2030දී සමුද්‍රීය හා අක්වෙරළ අංශයෙන් ඩො.බිලියන 1.5ක ආදායම් අපේක්ෂාවක්


  • 2030 වසර වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කයක්
  • දවසකට ලංකාව අසලින් නෞකා 200ක් 250ක් පමණ යාත්‍රා කරනවා

භානුක අමරසිංහ


මෙරට සමුද්‍රීය හා අක්වෙරළ අංශයේ ආදායම් ඉපැයීම ඉදිරි වසර පහ තුළදී එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක් බවට පත් කරගැනීම අපේක්ෂාව බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් සංවිධානය කෙරෙන Voyage Sri Lanka  2025 සමුළුව සම්බන්ධයෙන් ඊයේ (24)පැවැත්වුණු මාධ්‍ය හමුවකදී එහි සභාපති මංගල විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.
“2030 වසර වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට යන ගමනේදී මේ සමුද්‍රීය සහ අක්වෙරළ අංශයේ වගේම බෝට්ටු නිෂ්පාදනය ඇතුළු කර්මාන්ත හරහා උපයන වාර්ෂික අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක පමණ අගයකට පත් කරගැනීම අපේ අපේක්ෂාවයි. අද වන විට මෙම ආදායම පවතින්නේ ඩොලර් මිලියන 300ත් 400ත් අතර අගයකයි.’’
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීමත් සමගින්ම මූලිකවම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ කොළඹ වරායේ හැකියාව වර්ධනය කරගනිමින් සහ අනෙකුත් ධීවර වරාය තවදුරටත් සංවර්ධනය කරගනිමින් මෙම ඉලක්කය ළඟා කරගැනීම සැලසුම බවද සභාපතිවරයා සඳහන් කළේය.
“දවසකට ලංකාව අසලින් නෞකා 200ක් 250ක් පමණ යාත්‍රා කරනවා. මෙහි පවතින හැකියාව අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ. මේ නෞකා මොනයම් හෝ සේවාවක් සඳහා යන්නේ සිංගප්පූරුවට හෝ ඩුබායි රාජ්‍යයට. ඒ සඳහා දින ගණනාවක් ගත වෙනවා. ඒ වගේම ඔවුන්ට ඒ සඳහා පිරිවැයක් දරන්න වෙනවා. මේ සේවා ලබා දෙන්න ලංකාවට පුළුවන් නම් ඒ හරහා ආදායමක් ලබා ගන්න පුළුවන්.’’
මීට අමතරව ධීවර කටයුතු, සංචාරක සහ විනෝදාස්වාදන කටයුතු සඳහා බෝට්ටු නිෂ්පාදනය අද වනවිට රට තුළ සිදුවන බවත්, එයද අපනයන ආදායම ඉහළ නංවා ගැනීම සඳහා හැකි අවස්ථාවක් ලෙස හඳුනාගෙන ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.