2030දී සංචාරකයන් ලක්ෂ 40ක ඉලක්කයක්


  • ඩොලර් බිලියන 8ක් ඉපැයීමේ අපේක්ෂාවක්
  • රජය වැඩිපුර ආයෝජන කළ යුත්තේ මහාමාර්ග, විදුලිය, ජලය ආදී යටිතල පහසුකම් සංවර්ධනයට

අංජුල මහික වීරරත්න

2030 වසර වන විට සංචාරකයන් මිලියන 4ක කැඳවා ගනිමින් ඩොලර් බිලියන 8ක ආර්ථිකයකට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේදී පැවසීය.

ඒ සඳහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය පරිසරය සකස් කර දීම ආණ්ඩුව සිදු කරන බව ජනාධිපතිවරයා කීය.

ඒ සඳහා ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉහළ නැංවීම වැදගත් වන බවත් දැනටමත් ලංකාව ඉතා හොඳ සංචාරක ගමනාන්තයක් බවට වන වාර්තා පළවෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමග හමුවකට පෙරේදා (28) සහභාගී වෙමිනි. ටෝකියෝ Reiyukai ශාලාවේදී මෙම හමුව පැවැත්විණි.

රටට අවශ්‍ය ආයෝජන මේ වන විට ලැබෙමින් තිබෙන අතර රජය වැඩිපුර ආයෝජන කළ යුත්තේ මහාමාර්ග, විදුලිය, ජලය ආදී යටිතල පහසුකම් සංවර්ධනය සඳහා බව ජනාධිපතිවරයා කීය.

එහෙත් රටක ආර්ථික ක්‍රියාකාරකම් ගොඩනැගිය යුත්තේ පෞද්ගලික අංශය බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

රජය සතුව තේ වතු විශාල ප්‍රමාණයක් තිබෙන නමුත් ඒවායින් භූමියට සරිලන ලෙස ආදායම් උපයන්නේ නැතැයි ද ඒ නිසා වටිනාම සම්පත වූ භූමිය ඉතා හොඳින් කළමනාකරණය කරගත යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය. 

ඵලදායීතාවක් නැති සියලු‍ ඉඩම් ලබා දෙන්නැයි වතු හිමි රාජ්‍ය සමාගම් වෙත දැනුම් දී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ඉඩම්වල ආයෝජනය කරන්නැයි ආරාධනා කරන බව පැවසීය.