බදු අනුකූලතාව ඉහළ නංවමින් බදු පදනම පුළුල් කිරිම අත්‍යවශ්‍යයි
බදු ගෙවීමේ හැකියාව සහිත එහෙත් බදු නොගෙවන පිරිස් නිසා බදු බර ඉහළ ගිහින්
ආනයනික භාණ්ඩවල වටිනාකම් අඩුවෙන් පෙන්වීම නිසා රේගු ආදායම් අඩුවෙලා
නව පරිගණක පද්ධතියකින් සුරා බදු ගණනයේදී සහ අයකිරීමේදී සිදුවන හානිය වැළැක්වීමට යයි
මත්පැන් බෝතල් මත අලවා ඇති ඩිජිටල් කේතය මහජනතාවටත් කියවීමට හැකි යෙදවුමක් එයි
භානුක අමරසිංහ
වසර 2030 වන විට වැට් බදු අගය තනි ඉලක්කමකට පත් කිරිම රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා බදු අනුකූලතාව ඉහළ නංවාගනිමින් බදු පදනම තවදුරටත් පුළුල් කරගැනීම අවශ්‍ය බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ අසිත මුණසිංහ මහතා පවසයි.
එම කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව ‘බදුශක්ති 2026‘ නමින් ජුලි 06 සිට 10 දක්වා ක්‍රියාත්මක කිරිමට නියමිත ජාතික බදු සතිය පිළිබඳව දැනුවත් කිරිම සඳහා ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේය.
“2022 දී රට මුහුණ දුන්න ආර්ථික අර්බුදයත් සමගින් ඇති කරපු බදු ප්‍රතිසංස්කරණ නිසා අද වන විට වැට් බදු ඇතුළු ආදායම් බදු අනුපාත යම් ඉහළ මට්ටමක පවතින්නේ. නමුත් බදු අනුකූලතාව ඉහළ නංවලා බදු පදනම තවදුරටත් පුළුල් කරගත්තොත් එකතු කරගන්නා බදු ප්‍රමාණය වැඩි කරගෙන පවතින මේ බදු බර යම් තරමකින් අඩු කරන්න අපිට හැකියාව ලැබෙනවා. අපගේ කාර්යාංශයේ 2030 දක්වා වූ සැලසුම තුළ තිබෙන්නේ වැට් බදු අනුපාතය තනි ඉලක්කමක් දක්වා ගෙන ඒම සහ දැනට තිබෙන මේ ආදායම් බදු අනුපාතය යම් ප්‍රමාණයකට අඩු කිරීමේ වැඩපිළිවෙළයි.“
ඒ අනුව මෙම ‘බදුශක්ති 2026‘ වැඩසටහනේ මූලික අරමුණ වෙන්නේ බදුකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින ඍණාත්මක ආකල්පය, ධනාත්මක ආකල්පයක් බවට පරිවර්තනය කිරිම තුළින් ස්වේච්ඡාවෙන් බදුගෙවන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීම බවත් අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය.
“රට තුළ බදු විභවතාවක් පවතින පිරිසක් ඉන්නවා. ඒත් ඔවුන් මේ බදු දැලට ඇවිත් නැහැ. මේ බදු නොගෙවන කොටසක් හරි නියමිත ප්‍රමාණයට වඩා අඩු බද්දක් ගෙවන පිරිස් නිසා නිසි ලෙස බදු ගෙවන පිරිසට වැඩි බදු බරක් පැටවිලා තිබෙනවා. මෙය සමනය කළ යුතුයි.“
විශේෂයෙන්ම දිට්වා ආපදාව අවස්ථාවේදී ජනතාවට සහන සැලසීමට මෙන්ම මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉහළ ගිය ඉන්ධන මිල අඩු කිරීමටද මෙම බදු ආදායම් යොදා ගත් බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දක්වා සිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (බදු ප්‍රතිපත්ති) නන්දන කුමාර මහතා, මෙම වැඩසටහන හරහා බලාපොරොත්තු වන්නේ බදු ගෙවිය යුතු පුද්ගලයන් හඹා යෑම වෙනුවට ඔවුන් ස්වේච්ඡාවෙන්ම බදු ගෙවීමට යොමු කරගැනීම බව පවසා සිටියේය.
ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචි හේවා මහතා අදහස් දක්වමින්, සිය ආයතය වෙත බදු පදනම ඉහළ නැංවීමට අවස්ථාව නැති වුවත්, රැස් කරන බදු වටිනාකම වැඩි කරගැනීමට කටයුතු කරන බව සඳහන් කළේය.
“රේගුවට බදු ගෙවන බද්ද තීරණය කරන්නේ ප්‍රධාන කාරණා තුනකින්. ආනයනික භාණ්ඩයේ වටිනාකම, ඊට අයිති HS කේතය සහ එහි නිෂ්පාදිත රට. උදාහරණයක් විදියට භාණ්ඩයේ නියමිත වටිනාකම ඉදිරිපත් නොකිරිම නිසා රජයට හිමිවිය යුතු බදු ආදායම අහිමි වෙනවා. මෙය වළක්වා ගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම ආනයනයට පෙරාතුව භාණ්ඩයේ HS කේතය සහ නිෂ්පාදිත රට පිළිබඳව තහවුරු කරගැනීම අනිවාර්යය බවට මෑතකදී ගැසට් නිවේදනයක් නිකුත් කළා.“
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අධ්‍යයන හා පර්‌යේෂණ) ඒ. ඒ. රොෂාන් පෙරේරා මහතා අදහස් දක්වමින්, සුරාබදු ගණනය කිරීම සහ අය කර ගැනීම සඳහා පරිගණක පද්ධතිය ඔස්සේ වැඩසටහනක් සකස් කරමින් පවතින බව පවසා සිටියේය. ඒ අනුව මේ හරහා බදු ගණනයේදී සහ අය කරගැනීමේදී සිදුවන හානිය වළක්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
“මේ සුරා බදු අය කරගැනීමේදී අපිට යම් යම් බාධා තිබුණා. එතැනදී මහා පරිමාණ මත්පැන් නිෂ්පාදකයන්ගෙන් බදු අය කරගැනීමේ නොහැකියාවක් තිබුණා. පැවැති යම් යම් නීති ප්‍රමාණවත් නොවීම හේතුවක් වුණා. එහෙත් මේ වනවිට අපි නව ගැසට් පත්‍රයක් මගින් නව සුරාබදු නිවේදනයක් නිකුත් කරලා, එම අය කරගැනිම් කඩිනම්ව කර ගැනීමටත්, එසේ නොකරන අය වෙනුවෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ හරහා සුරා බද්ද නිසි ලෙස නියමිත වේලාවට අය කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා.“ යනුවෙන් පවසා සිටියේය.
මේ අතර මත්පැන් බෝතල් මත අලවා ඇති ඩිජිටල් කේතයක් සහිත ස්ටිකරය මෙතෙක් සුරා බදු නිලධාරීන්ගේ අධීක්ෂණය සඳහා පමණක් වෙන්වූ යෙදවුමක් ලෙස පැවතියද, ඉදිරියේදී එය ජනතාවටත් පරීක්ෂා කළ හැකි යෙදවුමක් ලෙස ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවත් ඒ මහතා මෙහිදී පවසා සිටියේය. මේ ඩිජිටල් කේතය සහිත ස්ටිකරය 2016 වසරේදී හඳුන්වාදී 2018 වසරේදී ක්‍රියාත්මක වී, කොරෝනා වසංගතය හේතුවෙන් අඩපණ වී නැවතත් 2022 වසරේ සිට ක්‍රියාත්මක වෙයි.
“ශ්‍රී ලංකා පරිණක හදිසි ප්‍රතිචාර ඒකකය (CERT) මගින් මෙම යෙදවුම හඳුන්වා දෙනවා. ඒ හරහා ජනතාවටත් තමන් ගෙවන බදු මුදලට සරිලන නියමිත ප්‍රමිතිගත මත්පැන් බෝතලයක් මිලදී ගත්තාද කියන දේ පරීක්ෂා කරගන්න පුළුවන් වේවි.“ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

