර්ථවත් වේ. මන්දයත් මෙම භේදය හේතුවෙන් කෘත්‍රිම බුද්ධියේ ඵල ප්‍රයෝජන එක හා සමානව බෙදී නොයන කල දැනට පවතින ගෝලීය අසමානතා සමනය වනවාට වඩා තවත් දරුණු අතට එය පෙරළෙන බැවිනි.


AI භේදයෙන් මතුවන ගැටලු‍ තුනක් 
කෘත්‍රිම බුද්ධිය භාවිතයේ සිදුවන මෙම විභේදනයෙන්, ගෝලීය වශයෙන් ගැටලු‍ තුනක් උද්ගත වේ.
පළමු වැන්න ඒකාබද්ධතාව බිඳීයාමය. සමස්ත ආර්ථිකය පුරා ඵලදායිතාව සමානව බෙදී නොයාමේ ගැටලු‍ව මෙයයි. දියුණු මෘදුකාංගවලට සහ විශේෂිත තාක්ෂණික විශේෂඥ දැනුම මිලට ගැනීමට ආයෝජනය කළ හැකි, අවශ්‍ය මූල්‍ය සම්පත් හිමි විශාල සමාගම්වලට ප්‍රමුඛ ලෙස එය උපකාරී වේ.
මෙකී විශාල ආයතන අතිශය කාර්යක්ෂමතාවෙන් හෙබි ඉහළම ලාබ ලබන ඒවා බවට පත්වේ. ඊට හාත්පසින් වෙනස්ව යන දේශීය ප්‍රජාවන්හි කොඳුනාරටිය සකසන්නා වූ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායවලට මෙවැනි ඉහළ පිරිවැය දරා ගත නොහැකි වෙයි. AI උපකරණ භාවිතය අහිමි වී යන කුඩා ව්‍යාපාර, තරග කිරීමේ අරගලයක යෙදෙන විට අසාධාරණ වෙළෙඳපොළ තත්වයක් නිර්මාණය වෙයි. එවිට AI  භාවිතයේ සවි ඇති ලොකු කොම්පැනි, තව තවත් දැවැන්තව වැඩෙන අතර කුඩා ආයතනවලට ඉවත් වන්නට සිදුවේ.
දෙවැන්න ගෝලීය ආර්ථිකය තුළ පවා ගෝලීය පරතරය යනුවෙන් හැඳින්විය හැකි පරතරයක් හට ගැනීමයි. කෘත්‍රීම බුද්ධිය සියලු‍ රටවලට එක්ව වර්ධනය වන්නට උපකාරී නොවේ. සංවර්ධනය වෙමින් පවතින රටවල නිරන්තරයෙන්ම ඩිජිටල්  යටිතල පහසුකම්, විශ්වාසය තැබිය හැකි විදුලි බලය, AI  පද්ධති ගොඩනැගීමට අවශ්‍ය තාක්ෂණ නිපුණතාවෙන් හෙබි ශ්‍රම බලකාය නොමැති තරම්ය.
එහි ප්‍රතිඵලයක් ලෙස දියුණු තාක්ෂණික පරිසරයක් හිමි ධනවත් රටවල් වැඩිවන වේගයකින් යුතුව (ත්වරණයකින් යුතුව) වර්ධනය වන අතරේ දුප්පත් රටවල් තවදුරටත් පසුබෑමට ලක්වේ. කෘත්‍රිම බුද්ධියෙන් හෙබි තාක්ෂණය ව්‍යාප්ත වනුයේ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර පවතින පරතරය තවදුරටත් ගැඹුරු අගාධයක් බවට පත්කරමිනි.
තුන්වැන්න සමාජ ඛණ්ඩනය (බෙදී යාම) යනුවෙන් හැඳින්විය හැකි පරතරයක් හට ගැනීමෙන් සමාජය ද අඩපණවීමය. මෙම භේද වීමෙන්  තනි රටක් තුළ වඩාත් අවදානමට ලක් වූ සමූහයන්ට පහර වැදේ. ඒ හේතුවෙන් වඩාත් අසමතුලිත ආදායම් බෙදී යාමක් හට ගනී. ප්‍රාග්ධනය හිමි දෑත්වල කෘත්‍රිම බුද්ධියේ හිමිකාරිත්වය සහිත ධනය ඒකරාශී වී, තාක්ෂණයේ අධිකාරී බලය හිමි ආයෝජකයන් උපයන ලාභය වේගයෙන් ඉහළ නැගේ.
ඒ අතර එදිනෙදා ශ්‍රමය වැය කරන සේවකයන්ගේ රැකියා අහිමි වේ. එසේ නැතහොත්, එදිනෙදා කාර්යභාරයට ස්වයංක්‍රිය බව එක් වෙන නිසා  සේවකයන් ගේ වැටුප වැඩි නොවී එක තැන ඇනහිටී. මෙම වෙනස්වීම නිසා ආර්ථික බලපුළුවන්කාරකම කම්කරුවා වෙතින් ඉවත් වී ප්‍රාග්ධනය කරා ඇදේ. මෙම තත්වය නිසා රටක සීමා මායිම් තුළ දුප්පත් පොහොසත් පරතරය තව තවත් වැඩිවේ.
අසමානත්වයෙන් හෙබි මෙම අනාගතය වළක්වා ගැනීමට අපට කඩිනම් ගෝලීය ක්‍රියාකාරකම් අවශ්‍ය වන්නේය. කෘත්‍රිම බුද්ධියෙන් හෙබි තාක්ෂණය ධනවතුන් අතලොස්සක් අත වූ සුඛෝපභෝගී උපකරණයක් බවට පත්විය යුතු නැත. එසේ නොවන්නට සියලු‍ ජාතීන් සාමූහිකව එක්වී ගෝලීය මහජන උපකරණයක් ලෙස කෘත්‍රිම බුද්ධිය නිපදවා කළමනාකරණය කළ යුතුවේ. කෘත්‍රිම බුද්ධිය බෙදා හදා ගනිමින්, සාධාරණ ප්‍රමිති නිර්මාණය කරමින් සහ සමීප විය හැකි තාක්ෂණයට මුදල් යොදවමින්, මෙම නව යුගය සුළුතරයකගේ වරප්‍රසාදයට වඩා සමස්ත මානව වර්ගයා ඉහළට ඔසවා තබන්නා වූ යුගයක් බව ජාත්‍යන්තර ප්‍රජාවට සහතික කර කරගත හැකිය.


 ඓතිහාසික භේද භින්න වීම් සහ  කෘත්‍රිම බුද්ධියේ වේගය 
කෘත්‍රිම බුද්ධියත් සමග අප මුහුණපාන අභියෝග මුළුමනින්ම අලු‍ත් ඒවා නොවේ. මානව ඉතිහාසය පුරා තාක්ෂණික වශයෙන් පෙරළියක් සිදුවූ සෑම අවස්ථාවකදීම, එම රටාවටම සමාජය සහ ගෝලීය ආර්ථිකය නැවත හැඩ ගැසුණේය. සෑම විප්ලවකාරී මෙවලමකින්ම ආරම්භයේදී බෙදීමක් ඇති වූයේය. එය ධනවත් සුළුතරය පල ප්‍රයෝජන නෙළා ගන්නා අතර බහුතරය පසෙකට වී බලා සිටි කාල පරිච්ඡේදයකි.
නූතන ඉතිහාසය පුරා අපට මෙම චක්‍රය දැක ගත හැකිය.


 පළමුවෙන්ම විදුලි බලය  නිසා ඇතිවූ භේදය 
මුලින්ම විදුලි බලය යොදා ගත් අවධියේදී එය ගම්බද ප්‍රදේශ අඳුරේ තිබෙන්නට හැර ධනවත් කර්මාන්තශාලා සහ සමෘද්ධිමත් නාගරික නිවාස වලට පමණක් වෙන්වූ, සුඛෝපභෝගී අංගයක් වූයේය.


 දෙවනුව ඉලෙක්ට්‍රොනික බෙදියාම 
ඉලෙක්ට්‍රොනික සහ ස්වයංක්‍රීය නිෂ්පාදනය මුලින්ම සොයාගත් විට සමෘද්ධිමත් භාවයට පත් වූයේ කාර්මිකරණයට ලක් වූ වඩාත් දියුණු, ආර්ථිකයන් පමණකි.


 තුන්වැන්න ඩිජිටල් භේදය 
කොම්පියුටර දියුණු වීම සහ ඉන්ටර්නෙට් මගින් ඩිජිටල් උපකරණ වල වියදම් දැරිය හැකි සහ එසේ කළ නොහැකි උදවිය අතර දැවැන්ත පරතරයක් නිර්මාණය වූයේය.
ඓතිහාසික වශයෙන් මෙම පරතරයන් පියවීමට දශක කිහිපයක් ගත වූයේය.
සමාජීය වශයෙන් තදින් හුරුවීමක්, ක්‍රියාකාරී රාජ්‍ය මැදිහත්වීමක් සහ ජාත්‍යන්තර සහයෝගීතාවක් ඒ සඳහා අවශ්‍ය වූයේය. මෙයට කදිම උදාහරණයක් වන්නේ විදුලි බලය සමග ශ්‍රී ලංකාව ගිය ගමනයි. විසිවැනි සියවස මුල් කාලයේ දී එය ප්‍රධාන නගරවල විදුලිබල රැහැන් මාර්ගවලට ප්‍රවේශය ඇති කීපදෙනකුට පමණක් හිමි වරප්‍රසාදයක් වූයේය.
කෙසේ වුවද අඛණ්ඩව පවත්වාගෙන ආ දේශීය ප්‍රතිපත්තියෙන් සහ  ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු ජාතික ණය දෙන ආයතන සහ මුදල් ප්‍රදානය කරන ත්‍යාගශීලී රටවල් වලින් ලැබුණු වැදගත් ආධාර වැඩසටහන්වලින් රටේ ජාතික ජාල පද්ධතිය ගොඩනගනු ලැබීය. අද වන විට ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුම පාහේ විදුලි බලයේ  ඵල බුක්ති විඳිති. ප්‍රමාණවත් කාලය, රජයේ මුදල් යෙදවීම්, සහ ගෝලීය ආධාරවලින් තාක්ෂණික පරතරය තුරන් කර දැමිය නොහැකි නම් අඩු කිරීම හෝ කළ හැකි වන බව ඉතිහාසය විසින් සනාථ කරනු ලැබීය.
කෙසේ වුවද කෘත්‍රිම බුද්ධිය හෙවත් AI සමග ඉතිහාසය නැවත ප්‍රතිරූපණය වෙනතුරු අපට බලා සිටිය නොහැකිය. තීරණාත්මක වෙනස අද දවසේ වඩා වේගවත්ය. විදුලි බලය සහ ඉන්ටර්නෙට්  වැනි යට ගිය නවෝත්පාදන පරම්පරා කාලයක් පුරා පරිණාමනය වෙමින් ආණ්ඩුවලටත් සේවකයන් හටත් ඒවාට පුහුණු වන්නට, හුරුවන්නට හැඩගැසෙන්නට සහ යටිතල පහසුකම් ගොඩනගන්නට දශක කිහිපයක් ලබා දුන්නේය. ඊට හාත්පසින් වෙනස් වූ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, අසාමාන්‍ය විභවතාවකින් හෙබි වේගයකින් පරිනාමය වෙමින් පවතී. සාමාන්‍යයෙන්ම දශක ගණනාවක් තුළ සිදුවූ වෙනස්වීම් දැන් මාස ගණනක් තුළ වෙනස් වේ.
මන්දයත් කෘත්‍රිම  බුද්ධිය අධික වේගයකින් ඉදිරියට ඇදෙන කල එය මගහැරෙන සමාජය වඩාත් කටුක යථාර්ථයකට මුහුණ දෙනු ලබන බැවිනි. අවදානමට පාත්‍ර වූ ජනයාට සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට හුදෙක් තමන්ට රිසි පරිදි එය අල්ලා ගත නොහැකිය. ඒවා කෙසේ භාවිත කරන්නේ ද යන්න වටහා ගැනීමටත් පෙරAI  වේදිකාවලින් ඔවුන් ඈත් කර අගුලු‍ලා තබා ගැනේ. පාසැල්වලට පෙළ පොත් ලියා ගත හැකි වේගයටත් වඩා වේගයෙන් හෝ ආණ්ඩුවලට, සේවා දායක ක්‍රම ගොඩ නඟා ගත හැකි වේගයටත් වඩා වේගයෙන් ඩිජිටල් පරතරය පුළුල් වෙමින් පවතී.
මෙම අතිශය හදිසි අවස්ථාව ඔස්සේ අලු‍ත් සදාචාරාත්මක යුතුකමක් නිර්මාණය වන්නේය.
වර්තමානයේ ධනවත් රටවල් AI ඔස්සේ ගොඩනැගෙමින් හිමිකර ගන්නා ලාභයෙන් ඔවුන්ගේ තාක්ෂණය හුදෙකලා කර තැබිය නොහැකිය. අන්ත දිළිදුභාවය ගෝලීය වශයෙන් සදාකාලිකව පැවතීම වළකාගන්නට, දියුණු ආර්ථිකයන් විසින් ක්‍රියාකාරීව මූල්‍යාධාර, තාක්ෂණික දැනුම, යටිතල පහසුකම් සහයෝගය දියුණුවෙමින් පවතින රටවලට සැපයිය යුතුවේ. 
ගෝලීය ආධාරයක් ලෙසවරක් විදුලි බලය දියුණුවෙමින් පවතින රටවලට රැගෙන ආවා සේ ජාත්‍යන්තර සහයෝගීතාවේ අලු‍ත් රැල්ලකින්, දියුණු වෙමින් පවතින රටවලට තමන්ගේම AI පද්ධතියක් ගොඩනගා ගැනීමට සහ නූතන ලෝකයේ තමන්ට හිමි තැන ලබා ගැනීමට උපකාර කළ යුතුවේ.


 ගෝලීය එක්සත් ක්‍රියාමාර්ගයක  අවශ්‍යතාව 
තාක්ෂණික පරතරයේ වැඩිවීමේ බැරෑරුම්කම හඳුනා ගනිමින්, ගෝලීය නායකයන් බිඳී විසිරී ගිය ඩිජිටල් ලෝකයේ අන්තරායකාරී බව ගැන කතා කරන්නට පටන් ගෙන තිබේ. මෙම සංවාදයේ ප්‍රධාන සංධිස්ථානයකට, මෑතකදී ෂැංහයි නුවර පැවැත්වූ 2026 ලෝකAI  සමුළුවේදී සැපත් වූයේය. චීන ජනාධිපති ෂී ජින්පින්ග් සිය ප්‍රධාන ආරම්භක කතාවේදී, ප්‍රේක්ෂකයා අමතමින්, ‘නව ඓතිහාසික අසාධාරණයන්ට’ ඉඩ තැබීමට එරෙහිව අනතුරු අඟවමින්, කෘත්‍රිම බුද්ධිය කරා සමානාත්මතා ප්‍රවේශයක් ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරණයට ලක් කළේය.
මෙම අසාධාරණය වළක්වාලීමට සංවර්ධනය වෙමින් පවතින ලෝකයට සහයෝගය දීමට ඉදිරිපත්වීම සඳහා චීනය සූදානම් වග ජනාධිපති ෂී නිවේදනය කළේය. AI පුහුණු හා සම්මන්ත්‍රණ අවස්ථා 5000ක්, ඊළඟ පස් වසර තුළ සංවර්ධනය වෙමින් පවතින රටවලට  සපයාදීමට චීනය සූදානම් බව ඔහු ප්‍රකාශ කළේය.
තවදුරටත්, BRICKS, ASEAN, අප්‍රිකානු සංගමය, සහ අරාබි රටවල ලීගය ඇතුළු ප්‍රධාන ආර්ථික සාමූහිකයන් සමග ඍජුව හවුල් වෙමින්, විශේෂයෙන් ජාත්‍යන්තර Ai ආදේශන සහයෝගීතා කේන්ද්‍රස්ථාන  පිහිටුවීමට චීනය සැලසුම් කරමින් සිටී. මෙම වැඩපිළිවෙළෙහි අරමුණ  සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්, පුහුණු වීම් හා තාක්ෂණයෙනුත් දශකයේ රැඳී පැවතියාව සඳහා තමන්ගේම තාක්ෂණික පදනම් ගොඩනගා ගැනීමට අවශ්‍ය හැඩ ගැසීමේ උපකරණවලිනුත් ඔවුන් සන්නද්ධ කිරීමය.
ජාත්‍යන්තර ප්‍රජාව චීනයේ මෙම කැපවීම වඩාත් උණුසුම් අයුරින් පිළිගත යුතුය. තනි රටකට  කෘත්‍රිම බුද්ධිය නිසා ඇතිවන භේදය පිළිබඳ ගැටලු‍ව සදාකාලික පදනමින් නිරාකරණය කර ගත නොහැකි බව අවංකවම පිළිගත යුතු වන්නේය. තමන්ගේම හිමිකම ඇති (Ai) කෘත්‍රිම  බුද්ධියේ පරිසරයක් සංවර්ධනය කර ගනිමින් පවත්නා එකම රට චීනයයි.
ගෝලීය අභියෝගයකට මෙකී තනි ක්‍රියාවක තීව්‍රතාව ප්‍රමාණවත් නොවන්නේය. අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය එක්සත් රාජධානිය සහ ජපානය වැනි Ai  ධාවන තරගයේ ඉදිරියෙන්ම පසුවෙන අනෙකුත් බලවත් ජාතීන් ද, මෙම සහයෝගීතා වෑයමට කල්තියාම සම්බන්ධ විය යුතුය.
මෙම බලවත් ජාතීන් මුළුමනින් තමන්ගේ පාඩුවේ කටයුතු කළහොත්, දැවැන්ත අකාර්යක්ෂමතාවකට එයින් මග පෑදෙනු ඇත. විවිධ රටවල් එම කලාපවලට අනුරූප ක්‍රම, තරගකාරී ලෙස ගොඩනගා ගනිමින් කටයුතු කළහොත් අපට දරුණු සම්පත් අපතේ යෑමක් දක්නට හැකි වනු ඇත. තවදුරටත් විමධ්‍යගත ආධාර පහසුවෙන් සැපයුම් මත පදනම් වූ ඒවා බවට පත්වේ.එයින් අදහස් වෙන්නේ ධනවත් ජාතීන් අවදානමට ලක්විය හැකි ප්‍රජාවට සැබවින්ම අවශ්‍ය දේ සැපයීම වෙනුවට ඔවුන්ට ලබාදීමට අවශ්‍යය මෙවලම් ලබාදීම සිදුවීමයි.
සියල්ලන්ටම වඩා, වඩාත් අන්තරායකාරී වන්නේ භූ දේශපාලනික වාසිය තකා ක්‍රියා කිරීමේ අවදානමයි. සැබෑ මානුෂීය අවශ්‍යතාවලට වඩා, දේශපාලන හිතවාදී බව සහ උපායමාර්ගික පක්ෂපාතීභාවය පදනම් කරගෙන කෘත්‍රිම බුද්ධියට අදාළ මෙවලම් බෙදා හරිනු ඇත. එවිට සිදුවන්නේ අවදානමට පාත්‍ර විය හැකි බොහෝ ජනයා මුළුමනින් කපා හැරීමයි.
එම නිසා කෘත්‍රිම බුද්ධිය උදෙසා ඒකාබද්ධ ගෝලීය ක්‍රියාදාම සමූහයක් ගොඩනගා ගැනීමේ හදිසි අවශ්‍යතාවක් පවතී. මෙකී ජාත්‍යන්තර  ආයතනය ඔස්සේ, තාක්ෂණික වශයෙන් දියුණු සියලු‍ම රටවල් හවුල් කරගෙනAi  මෙවලම්, තොරතුරු යටිතල පහසුකම්, ලෝකය පුරා සමානාත්මතාවෙන් යුතුව පුහුණු සම්පත් බෙදා හැරීම සම්බන්ධීකරණය උදෙසා වෑයමක් දරනු ඇත.
තාවකාලික පුණ්‍යාධාර කෙරෙහි විශ්වාසය තබනවාට වඩා, මෙම (කණ්ඩායම) සමූහය, Ai  දැනුම, සංවර්ධනය වෙමින් පවතින රටවල සියලු‍ම දේශීය තාක්ෂණ පදනම් සමග වෙළා ගත හැකි තිරසාර මාර්ග ගවේෂණය කළ යුතුය. සම්බන්ධීකරණය කරනු ලැබූ ගෝලීය සුසංගත බවක් හරහා පමණක් අපට කෘත්‍රිම බුද්ධිය භූ දේශපාලනික බෙදීමේ මෙවලමකින්, සියලු‍ මානවයා උදෙසා වූ වැඩි කල්පවත්නා මහජන වත්කමක් බවට පරිවර්තනය කළ හැකිය.


 ගෝලීය ක්‍රියාදාමය සඳහා නිවැරැදි  වාහකය තෝරා ගැනීම 
සැබෑ සාධාරණ Ai පරිසර පද්ධතියකට ප්‍රාණවත් බව ගෙන ඒමට නම්, එය ඉදිරියට ගෙනයා හැකි ජාත්‍යන්තර වාහකය අප පරෙස්සමෙන් තෝරා ගත යුතුය. ගෝලිය ක්‍රියාකාරී සමූහයක් නිර්මාණය කළ හැකි වඩාත් යෝග්‍ය තම ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.
ජාත්‍යන්තර සහයෝගීතාව උදෙසා ලෝකයේ ප්‍රමුඛතම සංසඳය වන එක්සත් ජාතීන් සතුව, ලෝකයේ ඕනෑම රටකට සමීප විය හැකි හැකියාව, මානව හිමිකම් කෙරේ තදින් කැපවීම සහ ජාත්‍යන්තර විදුලි සන්දේශ  සංගමය (ITU) වැනි ස්ථාපිත වූ ආයතනය පවතී.
අති නිවැරැදි පසුබිමක් යටතේ මෙම වැඩසටහන උදෙසා මුල පිරිය හැකි ආයතනය එක්සත් ජාතීන්ය. සදාචාරාත්මක සීමා කෙටුම්පත් කිරීම  සාමාජික රටවල් 193 ම එක් මේසයකට කැඳවීමේ හැකියාව සහ ලොව සියලු‍ අන්ත ඩිජිටල් කාර්යයන්ට එක් කර ගැනීමේ ශූර හැකියාව එක්සත් ජාතීන්ට පවතී.
කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින සේවා දායක සීමාවල යථාර්ථය අප මුළුමනින් අවබෝධ කර ගත යුතුය. පසුගිය දශකය තුළ කලාපීය ගැටුම්වලට විසඳුම් ලබා දෙන්නට හෝ ඒවා වළක්වාලීමට එක්සත් ජාතීන් ගේ සංවිධානය යළි යළිත් අපොහොසත්  වූයේය. මෙම අඩපණ වීම මූලික වශයෙන් සිදුවූයේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක  මණ්ඩලයේ බලවත් රටවල් කිහිපයක් විසින් උසුලන නිශේධ බලය හේතු කරගෙනයි.
ගෝලීය වශයෙන් බලවත් ජාතීන් භූ දේශපාලනික තරගයේ තීව්‍ර ලෙස සිරවූ විට, නිශේධ බල යාන්ත්‍රණය, ගෝලීය  සුබසාධනයට වඩා ස්වජාතික අවශ්‍යතා උදෙසා නිරන්තරයෙන්ම භාවිතයට ගැනේ. මන්දයත් කෘත්‍රිම බුද්ධිය, අනාගත ආර්ථික හා යුදමය සුපිරි බලය උදෙසා වූ  ඒකායන උපකරණය ලෙස වර්තමානයේ පෙනෙන්නට තිබෙන බැවිනි. එක්සත් ජාතීන් ප්‍රමුඛ (ITU) කණ්ඩායමක්, මෙකී දේශපාලන එදිරිවාදිකම් ඔස්සේම අඩ පණ කිරීමකට ලක්වනු ඇත. තනි නිශේධ බලයකින් ප්‍රගතිය අවහිර කරවා, (ITU) තාක්ෂණය විසින් ඉල්ලා සිටිනු ලබන එම වැඩපිළිවෙළ, අකුණු සැර වේගයකින්, සවිමත් නැති අඩපණ වූ වැඩ පිළිවෙළක් බවට පත්කරනු ඇත.
මෙම අවහිරතා පවතින තත්වය තුළ අප සම්ප්‍රදායික එක්සත් ජාතීන්ගේ දේශපාලන රාමුවෙන් ඔබ්බට කරුණු සලකා බැලිය යුතුය. අඩ පණ කරනු ලබන දේශපාලන නිශේධ බල මගහැර යනු පිණිස, අප ගෝලීය මූල්‍ය හා සංවර්ධන ආයතනවල වැඩපිළිවෙළවල පිහිට පැතිය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි සංවිධාන සහ ආසියානු සංවර්ධන බැංකුව, අප්‍රිකානු සංවර්ධන බැංකුව වැනි කලාපීය සංවර්ධන බැංකු මෙම මෙහෙයුම් කාර්යභාරය සඳහා වඩාත් උචිත වේ. මෙම ආයතන සතුව, මූල්‍ය සවිමත් බව, ව්‍යාපෘති කළමනාකරණ අත්දැකීම් සහ පොළොව මත සැබෑ යටිතල පහසුකම් ගොඩනැගීමට අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම පවතී.
දේශපාලන වාද විවාදවලට අවධානය යොමු කරනවාට වඩා මෙම මූල්‍ය දැවැන්තයන්ට සමූහගතවීමකින්, වැදගත් ආර්ථික සංවර්ධන ගැටලු‍වකට විසඳුමක් ලෙස ලෙස කෘත්‍රිම බුද්ධිය සඳහා ප්‍රවේශය ලබා දීම කළහැකිය. ඍජුවම ආර්ථික සංවර්ධන ණය උදෙසා මුදල් යොදවමින්ද, විනිවිද පෙනෙන සුළු ලෙස සම්පත් බෙදා හැරීම තහවුරුකිරීම සහ දේශීය ශ්‍රම බලකාය පුහුණු කිරීම සඳහා අධ්‍යාපන වැඩ සටහන්වලට මහා පරිමාණයෙන් මුදල් යොදවමින්ද, ඔවුන්ට (ITU) යටිතල පහසුකම් සඳහා මූල්‍ය සම්පාදනය කළ හැකි වේ. ඉහළින් දේශපාලනීකරණය වූ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සිට, ප්‍රතිඵල ඔස්සේ මෙහෙයුම් සිදු කරන ගෝලීය සංවර්ධන ආයතනවලට වගකීම් මාරු කර අපට ප්‍රායෝගිකවූ, ජව සම්පන්න ගෝලීය ක්‍රියාකාරී කණ්ඩායමක් නිර්මාණය කළ හැකි වේ. මෙම ප්‍රවේශය ඔස්සේ, බලවත් ජාතීන්ගේ භූ දේශපාලනික සෙල්ලම්වලට වඩා, සැබෑ මානව සහ ආර්ථික අවශ්‍යතා පදනම් කරගත් ආධාර බෙදාහැරීමක් තහවුරු වන්නේය.


 විශ්ව අසමානතා සමනය සඳහා  උපාය මාර්ගික සැලැස්මක් 
කෘත්‍රිම බුද්ධිය ඔස්සේ දෙන ප්‍රතිඥා බෙදා හදාගත් මානව ජයග්‍රහණයක් බවට පත්කරලීම සඳහා, යෝජිත ක්‍රියාකාරී කණ්ඩායමට පැහැදිලි පොරොන්දු හෝ විවෘත නිමාවක් ඇති අරමුණු කෙරෙහි විශ්වාසය තැබීමට නොහැකිය. එය කඩිනමින්ම කාල සටහනක් හා බැඳුණු උපාය මාර්ගික සැලැස්මක් සහ නිශ්චිත ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කර ක්‍රියාවට නැගිය යුතුය. මෙම සැලසුමේ ප්‍රමුඛතම අරමුණ ඉතා පැහැදිලි විය යුතුය. එනම් කෘත්‍රිම බුද්ධියේ තාක්ෂණය ධනවත් සමාගම්වල සහ  රටවල අති විශේෂ සුඛෝපභෝගී බවේ සිට සියල්ලන්ටම ප්‍රවේශ විය හැකි උපයෝගීතාවක් වෙත මාරු කිරීමයි.
මන්දයත් කෘත්‍රිම බුද්ධියට අදාළ තාක්ෂණය ශීඝ්‍රයෙන් පරිණාමයට ලක්වන බැවින්, මෙම උපාය මාර්ගික සැලැස්ම කාලය තුළ අගුලු‍ තැබිය හැකි, දරදඬු ලේඛනයක් නොවන බැවිනි. ඒ වෙනුවට එය, නිරන්තරයෙන්ම නැවත විග්‍රහයට ලක් කෙරෙන, මතුවන තාක්ෂණික විපර්යාසවලට සහ පුරෝකතනය කළ නොහැකි ආර්ථික වෙනස්වීම්වලට  මුහුණ දිය හැකි ගතික ලෙස නවීකරණය වූ ජීවමාන උපාය මාර්ගයක් වියයුතුය.
වගකීමෙන් යුක්ත බව සහ සැබෑ ප්‍රගතිය මිනිය හැකි ආකාරය තහවුරු කර ගැනීමට ගෝලීය ප්‍රජාවට, කෙතරම් කාර්යක්ෂම ලෙස කෘත්‍රිම බුද්ධියේ තාක්ෂණය බෙදාහැර තිබේද යන්න විපරම් කිරීමට ප්‍රමිති ගත ක්‍රමවේදයක් අවශ්‍යවේ. කෘත්‍රිම බුද්ධියේ තාක්ෂණය ඔවුන් යොදාගත් ආකාරය සහ එහි සාක්ෂරතාව විග්‍රහ කර බැලීම ලෝකයේ රටවලට ඉහළින්ම ප්‍රායෝගික වූ ප්‍රවේශයකින් කළ හැකිය. මෙම ක්‍රමය ලෝක බැංකුව විසින් භාවිත කරන විශ්වාසදායී ආර්ථික වර්ගීකරණයකින් ප්‍රතිබිම්බනය කර රටවල් එකිනෙකට වෙනස් වර්ග හතරකට වර්ගීකරණය කළ හැකිය. 
පළමුවැන්න, ඉහළම  Ai: සියලු‍ම ආර්ථික අංශයන් පුරා අතිශය දියුණු මට්ටමින් Ai  තාක්ෂණය පතුරුවා හරින ලද ප්‍රමුඛතම සංවර්ධිත රටවල්.
දෙවැන්න, මධ්‍යම ප්‍රමාණයේ Ai:  ස්වයංක්‍රීය ක්‍රම ඉවහල් කර ගනිමින් අඛණ්ඩ ප්‍රගතියක් ලබා ගන්නා වූ ස්ථාවර ඩිජිටල් යටිතල පහසුකම්වලින් හෙබි රටවල්.
තුන්වැන්න,  Ai: මූලික තාක්ෂණයන් ඒකාබද්ධ කිරීම ඇරැඹූ මුත් සෑහෙන තරමේ පුහුණුවීම්වල අඩුපාඩු වලින් හෙබි  සංවර්ධනය වෙමින් පවත්නා රටවල්.
සිව්වැන්න; පහත් මට්ටමේ Ai: අවම ප්‍රමාණයේ යටිතල පහසුකම් සහිත සියල්ල සම්පූර්ණයෙන්
ඩිජිටල්කරණය කිරීම දැඩි ලෙස අවදානම් සහගත මට්ටමේ පවතින අවදානමට පාත්‍ර වූ කලාප.
වාර්ෂික ගෝලීය වාර්තාවක මෙම ​ෙ‌ශ්‍ර්ණිගත කිරීම් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් ජාත්‍යන්තර ප්‍රජාවට තාක්ෂණික යුගයේ ප්‍රමුඛයන් සහ පසුබෑමට ලක්වූවන් පැහැදිලිව අවධාරණයට ලක් කර ගත හැකිවේ. මෙම වාර්ෂික දර්ශකයෙන් යහපත් තරගයක් නිර්මාණය වීම, මූල්‍ය පහසුකම් කොතැනට දිශා ගත කරන්නේ ද යන්න ගැන සංවර්ධන ආයතනවලට මාර්ගෝපදේශ සැපයීමට සහ වඩාත් දරිද්‍ර වූ කලාප ධනවත් ජාතීන් විසින් නොසලකා හැරීම වළක්වාලීමටත් උපකාරී වේ.
අවසාන වශයෙන් ව්‍යුහගත කරන ලද, මිනිය හැකි වූ, හැඩගස්විය හැකි සැලසුමකින් තොරව වඩාත් සචේතනික වූ ක්‍රියාකාරී ගෝලීය කණ්ඩායමකට පවා සිය සම්පත් අපතේ යනු දකින්නට සිදුවනු ඇත.
අපි මානව ඉතිහාසයේ වඩාත් තීරණාත්මක වූ සංධිස්ථානයකට පැමිණ සිටින්නෙමු. ඒ අයි තාක්ෂණය විසින් මුළුමනින්ම ගෝලීය ආර්ථිකය වෙළා ගැනීමට පෙර මෙම දරුණු අසමානතාවට අප පිළියම් නොයෙදුවහොත් අප වඩාත් ගැඹුරු අගාධයකින් බෙදුණු, නැවත යාකළ නොහැකි ලෝකයක් නිර්මාණය කරන්නෝ වන්නෙමු. Ai තාක්ෂණික දැනුම ගෝලීය මහජනතාවට හිමි භාණ්ඩයක් ලෙස පැහැදිලි උපාය මාර්ගික සැලසුමකින් ඊට වග වීමෙන් බැඳ තබා ගැනීමෙන්, අපට තාක්ෂණයේ මීළඟ මහා ප්‍රතිඥාව සෑම මානවයකුම ඔසවා තැබීම සඳහා කිසිවකු අඳුරේ නොතබා  භාවිතයට ගන්නා වග තහවුරු කර ගත හැකිය.

2026 අගෝස්තු 10 Daily FT හි පළවූ Ai s next bid promise: Tackle inequity issues before using it  ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ